ඇය හමුවුණේ උසස් පෙළ කරද්දී -නිදුක් මධුෂික





නිර්මාණයක් ගැන කතා කිරීමේදී බොහෝවිට අවධානය යොමු කරන්නේ නළු නිළියන් ගැනය. නැතහොත් අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා ගැනය. තිරපිටපත් රචකයා බොහෝවිට නිර්මාණය තුළ සැඟවුණු චරිතයකි. නිර්මාණය ගලා යෑමට අදාළ සෑම අංශුමාත්‍රයක්ම අකුරක් නෑර ලියා තබන ඔහු ගැන අකුරක් නොලියවෙන තරම්ය. අද අප කතාබහට එක්කර ගන්නේ එවන් භූමිකාවකි. ඔහු මේ දිනවල තිරගත වන “කම්බිලි“ සිනමාපටයේ තිරපිටපත් රචකයාය. එමෙන්ම මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබන “සැලෙනා නුවන්, ප්‍රාර්ථනා“ ටෙලි නිර්මාණ ද ඔහුගේ තිරපිටපත්ය. ජනප්‍රිය තලයේ ගුවන්විදුලි නාට්‍ය රචනයේ ද නම රැන්ඳූ ඔහු ජනප්‍රිය රචක නිදුක් මධුෂිකය.


 මේ දිනවල තිරගත වන ඔබේ කුලුඳුල් සිනමා තිරපිටපත “කම්බිලි“ ගැන කතා කළොත්?


“ධරණී“ ටෙලි නාට්‍යය කොටස් 500කට ආසන්නව ලියාගෙන යද්දි සිනමා තිරපිටපතක් සඳහා මට ආරාධනාවක් ලැබෙනවා. ඒත් ඒ රීමේක් එකක් ලියන්න කියලා. එතැනදි මට හිතුණා මේක මගේ පළවෙනි සිනමා තිරපිටපත නිසා මේක රීමේක් එකක් වුණොත් කවදහරි මටම කියල නමක් හදාගන්න බැරිවෙනවා කියලා. ඒත් එක්කම මං ඔවුන්ට ස්වතන්ත්‍ර පිටපතක් කරමු කියන යෝජනාව ගේනවා. ඔවුන් එයට එකඟ වීමත් එක්ක තමයි කම්බිලි ලියවෙන්නේ. නමක් තිබුණෙ නෑ. චරිතත් එක්ක ලියන්න පටන් ගත්තා. මුලින්ම රොමෑන්ස් ශානරයේ එකක් කරන්න හිතුණත් පස්සේ හිතුණා ට්‍රිලර් එකක් කරන්නත්. අන්තිමේ දෙකම එකතු කරලා රොමෑන්ස් ට්‍රිලර් ශානරයේ එකක්ම කළා. තිරපිටපත ලියල ඉවර වුණාටත් පස්සෙ තමයි අමිල කරුණානායක හරහා නිෂ්පාදකවරයා හමුවෙන්නේ. බජට් එක ගැන පොඩි රිස්ක් එකක් තිබුණත් තිරපිටපතට තිබුණ කැමැත්ත නිසාම නිෂ්පාදක නිශාන්ත ගල්හේන වැඩේට කැමැති වුණා. චම්පික නිශාන්ත ද සිල්වාත් ලොකු සහායක් දුන්නා.


 තිරපිටපත් රචකයා විදිහට ඔබ වගේම “කම්බිලි“ අධ්‍යක්ෂවරයාත් සිනමාවට නවකයෙක්?


“කම්බිලි“ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසාද් කළුපහන. ඔහු ගීත රූප රචනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වුණත් සිනමාවේ අත්දැකීම් තිබුණෙ නැහැ. ඒ වෙද්දි මං දෙරණ නාළිකාවේ ආරාධනයෙන් “ධරණී“ ටෙලි නිර්මාණය ලියමින් හිටියේ. එතැනදි ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් ලොකු සහායක් ලැබුණා. ඊට අමතරව ටෙලි ෆිල්ම් 30ක්, ඒකාංගික නාට්‍ය 7ක් විතර ලියලා තිබුණා. පුවත්පත්වලට නවකතා, ගුවන්විදුලි නාට්‍ය පිටපත් ලියලත් ජනප්‍රිය මට්ටමට පත්වෙලා හිටියේ. සිනමාවටත් මං ආස නිසා සිනමා පිටපතක් ලියලා තිබුණත් ඒක නිර්මාණයක් දක්වා ගියේ නෑ.


 “කම්බිලි“ තිර රචනය සඳහා අදහස එන්නෙ කොහොමද?


විටින්විට අහන දේශපාලන ප්‍රවෘත්ති එක්ක තමයි මූලිකම අදහස ආවේ. මුලින්ම වැඩි බරක් නැතුව ලිව්වත් ස්ක්‍රිප්ට් එක ඩිවෙලොප් වෙද්දි යටි පෙළක් තියෙන නිර්මාණයක් වුණා නම් හොඳයි කියලා හිතුවා. ඒත් එක්කම තමයි දේශපාලනඥයෙක් ළඟ වැඩ කරන නන්දෙ කියන චරිතය ඩ්‍රයිවර් කෙනෙක් විදිහට කතාවට ගේන්නේ. පස්සේ අනෙක් අයත් එක්කත් කතා කරලා ස්ක්‍රිප්ට් එක ඩිවෙලොප් කළා.


 ඔබ ක්ෂේත්‍රයට එන්නේ තිරපිටපත් රචකයෙක් විදිහට නෙවෙයි?


මං මුලින්ම ලියන්න ගත්තේ “තරුණයා, අද“ වගේ පුවත්පත්වලට. ඊට පස්සේ සිරිකත පත්තරේට නවකතා ලියන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක මට සිරස එෆ්.එම් එකට ගුවන්විදුලි නාට්‍ය ලියන්න ආරාධනා ලැබුණා. මාව සිරසට හඳුන්වා දුන්න කාංචන දසනායක මෙහිදී සිහිපත් කළ යුතුයි. සිරස ගුවන්විදුලියට ලියපු ‘මං ආදරෙයි’ නාට්‍යය ජනප්‍රියම නාට්‍ය අතරට එනවා. ඒ අතරේ සින්දු ලියන්නත් අවස්ථාව ලැබුණා. නෙත් එෆ්. එම්. හිරු එෆ්. එම්. නාළිකාවලටත් ආරාධනා ලැබුණා. හිරු එෆ්. එම්. එකේ දවල් ප්‍රචාරය වුණු ‘සිහින සිත්තරාවී’ නොම්මර එකේ ගුවන්විදුලි නාට්‍ය බවට පත්වුණා. ඒත් එක්කම තමයි දෙරණ රූපවාහිනී නාළිකාවට ‘ධරණී’ ලියන්න ආරාධනා ලැබෙන්නේ. ඒ පටන් ගැන්ම තමයි මේ දක්වා ආවේ. ඉදිරියේදී නවකතා පොතක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කම්බිලි නවකතාවක් ලෙසින් එළිදැක්වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.


 තිරපිටපතක් ලියවෙන හැටි සංක්ෂිප්ත කළොත්?


සාමාන්‍යයෙන් මුලින්ම තිර රචකයා කරන්නේ කැරැක්ටර් බයෝග්‍රැෆි එකක් හදා ගන්න එක. චරිතයේ උස කොහොමද? හමේ පාට, ග්‍රාමීය ද නාගරික ද? අඳින්නෙ පලඳින්නෙ කොහොමද? ජීවත් වෙන්නෙ මොනවගේ පරිසරයක ද? මේ ආදි වශයෙන් මූලික කාරණා 32ක් තියෙනවා. ඒවත් එක්ක තමයි කැරැක්ටර් එකක් ගොඩනඟන්නේ. ඒ ප්‍රොපයිල් එකට ගැළපෙන චරිතයක් තමයි ඊට පස්සේ හොයන්නේ. ෆිල්ම්වලදි බොහෝවිට ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හිතේ තියාගෙන ලියන්නේ. ‘කම්බිලි’ ලියද්දි ප්‍රධාන නළුවා අමිල කියල දැනගෙන හිටිය නිසා මට පහසු වුණා අනෙක් කැරැක්ටර්ස් ලියන්න. ඉන්නෙ කවුද කියල දැනගෙන ලියන එක පහසුයි. එතකොට එයා ඩයලොග් ඩිලිවරි කරන විදිහ ගැන ඉමේජ් එකක් තියෙනවා. අලුතෙන් කැරැක්ටර් එකක් එද්දි වුණත් රචකයාට තේරෙනවා. මොකද කතාව තුළ ඇතිවන අවශ්‍යතාව අනුව ඒ චරිතයේ පසුබිම ඒ වෙද්දිත් නිර්මාණය වෙලා ඉවරයි. නරඹන කෙනා ඒ චරිතය අතරමඟදි දැක්කට තිර රචකයා ඒ චරිතයට උපන්දා ඉඳන්ම බයෝග්‍රැෆි එකක් හදනවා. බාහිරින් බලන අය ඒ බව දන්නෙ නැති වුණාට තිර පිටපත් රචකයෙක් නිර්මාණයක් වෙනුවෙන් බොහෝ වෙහෙසෙනවා.


 ඔබ විවාහකයි. ඇගෙන් ලැබෙන සහාය ගැන කිව්වොත්?


ඒ ගැන නම් කතා කළ යුතුමයි. ඇය ක්‍රිෂාන්ති චතුරිකා ගොඩිගමුව. ඉංග්‍රීසි ගුරුවරියක්. දවසට පැය 15ක් 16ක් ලියන මට ගෙදරම හිටියත් එයා එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. ඒ හැමදේම දරාගෙන මානසිකත්වය හොඳින් තියාගෙන නිරවුල් මනසකින් මට නිර්මාණවල යෙදෙන්න, පරිකල්පනීයව හිතන්න, අවකාශය ලබාදෙන එකම තමයි ඇය මට ලබාදෙන ලොකුම සහයෝගය. අපි හමුවෙන්නේ උසස් පෙළට නුවර උපකාරක පන්තිවලට යද්දි. ඒ කාලෙ මගේ අකුරු කැතයි. ඇය තමයි මගේ නිර්මාණ ලස්සනට ලියලා පත්තරවලට දාන්නේ. ඒ පටන් ගත්ත ආදරේ විවාහයෙන් කෙළවර වෙද්දි අපේ ආදරේට අවුරුදු 16ක්.


 නාමලී ගමගේ



Previous Post Next Post