මමයි සැමියයි එකට ඉඳන් මගේ නිර්මාණ බලන්නේ නැහැ-සේමිණි ඉද්දමල්ගොඩ



සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ දශක ගණනාවක් තම නාමය එකම තලයක රඳවාගත් නිළියක්. ජනප්‍රිය වගේම හොඳම නිළිය ලෙසත් සම්මාන දිනූ සේමිණිත් එක්ක කතා කරන්න හිතුණේ ඕනෑම කාලයකට අදාළ මාතෘකාවකට ඇය සුදුසු නිසාමයි. මේ දිනවල සේමිණි රඟපෑ සීරුවෙන් සහ මන්දාරා තිරගත වෙනවා.




සේමිණි ලැබෙන දේ අතරින් හොඳම දේ පමණක් තෝරාගන්න හැකියාව ලැබී ඇත්තේ ඔබ රැකියාවක් සේ රඟනොපාන නිසාද?




මම කවදාවත් රැකියාවට රඟපෑවේ නැහැ. මට දැනෙන චරිතයක් නොලැබුණ කාලවල මම රඟපාන්නෙ නැතිවම හිටිය. එයා දැන් බැඳල ටෙලි නාට්‍යයට පෙර මම අවුරුදු හතක් ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැතිව හිටිය. ඒ කාලය තුළ මම චිත්‍රපට හතරක විතරයි රඟපෑවේ ඒකට හේතුව මට බලපෑමක් කළ හැකි මට්ටමේ චරිත මට නොලැබීමයි. මට ලැබෙන චරිතය සමග රඟපාන අනෙත් චරිතයට අදාළ නළුවා හෝ නිළියත් මට වැදගත්. එක වතාවක මට හොඳ නිර්මාණයක් ලැබුණා. නමුත් ඒ නිර්මාණයේ මාත් සමග අනිත් චරිතය කරන්න නියමිත කෙනා පිළිබඳ මම සෑහීමකට පත්වුණේ නැහැ. එතනදි ඒ කෙනා ඉවත් කරන්න කියල මට කියන්න බැහැනේ. මම ඒ චරිතය භාර නොගෙන හිටිය. ඇත්තටම එවැනි අතහැරීම් සිදුකර පසෙකට වෙන්න මට හැකියාව ලැබී තියෙන්නෙ මම රංගනය රැකියාවක් විදිහට නොකරන නිසයි.




ඔබ තෝරාගන්නා චරිත තුළ ඔබේ සුන්දරත්වය මැකී යන තැන් වැඩියි. නිළියක් ලෙස මේ කාරණයට ඔබ හිතහදාගන්නෙ කොහොමද?




නිර්මාණයකට දායක වෙද්දි මේ චරිතයේ මගේ රූපය කොයි විදහටද පේන්නෙ වගේ සරල කාරණා නම් මට කිසිසේත් අදාළ නැහැ. ඇතැම් අවස්ථාවල මට ලැබී තියෙන චරිතය සමාජයේ විවාදාත්මක චරිතයක් වුවත් මම එයා නොතකා හරිනවා. සුද්දි යකඩ පිහාටු හි මා කළ චරිතය මේ දිනවල විකාශය වන තත්පරයක් දෙන්න හි බන්ධනාගාර නිලධාරිනියගේ චරිතය කාන්තා සුන්දරත්වය ලාලිත්‍ය මතුවන චරිත නෙවෙයි. නමුත් ඒ චරිත මගේ රංගන දිවියේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් වී තිබෙනව. ශිල්පිනියක් විදිහට මම මගේ සීමාව රැකගෙන ඕනම චරිතයක් කරන්න මම සූදානම්.




ඔබ කියන සීමාව මොකක්ද?




සේමිණි ඉද්දමල්ගොඩ කියන බිරිඳ, මව, රංගන ශිල්පිනිය කියන භූමිකා තුනටම හානියක් නොවීමයි මගේ සීමාව.




නිළියක් විදිහ හෝ කාන්තාවක් විදිහට ඔබට ඔබේ රූපය ගැන තැකීමක් නැතිද?




මම පැවසුවේ චරිතයක මාව කැතට පේනවද ලස්සනට පේනවද කියන එක මට අදාළ නැහැ කියලයි. මම මගේ රූපය ගැන විලාසිතා ගැන හිතනව. රංගන ශිල්පිනියක්, කාන්තාවක් විදිහට මාව ප්‍රියමනාප ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින්න ඕන කියන තැන මම ඉන්නව.




සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස දැන් ඉස්සර වගේ සරල වෙන්න බැහැ නේද?




එහෙම නැහැ එක එක්කෙනා කැමැති විදිහක් තියෙනව මම කැමැති විදිහටයි මම ජීවත් වෙන්නෙ මම මට ඇරයුම් කරන රුපවාහිනී වැඩසටහන් උත්සව වගේ දේවල්වලට සහභාගි වෙනව. මට අතදීපු තැන් අමතක කරන්න බැහැනෙ. ඒ අයගෙ ආරාධනා ලැබුණම මම ඒවට යනව. පොළේ යනව, පොඩි කඩවල්වලට ගිහින් කනව බොනව. ගෙදරට බඩු ගන්න යනව. ඒ තැන්වල ඉන්න මිනිස්සු මට ආදරය කරනව. සරල විදිහට ජීවත් වුණා කියල සාමාන්‍ය සමාජයේ හිටිය කියල මට කවදාවත් වරදක් වෙලා නැහැ. කලාකරුවෙක් කියන්නෙ මිනිසුන් අතර ඉන්න කෙනෙක් වෙන්න ඕනනෙ.




ධම්මික ඉද්දමල්ගොඩ සේමිණිගේ මේ සාර්ථක ගමනේ කොච්චර ප්‍රමාණයක්ද?




විවාහයෙන් පස්සෙ කලාවට ආපු රංගන ශිල්පිනියක් විදිහට ධම්මිකගෙන ලැබුණ හහයෝගය සහ තේරුම් ගැනීම් නිසයි මම මේ ගමන එන්නෙ. මාව නීති රීති දාලා කොටු කළා නම් අද මට මේ ගමන යන්න බැරිවෙනව. ධම්මික තමයි මගේ දිවියේ ආලෝකය.




ඔහු ඔබේ ගමනේ ආලෝකය සේම ඔබේ රසිකයෙක්ද?




ඔහු මගේ රසිකයෙක් තමයි. හැබැයි අපි දෙන්නගෙම පුරුද්දක් තියෙනව අපි දෙන්න එකට වාඩිවෙලා මම රඟපාන නිර්මාණ බලන්නෙ නැහැ. එයා වෙනම බලනව. මම වෙනම බලනව. අඩු පාඩුවක් තිබ්බොත් ධම්මික මට කියනව සමහර වෙලාවට නොබැලුව වගේ නිශ්ශබ්දවත් ඉන්නව.




තත්පරයක් දෙන්න නිර්මාණයෙන් පසුව සේමිණිගේ ඊළඟ වෑයම කුමක්ද?




මම භාරගත්ත නිර්මාණයක් ඉවර කරලයි තවත් නිර්මාණයකට අතගහන්නෙ. මේ දිනවල මා රඟපෑ ‘මන්දාරා’ තිරගත වෙනවා. ඒ වගේ සීරුවෙන් චිත්‍රපටයෙත් රඟපානවා.




කලින් කලට අලුත් වෙන සේමිණි ගැන කටකතා රැල්ලට තවමත් ඒ විදිහටම ගලායන්න ඉඩ හැරලද ඉන්නෙ




ඒ කතා ඇත්ත වුණත් බොරු වුණත් ඒවාට උත්තර බඳින්න යන්නෙ නැතිව නිහඬව ඉන්නයි ධම්මික මට පුරුදු කරල තියෙන්නෙ. ඒ දේවල් මම දැන් ගණන් ගන්නෙ නැහැ. කෙසේ වුණත් ඔය වගේ කතා නොහැදි ඉන්න පරිස්සම් වෙනව. ඒත් අපේ කර්ම ශක්තිය අනුවනේ හැමදේම වෙන්නෙ. අපහාසයක් විඳින්න කතාවක් අහන්න අපි සංසාරෙ පවක් කරල තියෙනව නම් ඒ කර්මය අපි කරා එනවමයි.




යළි නිෂ්පාදනයට අතගහන්න අදහසක් නැතිද




ආයෙ නම් මම නිෂ්පාදිකාවක් වෙන එකක් නැහැ. මම එවැනි අවස්ථා දෙකදීම අසාර්ථක වෙනව. ඇත්තටම අපි ව්‍යාපාරයක් කරන්නෙ ලාභයක් ලබන්නෙ. අර කතාවක් තියෙනවනෙ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි කියල. නමුත් නිෂ්පාදිකාවක් විදිහට මම එහෙම සාර්ථක වුණේ නැහැ. ඒ නිසා ආයෙත් මම නිෂ්පාදනයට නම් අතගහන එකක් නැහැ.



Previous Post Next Post