ප්‍රේක්ෂකයන් පුදුම කරන අවසානයක් සංගීතයේ සිදුවේවි-ලවන් අභිෂේක්



ටී.වී දෙරණ නාළිකාවේ විකාශයවන සංගීතේ ටෙලිනාට්‍යයේ මහීගේ චරිතය රඟපාන ලවන් අභිෂේක් කියන්නෙ නළුවෙක් වගේම ගායකයෙක්. ඉතින් ලවන්ගේ අලුත්ම ගීතය සඳ කතාවක් මේ වෙද්දි ප්‍රේක්ෂකයා ගොඩක් අදරයෙන් වැලඳගෙන තියනවා. ඉතින් ගීතය ගැන වගේම ලවන්ගේ ජීවිතයේ අලුත් විස්තර දැනගන්න අපි හිතුවා ලවන් එක්ක කතා කරන්න.






ලවන් අභිශේක් කියන නළුවට වැහෙන්නෙ නැතුව ගායකව නඩත්තු කරන්නෙ කොහොමද ?




සංගීතේ ටෙලිනාට්‍යයත් එක්ක කාලේ ගෙවුණ නිසා පහුගිය කාලේ ඇත්තටම මම පෞද්ගලිකව ගීත නිර්මාණ කරන එක අඩු කරලා තිබුණා. හැබැයි මෑතක ඉඳලා ආපහු මම ගීත නිර්මාණය කරන්න පටන්ගත්තා. ඉතින් ඒ විදිහට නිර්මාණය කරපු අලුත්ම සිංදුව තමයි සඳ කතාවක්. කාලෙකට පස්සෙ කරපු ගීත නිර්මාණයක් වුණත් ප්‍රේක්ෂකයො හරි ආදරෙන් ගීතය වැලඳ ගත්තා.


සඳ කතාවක් හැදුවෙ කොහොමද ?






මගේ අදහසක් තිබුණා හෙමින් ගලාගෙන යන සිංදුවක් කරන්න ඕන කියලා. ඉතින් ඒ අදහස ගී තනු නිර්මාණය කරන නිමේෂ් කුලසිංහට මම කිව්වා. මගේ අදහසට අනුව නිමේෂ් සඳ කතාවක් තනුව නිර්මාණය කළා. තනුව නිර්මාණය කළාට පස්සෙ කුසල විදානගමගේ ගීතයේ වචන ටික ලිව්වා. ඉතින් ඊටපස්සෙ මගේ අදහසුත් ඇතුව ගීතය පටිගත කළා..




මියුසික් වීඩියෝවට ගීත්මව ගත්තෙ ඇයි ?




ගීතය නිර්මාණය කරලා අහනකොට මට හිතුනා ගස්වලින් වටවෙච්ච කොළ පාට කැළෑ පසුබිමික සුදු ඇඳගෙන ගෑණු ළමයෙක් එක්ක ඉන්න මියුසික් වීඩියෝවක් ගීතයට ගැළපෙනවා කියලා. මියුසික් වීඩියෝවට ගන්න ගෑණු ළමයා කවුද කියලා හිතහිත ඉන්නකො⁣ට සංගීතේ ටෙලිනාට්‍යයේ මේ දවස්වල කතාවත් එක්ක ගීත්මව මට මතක් වුණා. ඒ වගේම ගීත්මා වැඩිය මියුසික් වීඩියෝවල රඟපාන්නෙ නැති නිළියක්. ඉතින් ප්‍රේක්ෂකයො අතරට ගීතය ගෙනියන්න පුළුවන් විදිහෙ වීඩියෝවක් ගීත්මව අරගෙන නිර්මාණය කරන්න පුළුවන් කියන අදහසින් තමයි ගීත්මව වීඩියෝවට සම්බන්ධ කරගත්තෙ.




වැඩිපුර ප්‍රතිචාර තියෙන්නෙ නළුවටද ගායකයටද ?






මේ වෙද්දි සඳ කතාවක් ගීතය මගේ රසිකයො තමයි ඉස්සරහට අරන් ගිහින් තියෙන්නෙ. ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම තවත් ගීත නිර්මාණය කරන්න ඔවුන් සුබ පතනවා. ඇත්තටම සංගීතේ මහී විදිහටත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය තුළින් ක්ෂේත්‍රයට ආපු ගායකයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.




ලවන්ට විදේශ රසිකයන්ගෙනුත් හොඳ පිළිගැනීමක් තියනවා කියලා ආරංචියි...






ඔව්. ටී.වී දෙරණ නාළිකාව සංවිධානය කරපු සංගීත ප්‍රසංගයක් පහුගිය දවස්වල ඔස්ට්‍රේලියාවේදි පැවැත්වුණා. ඩ්‍රීම් ස්ටාර් තුළින් ගායන ක්ෂේත්‍රයට ආපු ගායක ගායිකාවො ගොඩක් ඒ ප්‍රසංගයට සහභාගි වුණා. මට වගේම ඒ ප්‍රසංගයට සහභාගිවුණ හැමෝටම ඔස්ට්‍රේලියාවේ ඉන්න රසිකයන්ගෙන් හොඳ පිළිගැනීමක් ආදරයක් වගේම හොද ප්‍රතිචාරත් ලැබුණා.


කලාවට සම්බන්ධවීම අහම්බයක්ද නැත්තන් පුංචිකාලෙ ඉඳලා තිබුණ අදහසක්ද ?






අපේ පවුලෙ අම්මා තාත්තා අයියා හැමෝම සංගීතයට ලැදියි. ඉතින් පුංචිකාලෙ මම අම්මට කිව්වා කවදාහරි රටේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියලා. ඒ කොහොමද කියලා අම්මා අහනකොට මට ඒකට දෙන්න හරි උත්තරයක් තිබුණෙ නැහැ. ඉතින් ඒ අදහසින් සංගීතය හදාරමින් ඉන්නකොට තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය හරහා රටම දන්න ගායකයෙකුත් වෙලා නළුවෙකුත් වෙන්න පුළුවන් වුණේ.




හැබැයි ලවන් රංගනයට ආපු මුල් කාලෙදි සමහරු ඇහුවා ඇයි ගායකයො රඟපාන්නෙ කියලා ?






ගායකයෙක් විදිහට ක්ෂේත්‍රයට ආපු මට ටී.වී දෙරණ නාළිකාවෙන් නළුවෙක් විදිහට රඟපාන්න අවස්ථාව හම්බවුණා. හැබැයි ඒ රංගනය ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක් විදිහට නෙමෙයි. රංගනය දෙබස් උච්චාරණය අංගචලන වගේ දේවල් ගැන හොඳ පුහුණුවක් ලබලයි රඟපාන්න පටන්ගත්තෙ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි රඟපෑම ගැන විවිධ විදිහෙ ප්‍රතිචාර ලැබුණත් අද වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිතරම මම උත්සාහ කරන්නෙ රංගනය හදාරමින් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.


සංගීතේ සීසන් 01 ළඟදි අවසාන වෙනවා..




ඔව්. සංගීතේ සීසන් තව සති කීපයකින් අවසාන වෙනවා. ප්‍රේක්ෂකයන් හිතන්නෙවත් නැති වෙනස් අවසානයක් සීසන් 01 තුළින් බලන්න පුළුවන්.






සංගීතේ සීසන් 02 මොනවගේ වෙයිද ?




සංගීතේ සීසන් 02 මොන වගේද කියලා නම් මම තාම දන්නෙ නැහැ. සමහරවිට සීසන් 02 වල මම ඉන්නත් පුළුවන් නොයින්නත් පුළුවන්.




බිරිඳගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද ?




බිරිඳ හැමවෙලේම මාව තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මට නීති රීති සීමා මුකුත් දාන්නෙ නැහැ. නිදහසේ කලා කටයුතු කරගෙන යන්න ඇය මට ඉඩ දීලා තියනවා.



Previous Post Next Post