මගේ ගාව ෂේප් කියන වචනය නෑ -ලක්ෂාන් අබේනායක



ඔහු දශක ගණනාවකට පෙර ප්‍රංශයට සංක්‍රමණය වෙමින් එරට රූපවාහිනිි රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ප්‍රංශය තුළ තම ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ටෙලි නාට්‍ය සහ සිනමාපට රැසකට දායකත්වය සැපයූ විශිෂ්ට කලාකරුවෙක්. අද ‘හදගැස්ම’ හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂාන් අබේනායක. 


දුස්රා නිර්මාණය වීමට පසුබිම නිමැවුණු ආකාරය පිළිබඳව කියනවා නම්?


දුස්රා සිනමාපටය හදන්න පසුබිම නිර්මාණය වෙන්නේ මමත් චන්න දේශප්‍රියත් මුණගැසීමෙන් පසුව. විමුක්ති ජයසුන්දර කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයාගේ ‘සුළඟ එනු පිණිස’ කාන්ස් සිනමාපටය සිනමා උළෙලේදී සම්මාන ලබන මොහොතේ තමයි අපි මුණගැසුණේ. ඊට පස්සේ අපි සහෝදරයෝ වගේ බොහෝ කාලයක් ආශ්‍රය කළා. ඒ කාලේ ඉඳලම චන්න දේශප්‍රිය මට දුන්න උපදෙසක් තමයි අපි මේ හැමදෙයටම අත ගහන්න ගිහින් අමාරුවෙ වැටෙන්න අවශ්‍ය නැහැ. අපිට වෙලාවක් ලැබෙයි ලංකාවේ ප්‍රේක්ෂකයාට දෙයක් කරන්න. ඒ මොහොත එනතුරු ඔයා ඔයාගේ වැඩකටයුතු කරගෙන යන්න කියලා.


මේ කතාව ලියවුණේ කොහොමද?


අපි දෙදෙනා වරින් වර මේ කතාව පිළිබඳව කතාබහ කළා. චන්න දේශප්‍රිය වසර ගණනාවක් මෙහි තිරපිටපත රචනා කළා. ඔහු එය නැවත නැවතත් කියවමින් ලියවමින් ඔපමට්ටම් කළා. මම දශක ගණනාවක් යුරෝපයේ රංගන ශිල්පියෙක් ලෙස දිවි ගෙවමින් සිටියා. මම තාමත් ශ්‍රී ලාංකිකයෙක්. චන්න මා ගැන හොඳින් දන්නවා. දවසක් ඔහු මේ තිරපිටපත රචනා කරලා අවසන් කරලා මට කතා කළා. ඔහු මට කිව්ව දුක්බර ජීවිත සමාජයේ හැලහැප්පෙන ආකාරයක කතාවක් තමයි මේ තුළ තිබෙන්නේ. අපිට මේ නිර්මාණය හරහා සමාජයට දෙයක් කියන්න පුළුවන් කියලා. මේක පවුඩර් බබාලගේ කතාවක් නෙවෙයි. සිනමාවේ සිටින අය බලාපොරොත්තු වෙන්නේ අර්ථාන්විත දෙයක්. මට හිතුණා මම සෙවූ ඒ අර්ථාන්විත භාවය කියන වචනයට සරිලන තිරපිටපතක් ලැබුණා කියලා. ඔහු මේ තිරපිටපත මා වෙත ගෙන ආ විගසම මම එයට කැමැත්ත ප්‍රකාශ කළා. චන්නට විශ්වාසයක් තිබුණා මම මේක ඔහුට නිදහසේ කරගන්න ඉඩ දෙයි කියලා. මට අවශ්‍ය වුණේ ඔහුට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා ඔහු තුළ තිබෙන කතාව එළියට ගන්න.


ප්‍රංශය තුළ ඔබ ඇකඩමික හැදෑරීමක් ලබමින් තමයි රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ මතකය අවදි කරමු?


ලංකාවේ රංගනය ගැන විතරයි හදාරන්න තිබෙන්නේ. අපිට කියා දෙන්නේ පරිණත පුද්ගලයෙක්ගෙන් ඉගෙන ගන්න. රංගන ශිල්පියෙක්ගෙන් රංගනය හදාරනවා කියන තැන මම නැහැ. ඇතැම් ගුරුවරු පවා සිටිනවා රංගනයෙහි යෙදෙන්න බැරි වුණාට රංගනය පිළිබඳව ඉතා හොඳින් කියා දෙන්න පුළුවන්. ප්‍රංශයේදී අපිව විවිධ අංශවල හැකියාවන් තිබෙන පිරිස් පුහුණු කළා. ඔවුන් අපිට කියා දුන්නේ රංගන ශිල්පියෙක් වීම පමණක් නෙවෙයි, රංගනය යනු කුමක්ද? රංගනයෙහි තිබෙන බැරෑරුම් බව කුමක්ද? එය පරිහරණය කරන්නේ කෙසේද? ප්‍රසිද්ධිය ලබන විට එය සමාජය සමඟ ගළපා ගන්නේ කෙසේද? යන්න පවා ඔවුන් අපට කියා දුන්නා.


අපි රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ප්‍රසිද්ධිය තුළදී බිඳ වැටෙන විට හෝ රැකියාවක් නොමැති විටදී දේවල් කළමනා කරගන්නේ කෙසේද? සාමාන්‍ය රංගන ශිල්පියෙක් වගේම ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නේ කෙසේද? යන්නත් ඔවුන් අපිට කියා දුන්නා. මේ සියල්ල හැදෑරූ පසුව අපි එළියට ආවේ වචනයේ පරිසමාප්ත අයුරින්ම රංගන ශිල්පියෙක් බවට පත් වෙලා. මේ හැදෑරීම මගේ රංගන දිවියට විශාල රුකුලක් වුණා.


දුස්රා චිත්‍රපටයට ඔබ ලකී ලෙස රංගනයෙන් දායක වෙනවා. ලකී ඔබට මොන වගේ අභියෝගයක්ද?


මට බය නැතිව ඕනෑම තැනක ඕනෑම රංගන ශිල්පියෙක්ට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. මට කිසිම බියක් නැහැ. ආතතියක් නැහැ. මං ගාව ෂේප් කියන වචනය නැහැ. එක්කෝ ඔව්, නැත්නම් නැහැ. එහෙම නොවුණොත් අපෙන් නිවැරැදි විධියට වැඩක් වෙන්නෙ නැහැ. මට මේ චරිතය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මම අවුරුදු 24ක් යුරෝපයේ රංගන ශිල්පියෙක් ලෙස වැඩ කළා කියලා කියන්න බියක් නැත්නම් චරිතයකට බය වෙන්නේ නැහැ. මට චරිතයක් දෙනවා කියලා අද කියලා හෙට රඟපාන්න නැහැනේ. අපි ඒකට මනා අයුරින් කැපවීමෙන් ලෑස්ති වෙන්න ඕන. රංගන ශිල්පියාගේ අතේ තමයි මේ හැමදේම තිබෙන්නේ .


නිෂ්පාදකයාගේ භූමිකාව ගැන කියනවා නම්?


මේක ලංකාවේ හැටියට ලෙහෙසිපහසු වැඩක් නෙවෙයි. යුරෝපය තුළ මේ දේවල් සිදු වෙන්නේ හරි පිළිවෙළකට. නිර්මාණයට මුදල් ගෙනෙන ආකාරය, ඒ සම්බන්ධ ආයතන සමඟ කටයුතු කරන ආකාරය ආදී ක්‍රමවේදයක් යුරෝපයේ තිබෙනවා. ලංකාවේ නිෂ්පාදනය කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ වෙනම ආකාරයකට. නිෂ්පාදකයා මැදිහත් වෙලා තමන්ට අවශ්‍ය විධියට බලය යොදවලා හරියට මස් කඩයක් කරනවා වගේ මෙහේ වැඩ කරන්නේ. මම එහෙම වැඩ කරන්න කැමැති නැහැ. නිෂ්පාදකයා හැම විටම වාණිජමය ආකාරයට තමයි සිතන්නේ පතන්නේ. මම එතැන නැහැ.  මම නිෂ්පාදනය සිදු කරන්නේ ලංකාවට දෙයක් සිදු විය යුතු නිසා. මට අවශ්‍ය වුණේ යුරෝපයෙන් දෙයක් ලංකාවට


ගෙනත් දෙන්න. ප්‍රංශ රූපවාහිනියේ සභාපති සහ ප්‍රංශයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති වුණ Marc Tessier වැනි අයගේ සම්බන්ධතා මෙරටට ගෙන ඒමට මට අවශ්‍ය වුණා. මාත් සමඟ වැඩ කරන විට මානසිකව විඳවීමක් සිදු වන්නේ නැහැ.කියන දෙය පිළිබඳව චන්නට විශ්වාසයක් තිබුණා. මම කිසිම විටෙක මේ දේවල් කරද්දී බලහත්කාරකම් කළේ නැහැ. මම නිෂ්පාදකයෙක් වුණේ සිනමාවේ නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුළත් වෙන්න නෙවෙයි. මගෙන් ඉටු විය යුතු සේවය කරන්න. මම ලංකාවේ ක්ෂේත්‍රයේ ආගන්තුක නළුවෙක් හැසිරෙන ආකාරයට තමයි සිටියේ.


Miles Of A Dream එන්නේ කවදාද?


ඒක තමයි මගේ පළමු නිර්මාණය. මෙහි තිරපිටපත රචනා කළේ චින්තන ධර්මදාස. ඒක ඉතා අලංකාර සිනමාපටයක්. මම මේ චිත්‍රපටය නිර්මාණය කළ කාලයේ විශාල වැඩ කන්දරාවක් සමඟ පොරබැදුවා. මේ නිසා මගෙන් මේ සිනමාපටයට වුණේ විශාල හානියක්. මෙහි රූගත කිරීම් කළේ ප්‍රංශයේ සහ පැරැණි කොළඹ ආශ්‍රිතව. එහි ඉතා අලංකාර දර්ශන තිබුණා. අපි ඉදිරියේදී එය ආදරණීය ප්‍රේක්ෂකයා වෙනුවෙන් තිරගත කිරීමට අදහස් කරගෙන සිටිනවා. දැන් මම ගොඩක් නිදහස් පුද්ගලයෙක්. ඉන්ද්‍රචාපා ලියනගේ ගායනා කරන ‘උල්කාපාතයක්’ ගීතය තිබෙන්නේ මේ සිනමාපටයේ. මේක වයසට යන්නෙ නැති සිනමාපටයක්.


අධ්‍යක්ෂවරයෙක් වෙන්න අදහසක් නැද්ද?


මට මුලදී අවශ්‍ය වුණේ අධ්‍යක්ෂණය කරන්න. නමුත් මට සිනමාපටයක් නිෂ්පාදනය කරලා, රඟපාලා, අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය වුණේ නැහැ. අපේ සල්ලි කියලා අපිට කලාව විනාශ කරන්න බැහැ. මම ඔය තුනම කරන්න ගියොත් කිසිම දෙයක් මගේ අතින් 100%ක් වෙන්නෙ නැහැ. මට වෙලාවක් ආපු වෙලාවක ඒ දේ කරනවා කියලා මම සිතාගත්තා. මට සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අපි බලමු ඉතින් ඉදිරියේදී කුමක් වෙයිද කියලා.


ගිහාන් සචින්ත



Previous Post Next Post