රනිල්ගේ,සජින්ගේ හා අනුරගේ ප්‍රතිපත්ති කරළියට

 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එකම දිනයේ එනම් ඊයේ (29දා) කලඑළි බැසීම විශේෂත්වයක් විය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.රනිල් සමග පුළුවන් ශ්‍රී ලංකා' යටතේ රට දිනවන වසර 5’ යනුවෙන් නම් කරන ලද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රථමයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පිළිගැන්වූයේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් වෙතයි.


ථේරවාදී වෙළෙඳ ආර්ථිකය ක්‍රියාන්විතය – 2025 න් ඔබ්බට ප්‍රභාෂ්වර සමාජයක් කරා මව්බිම දිනවමු’ සහ එකමුතු ශ්‍රී ලංකා' යන ප්‍රධාන මූලධර්ම 05කින් සමන්විත රනිල් සමග රට දිනවන වසර 5ක් ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රධාන තේමාව වශයෙන් ඇතුළත් කර තිබේ.මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් වෙත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමෙන් අනතුරුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් එය පිළිගැන්වූයේ තරුණ තරුණියන් ප්‍රමුඛ තරුණ ප්‍රජාවට වීමද විශේෂත්වයකි.


ජීවන වියදම අඩු කරමින්, නව රැකියා ඉහළ වැටුප් හිමිවs, බදු සහන ලබාදෙන, ආර්ථිකය ප්‍රවර්ධනය කරන කාරණා වගේම, සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙළක්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්ය. “ඉටු කළ නොහැකි පොරොන්දුවලින් රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට ඉඩ දෙන්න එපා, ඉදිරි වසර පහ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී කාලයයි, ඉදිරියටද රට වෙනුවෙන් උපරිමය ඉටු කරනවා, අසීරුවෙන් ලබාගත් ආර්ථික ස්ථාවරතාවය රැක ගනිමින් රටත් රැකගනිමු, තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක්, පාසල් හැරයන තරුණ තරුණියන් 50,000කට කාර්මික පුහුණුව ලබාගැනීම සඳහා කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන, දූෂණයට විරුද්ධ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිර්මට කමිටුවක් පත්කිම ඇතුළු කරුණු රැසක් ඉදිරි වසර 05 සඳහා රට පාලනය කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.”


දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එසේ එළිදක්වද්දී සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහනුවර බලා පිටත්ව ගොස් තිබුණි. සජිත් මහනුවර බලා පිටත්ව ගියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වීය.


එම ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාර ප්‍රජාවට සහ රටේ සෙසු මහජනතාවට නිකුත් කෙරෙන්නේ සැප්තැම්බර් මස 04 වැනිදාය. සැමට ජයක්” යනුවෙන් සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබේ. “මව්බිම සමෘද්ධිමත් දේශයක් කරා මෙහෙයවීම, සියලු පුරවැසියන්ගේ ජනජීවිතය සුරක්ෂිත කරලීම මාගේ ඒකායන අභිප්‍රායයි.” එක්වෙමු, කැපවෙමු, ජයගමු යනුවෙන්සජිත් ප්‍රේමදාස එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කොට ඇත. සමාජ යුක්තිය පදනම් කර ගනිමින් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් ඔස්සේ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ඉදිරි දර්ශනයක් අප සතුව තිබෙන බවත් එහි සඳහන් වේ. තම ආර්ථික සැලැස්ම හුදෙක් ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යා දත්ත කෙරෙහි පමණක් විශ්වාසය තබන්නක් නොවන බවත්, එය සමාජයේ සෑම අංශයකටම ප්‍රායෝගිකව සහ භෞතිකව ළඟා කර ගත හැකි සෞභාග්‍යයක් අත්පත් කර දීම ඉලක්ක කරගත් වැඩසටහනක් බවද සජිත් ප්‍රේමදාස විසින් සඳහන් කර තිබේ.


අපගේ ඉදිරි දර්ශනයේ තවත් විශේෂ අංග ලක්ෂණයක් වන්නේ දූෂණයට එරෙහිදි සටන් වැදීමයි. අපගේ පුරවැසි ජනතාව මංකොල්ලකෑමට ලක් කරමින් රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ තිබූ විශ්වාසය පළුඳු කරමින් අවසාන වශයෙන් මුළු රටම බංකොලොත් කිර්මට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ පිළිකාවක් සේ ඔඩුදුවා ඇති දූෂණය බවද එහි සඳහන් වේ. සෑම අංශයකම විනිවිදභාවයක් ඇතිකොට දූෂණය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කර ඇත. මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය දෙසටද බොහෝදෙනෙකුගේ අවධානය හිමි වී තිබෙන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙනය.


රාජපක්ෂවරුන්ට වැඩි වාසි තිබෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණයේදී හැසිර්ම කෙබඳුවේද යන කාරණය ගැනත් බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත. ඒ වගේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තම දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ප්‍රකාශ කරන්නේ තමන්ට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර හිමිවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරටද හම්බන්තොට දිස්ත්‍රික්කය සමග බොහෝ සම්බන්ධකම් ඇත.ඊට අමතරව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලයද එක්වරක් හිමිකර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වෙයි. 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට තේරි පත්වන්නේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. මෙවැනි වටපිටාවක් තිබියදී පසුගිය සතියේ විශේෂ සිදුවීමක් සිදුවිය.



එනම් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන ආයතන 12ක ආසන 9කම සභාපතිවරුන් පැජට් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණීමයි. ඔවුන් 9දෙනා පැමිණියේ තවත් රාජපක්ෂ කෙනෙකු සමග වීම විශේෂත්වයකි. ඒරාජපක්ෂත් හම්බන්තොට දිස්ත්‍රික්කයේම උපන් රාජපක්ෂ කෙනෙකු වීමත් තවත් විශේෂත්වයකි. මෙම පළාත් පාලන ආයතන 9හි සභාපතිවරුන් 9 දෙනා සමග ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂයි.



හම්බන්තොට මහ නගර සභාව, හම්බන්තොට ප්‍රාදේශීය සභාව, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, සූරියවැව ප්‍රාදේශීය සභාව, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව, කටුවන ප්‍රාදේශීය සභාව, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවට මෙසේ පැමිණියහ.

"මොකක්ද ඔබතුමාලාගේ තීරණය” යනුවෙන් කතාවට මුලපිරුවේ ජනාධිපතිවරයාය.


"ජනාධිපතිතුමනි, මේ බිම් මට්ටමේ පොදු මහජනතාව සමග ඉන්න සභාපතිවරුන්. ඔවුන් මේ තීරණය ගත්තේ රට ගැන හිතලයි. මං ඇතුළු මේ සේරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග ඉතා සමීපව වැඩ කරපු අය. නමුත් රට ගැන හිතලා ඔබතුමා දිනවන්න තමයි මේ සභාපතිවරුන් තීරණය කරලා තියෙන්නේ.” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා විසින් පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.


“අපි හැමෝම මේ වෙලාවේ එකතු වෙන්නේ රට වෙනුවෙන්. ඒක නිසා කවුරුවත් සැකයක් ඇතිකර ගන්න එපා. ඕනෑම දේකට මම ඉන්නවානේ.” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව පසුගිය 28 වැනිදා සවස අම්බලන්තොටදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් රාජපක්ෂ ප්‍රමුඛ මෙම පළාත් පාලන ආයතන 9හි සභාපතිවරුන් ඒකමතිකවම කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කටයුතු තවදුරටත් ගම් මට්ටමින් ගෙන යා යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාට සහාය දක්වන අනෙකුත් පාර්ශ්ව පසුගිය සතියේ දීර්ඝව සාකච්ඡා කොට තිබුණි.


"අපි පුළුවන් තරම් ප්‍රචාරක වැඩ ගමට ගෙනියන්න ඕන. මම ගම්පහ දැනටමත් වැඩ පටන්ගෙන තියෙන්නේ” එහෙම කීවේ ඇමති ප්‍රසන්නය.


"ඔව් ඔව් අපි මේ වෙලාවේදී ගමේ මිනිස්සුන්ට, පක්ෂ විපක්ෂ හැම කෙනා එක්කම අපි කතා කරන්න ඕන. 


එක්කෙනෙක්වත් මගහරින්න නරකයි.” හිටපු අමාත්‍ය මනූෂද කතාවට හවුල් විය. “ඇමති ආදර්ශයත් දෙන්නත් එක්ක පොහොට්ටුවේ අපියි, එක්සත් ජාතික පක්ෂයේ අයයි එකටම ගමට යමු. මේ සමගිය ගමට ගෙනියමු" ඇමති ප්‍රසන්න කී කතාවට සියල්ලන්ගේම අනුමැතිය හිමිවිය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන ක්‍රියාකාරීන් හමුව ඉකුත් සතිඅන්තයේදී පැවැත්විණ. අමාත්‍ය වෛද්‍ය රමේෂ්

පතිරණ, මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරද මේ සඳහා සහභාගී වූහ.


ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වැඩ ගමට ගෙන යාම පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා කතාබහ විය. එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාමල් සෙනරත් මේ සඳහා සහභාගි වූහ.එහිදී මනූෂ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන කරුණු දැක්වීය.


“අපි ගාල්ලේ වැඩේ පටන් ගෙන ආසන ක්‍රියාකාරීන් හමුවුණා. ඡන්ද පොළ නියෝජිතයන් එක්කත් කතා කළා. පොඩි පොඩි රැස්වීම් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් කරලා ඉවරයි. ප්‍රසන්න අමාත්‍යතුමත් ගම්පහ ඒ වැඩ ටික කරගෙන යනවා. කංචන, මහින්දානන්ද ඇතුළු අනෙකුත් අමාත්‍යවරුත් ඒ වැඩ ටික කරගෙන යනවා. ඒවට හොඳ ජනතා ප්‍රතිචාර තියෙනවයි යනුවෙන් ඇමති මනූෂ දීර්ඝ විවරණයක් කළේය.

මේ අතර පක්ෂයේ සිටින තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිර්ම සඳහා තීරණය කර ඇති බවටද මේ වන විට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


ඊට අදාළව සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන්ව ඇති අතර, නුදුරු දිනයකදීම එම පිල් මාරුව සිදුවනු ඇති බවටත් දැනගන්නට ඇත.මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය පළ කරමින් කලාකරුවෝ කිහිප දෙනෙකුම පසුගියදා ප්‍රසිද්ධියේම අදහස් දැක්වූහ.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, ප්‍රවීණ රංගන ශිල්පී මහාචාර්ය සෞම්‍ය ලියනගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය මංගල සේනානායක, පිටපත් රචක සහ රංගන ශිල්පී කලණ ගුණසේකර, ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂ සරත් සේනාරත්න, ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක, රංගන ශිල්පී නිපුණ ශාරදා පතිරගේ, සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක්. අදහස් දක්වමින් කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක දිනවිය යුතු බවයි. 


එමෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමද පසුගිය සදුදා දිනයේදී මොනාක් ඉම්පීරියල් හෝටලයේදී සිදුකෙරිණි.පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යනුවෙන් ජාජබ ප්‍රතිපත්ති මාලාව නම් වී තිබිණි. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්වී තිබූ අතර රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණි.මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර මහතාව එම තනතුරින් ඉවත් කිර්මට එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිර්මද විශේෂ කරුණක් වූවේය. වාර්තාවන අන්දමට අදාළ ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපතිවරයා ඊයේ දිනයේදී අත්සන් තබා තිබිණි. ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවේදී පක්ෂයක් ලෙස විශාල වැඩ කොටසක් මහලේකම්වරයා අතින් සිදුවිය යුතු වුවද අදාළ කටයුතු නිසි පරිදි රංගේ අතින් ඉටු නොවීම ඔහුගේ ලේකම් ධුරය ගැලවී යෑමට මූලික වූ හේතුවක් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සඳහන් වේ. එමෙන්ම අදාළ තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට එජාපයේ මහලේකම් ධුරය ලබාදෙන ලෙසට එජාපයේම ප්‍රධානීන් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද වාර්තාවෙයි.


තලතා අතුකෝරල මන්ත්‍රීවරියගෙන් හිස්වූ රත්නපුර මන්ත්‍රී ධුරයවෙනුවෙන් කරු පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කරන ලදී. පාර්ලිමේන්තුවේ හුදෙකලා සටනක සිටි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකට කරු පාර්ලිමේන්තුවට පැමිණීම ආශිර්වාදයක් වී තිබේ. ඒ, කරු පරණවිතාන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපතිවරයා වීම නිසාය.


එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.ජගත් කුමාර සුමිත්‍රාරච්චි ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාට සහාය ලබාදෙන බව ඊයේ (29දා) ප්‍රකාශ කළේය. නිතරම සමෘද්ධි ලාභීන් වෙනුවෙන් පෙනී සිටින තමා සැම විටකට පොඩි මිනිහා වෙනුවෙන් කතාකරන සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරවීමට තමන් සජිත් සමග එක්වූ බව සඳහන් කළේය.


Previous Post Next Post