මුලින් නම් කාංචනාට බැන්නා -ශිරෝෂි රොමේෂිකා




ශිරෝෂි රොමේෂිකා කියලා කියන්නේ කවුරුත් ආදරය කරන පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත සුරූපී දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. මේ දිනවල ශිරෝෂි එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් තියෙනවා. කාලයක් කලාවෙන් ඈත්ව සිටි ශිරෝෂි මෑතක සිට විවිධ නිර්මාණ හරහා දකින්න ලැබෙන නිසාම රසදුන අපි ශිරෝෂිව සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා.


 මේ දවස්වල මොකද වෙන්නෙ?


ටෙලි නාට්‍ය දෙකක මේ දවස්වල ෂූටින් යනවා. කරපු නාට්‍යය දෙකක් විකාශය වෙලා අවසන් වුණා. ඒ නිසා මේ දවස්වල කාලය ගත වෙන්නේ නම් ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක.


 එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයකින් ඔබව දකින්න ලැබෙනවා, කොහොමද ඒ ඒ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර?


මම කාලයක් වැඩ කරන්නේ නැතුව ඉඳලා වැඩ කරන්න ගත්තේ. ඒ නිසා එකිනෙකට වෙනස් චරිත කිහිපයක්ම කරන්න ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. එහෙම චරිත ලැබෙන එකත් මගේ වාසනාව. එකම විදියේ චරිත දිගටම කළොත් ලොකු වෙනසක් ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ නැහැ. මේ කාලයේ විකාශය වුණු සර්කස්කාරයෝ ටෙලි නාට්‍යය තුළින් මගේ ලොකු වෙනසක් සහිත චරිතයක් ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන් වුණා. ඒ එක්කම ඉන් පෙර “1990 ආදර කතාව” තුළ මම කළේ ඉතාම අහිංසක චරිතයක්. නළුවෙක්ට හෝ නිළියෙකුට එකිනෙකට වෙනස් වූ චරිත ලැබෙන්න ඕනේ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ ඒ නිර්මාණවලට ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිපුරම සර්කස්කාරයෝ හි කාංචනාට යන යන තැනින් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මුලින් නම් කාංචනාට බැන්නා. දැන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන සතුටුයි.


 කාලයකට පස්සෙ නේද යළිත් කලා කටයුතු එක්ක කාර්යබහුල වෙලා තියෙන්නේ,


කාර්යබහුල වෙලා කියන්නේ පහුගිය කාලයේ මම වැඩ කරන එක නතර කරලා තිබ්බේ. එකක් මගේ දුව නිසා, අනිත් දේ තමයි මගේ පෞද්ගලික හේතුන් නිසා. දැන් ආයේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා චුට්ටක් විතර කාර්යබහුල වෙලා තියෙනවා.


 දැන් වැඩි කාලයක් දීලා තියෙන්නේ කලාවට ද?


මට පුළුවන් දේ කලාව. ඒ නිසා ඒ වෙනුවෙන් දැන්වත් සාධාරණයක් කරන්න ඕනේ කියන දේ මට හිතෙනවා. ඒ නිසා මම ලැබෙන හොඳ නිර්මාණ එක්ක කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.


 ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත් ද?


මෙච්චර කාලයකට ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත්. ඒ එක්කම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සිනමා නිර්මාණයකට දායක වෙන්න.


 ශිරෝෂි එක්ක කතා කරද්දී ඩාන්සින් අමතක කරන්නම බැහැනේ. ඩාන්සින් පැත්තෙන් නිහඬ කාලයක් ද?


මේ දවස්වල නම් මම ඩාන්සින් කරන්නේ නැහැ. මට වුණු අනතුරෙන් පස්සේ චුට්ටක් විතර මම ඩාන්සින්වලින් ඈත්වුණා. නමුත් අවුරුදු කාලයේ වැඩසටහන්වලට නම් ඩාන්සින් අයිටම් දෙක තුනක් කළා.


 අලුත් අය දවසින් දවස ක්ෂේත්‍රයට එනවා. ඒ අය අභියෝගයක් ද?


ගොඩක් අය එනවා. හැබැයි මම විශ්වාස කරන දේ තමයි මම වගේ වෙන්න බැහැ තව කෙනෙක්ට. ඒ නිසා මම මටම අභියෝගයක් කර ගන්නවා මිස අලුත් අය මට අභියෝගයක් කියලා හිතන්නේ නැහැ. හැබැයි අලුත් පරම්පරාවේ දක්ෂතා තියෙන හොඳ අය ඉන්නවා. තමන් තමන්ටම අභියෝගයක් කරගත්තොත් තව කෙනෙක් අභියෝගයක් වෙන එකක් නැහැ. තමන්ට තමන් ගැනයි විශ්වාසය තියෙන්න ඕනේ.


 ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


අලුත් ටෙලි නාට්‍ය දෙකක වැඩ කළා. තව නිර්මාණ කිහිපයකට ඇරයුම් ලැබිලා තියෙනවා. හොඳ නිර්මාණ තෝරා බේරා ගෙන ඒවාට දායක වෙන්න තමයි බලාපොරොත්තුව.


 සිනමාවෙන් යළි ඔබව දකින්න ලැබෙයි ද?


මමත් ගොඩක් කැමැති සිනමාවට. මට සිනමාව වෙනුවෙන් කරන්න වුණේ එකම එක නිර්මාණයයි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තුව ඇතිව ඉන්නවා.


 අනාගත බලාපොරොත්තු මොනවද?


විශේෂ බලාපොරොත්තු නැහැ. මගේ දුව මෙරිසා. එයාව හොඳ දරුවෙක් විදියට මේ සමාජයට දෙන්න මම ආසයි. එයාගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව කරලා එයාගේ දියුණුව ගැන තමයි මම ගොඩක් හිතන්නේ. ඒ හැර කාටවත් වධයක් නොවී තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් මම. ඒ නිසා ඉදිරියටත් කාටවත් බරක් නොවී ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.


අනූෂා රණසිංහ



Previous Post Next Post