අපි එකට හිටියාටත් වඩා හොඳට දැන් ජීවත්වෙනවා – ගයාත්‍රි ඩයස්




ගයාත්‍රි ඩයස් කිව්වහම කවුරුත් හොඳින් දන්නවා. ඇය ගැන අමුතුවෙන් හඳුන්වාදීම් අවැසි නැහැ කියලයි මට හැඟෙන්නේ. රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසිනුත් විටින් විට ඔබ හමුවට එන ඇය මේ දවස්වල මුණුගැසෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පාරාදීසේ ටෙලිනාට්‍යය හරහායි. ඔය අතරේ ගයාත්‍රි කලාවට ඇවිදින් ලබන වසරට දශක තුනක්. මේ දවස්වල ඇය අධ්‍යක්ෂණ කාර්යයට සූදානම් වෙනවා. ඉතින් ගයාත්‍රිගේ තවත් නැවුම් තොරතුරු දැනගන්න ඇගේ මේ කතාව ඔයාලට කියවලා බලන්නම වෙනවා.


■ ගයාත්‍රි පාරාදීසේ මාධවී සමග ආයෙමත් පුංචි තිරයට ඇවිදින්?

මම ඇත්තටම කාලෙකින් ඇවිත් කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අම්මාගේ චරිතයක් රඟපෑවානේ. නමුත් ඇත්තම කිව්වොත් මට ඒ අම්මාගේ චරිතය ඇල්ලුවේම නැහැ. මිනිස්සුන්ගේ දෝෂාරෝපණයට ඕනෑවට වැඩිය ලක්වෙච්ච චරිතයක් වුණා. මට ඒ චරිතයෙන් සෑහෙන කාලයක ඉඳලා අයින් වෙන්න ඕනෑකම තිබුණා. මොකද මමත් ආදරණීය අම්මා කෙනකු හින්දා ඒ චරිතය මට ඇල්ලුවේ නැහැ. ඉතින් ඔය චරිතයෙන් ඈත්වෙන්න ඕනෑකම තියාගෙන ඉන්නකොට තමයි සමීර කසුන්ගේ පාරාදීසේ නාට්‍යයට කතා කළේ. මේක සිනමාව හා සම්බන්ධ ටෙලිනාට්‍යයක්නේ. මාධවී කියන්නේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. වගීෂව ක්ෂේත්‍රයට හඳුන්වලා දීලා තියෙන්නෙත් මාධවී. ඒ දෙන්නා අතර ලොකු බැඳීමක් තියෙනවා. ඉස්සරහට ඔය ටෙලිනාට්‍යයේ මාධවීට ලොකු ප්‍රශ්න ටිකක් එනවා.


■ මාධවී තවම හරියට වැඩ පටන් ගත්තේ නැතිද?


මාධවී තවම හරියට වැඩපටන් ගත්තේ නැහැ. මාධවීගේ වයසත් එක්ක වගීෂව එයාට ගැළපෙන්නේ නැහැ. කියන එක තේරෙන්නේ නැහැ. මම ඒ චරිතයට ආසයි. තවම නාට්‍ය පටන් ගත්තා විතරනේ. කට්ටියට තවම මාධවීගේ චරිතය මොකක්ද කියලා තේරිලා නැහැ.


මාධවී වෙනස් අත්දැකීමක්ද?


ඔව්. වෙනසක් තියෙනවානේ. අනික මම කවදත් එහෙම චරිතයක් කරලත් නැහැ. පසුගිය කාලයේ මම ගොඩක් අම්මලාගේ චරිත කළානේ. මට ඒවායෙන් මිදෙන්න ඕනෑකම තිබුණා. මම හිතනවා ඒක මේ චරිතයෙන් වෙනස් වේවි කියලා.


■ මොනවද මේ දවස්වල වෙන්නේ?


පාරාදීසේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට විතරයි සහභාගි වුණේ. මම මේ කාලයේ එක ටෙලිනාට්‍යයි භාරගත්තේ. මොකද මගේ සැලෝන් එක, මගේ කැෆේ එක වගේම දරුවන්ගේ වැඩකටයුතු තියෙනවා. මට ටිකක් බෙදා හදාගෙන කරගන්න ඕනෑ හින්දා එක වැඩයි භාරගත්තේ.


■ තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න හිතුවේ ඇයි?


සමීර කසුන් සමග මම මීට කලිනුත් වැඩ කරලා තියෙනවා. මේ දෙවැනි වතාව මම ඔහුත් සමග වැඩ කරන. හොඳ අලුත් අදහස් තියෙන අධ්‍යක්ෂවරයෙක්.


■ අම්මාගේ චරිතයෙන් ඈත්වෙන්න ලැබීම ගැන සතුටුයිද?


එහෙම නැහැ. සමහර වෙලාවට හොඳ චරිත ලැබුණොත් මම රඟපානවා. මම චරිත තෝරන්නේ නැහැ. මේ චරිතය පොඩි වෙනසක් තියෙන හින්දා වගේම මට පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඕනෑ හින්දයි භාරගත්තේ.


■ පසුගිය කාලේ වැඩි සද්ද බද්දයක් නෑ?


පසුගිය කාලයේ මගේ අනෙක් වැඩකටයුතුවලට කාලය යොදවන්න ඕනෑ නිසාම මම වුවමනාවෙන්ම වගේ වැඩ භාරගත්තේ නෑ. අනික එකම වගේ චරිත ගොඩක් හම්බ වුණොත් කරන්න හරි අමාරුයි. තවත් එකක් තමයි හොඳ නිර්මාණ ඔක්කොම වගේ රූගත කරන්නේ කොළඹින් පිට පළාත්වල. නමුත් අපිට ඒවාට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. සමහර නිර්මාණ මම වුවමනාවෙන්ම අතහැරියා. දැන් ඉතින් සීමිත කාලයක් තමයි අපිට වැඩකරන්න තියෙන්නේ.


■ ගයාත්‍රි එන්න එන්නම තරුණ වෙනවා කියලයි කට්ටිය කියන්නේ?


අනේ මන්දා. සමහර අය එහෙම කියනවා මටත් ඇහිලා තියෙනවා. එහෙම කියන්න හේතුවකුත් තියෙන්න ඕනෑ. මම නම් කවදත් විශේෂිත දෙයක් ඒකට කළේ නැහැ. මට තියෙන සම්පත්වලින් බොහෝම සන්තෝසයෙන් ජීවත්වෙන මනුස්සයෙක්. අනික කා එක්කවත් තරගයක්වත් තරහක්වත් මට නැහැ.


■ දුවලාගේ වැඩකටයුතු එහෙම කොහොමද?


ලොකු දුව නම් ලංකාවේ නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ කැනඩාවේ. පොඩි දුව නම් එයාගේ ඩිප්ලෝමා එකට ලෑස්ති වෙනවා.


■ මේ ලැබෙන ජනප්‍රියත්වයේ රහස මොකක්ද?


ජනප්‍රියත්වය නම් මගේ කවදත් අඩු වුණේ නැහැ. හේතුව මමවත් හරියට කියන්න දන්නේ නැහැ. මම අවුරුදු දහයක් රඟපාන්නේ නැතිවත් හිටියා. ඒ කාලෙදිවත් කවුරුවත් මාව අතහැරියේ නැහැ. කොහොමත් මම ක්ෂේත්‍රයට ආපු කාලෙදිත් අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු මාව ගොඩක් නිර්මාණවලට සම්බන්ධ කරගන්න උත්සාහ කරලා තියෙනවා. ගෙදරට වෙලා ඉන්න කාලෙදිත් ඒ ආරාධනා එහෙම්ම ලැබුණා. වෙනස් දේවල් ටික්ක තිබුණ හින්දා විශේෂ තැනක් හැමදාම තිබුණා. ඒ හින්දා වෙන්න ඇති ජනප්‍රියත්වය කවදාවත් අඩු වුණේ නැත්තේ. මම වැඩ කළත් නැතත් මිනිස්සු අතර හිටියා.


■ ව්‍යාපාර වැඩකටයුතු එහෙම කොහොමද?


මම දැන් සැලෝන් ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙනකොට අවුරුදු විසිහතරක් වෙනවා. ඉතින් ලොකු කාලයක්. ඒ කාලේ ඒවට ගොඩක් කාර්යබහුල වෙලා වැඩ කළා. නමුත් දැන් මේ කාලය වෙනකොට ඒ තරමටම කාර්යබහුල නොවුණත් ජීවත්වෙන්න පුළුවන් ප්‍රමාණයට ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.


■ ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


මම හිතන්නේ අමාරුවෙන් උත්සාහයෙන් ජයගන්න ඕනෑ දෙයක්. ඇත්තම කියනවා නම් ජීවත්වෙන එක ලේසි නැහැ. මගේ ලයිෆ් එකේ හැමදාමත් වෙනස්වෙන තැන්වලදී මම නොවෙනස්ව ඉන්න උත්සාහ කරපු මනුස්සයෙක්. ඒ නිසා මම ඒ තැනට උචිත විදිහට ජීවිතය හැඩගස්සවා ගත්තා. මොකද අපිට කොයිවෙලේ යන්න වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැති අය. අනික වර්තමානය කියන එක බොහොම සුන්දරයි කියන එක හිතන මනුස්සයෙක් මම. ඊළඟ තත්පරයත් අනාගතය හින්දා මම ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒ කාලේ දරුවන් ගැන වගේම හැමදෙයක් ගැනම ලොකු බලාපොරොත්තු තිබුණා. දැන් නම් මේ ලෝකේ හැමෝටම මේ මොහොත සතුටින් හිටියොත් තමයි ජීවිතය විඳින්න පුළුවන් කියන තැන ඉන්න කෙනෙක්.


■ ගයාත්‍රි ජීවිතය විඳින්න කැමැති චරිතයක්?


ඔව්. මම ජීවිතය විඳවන්න කොහෙත්ම කැමැත්තක් නැහැ. මොකද විඳෙව්වා කියලා කාටවත් ඒකෙන් ලාභයක් නැහැනේ. ලද දෙයින් සතුටු වුණොත් ඇති.


■ එදා පරම්පරාව සහ අද පරම්පරාව අතර වෙනස කොහොමද දකින්නේ?


අලුත් පරම්පරාවේ අයට හරි ඉක්මනින් අවස්ථාව ලැබුණනේ. ඒ ගොල්ලෝ වැඩිය මහන්සි වුණේ නැහැ. ඒ හින්දා ඒ ගොල්ලන්ට ඒවායේ අගයක් නැතිකමක් තියෙනවා. අපිට නම් එහෙම නැහැ. අපිට හීන වෙලා තිබුණ රූප අපි ඉදිරියට ඇවිත් ඉන්නකොට කොටින්ම ඒ ගොල්ලන්ට වඩා ඉදිරියෙන් ඉන්න අපිට හිතෙන්නේ නැහැ. කතා කරද්දිත් කට පැටලෙන ගානට අපි ඒ මිනිස්සුන්ට ආදරය කරනවා. ඇත්තම කියනවා නම් දැන් ඉන්න අයට ඒක නැහැ. සමහර අය අඳුරන්නෙත් නැහැ. සමහර අයගේ නම් ගම් කිව්වම දන්නෙත් නැහැ. අලුත් පරපුර අපේ රටේ ඉන්න වටිනා කලා පවුල් ගැන දන්නෙත් නැහැ.


■ ඔබට මඟතොටේදී ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


ගොඩක් දෙනෙක් මාව අඳුරනවා. ඒ හැමදෙනෙක්ම බොහොම ආදරයෙන් කතා කරනවා. මුහුණ අඳුර ගත්තේ නැතත් කටහඬින් මාව අඳුර ගන්නවා. ඒක ලොකු වටිනාකමක්. ඒ ආදරය සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් අපි කරන්නේ බොහොම ලස්සන රස්සාවක්. ඒ ප්‍රතිචාර අපේ මුහුණට ලැබෙනවා. සමාජ මාධ්‍ය ප්‍රතිචාර දැක්කහම අපි දිහා වෛරයෙන්, තරහින් බලන පිරිසකුත් ඉන්නවා. ඔය දෙගොල්ලොම අතර දෝලනය වන ලස්සන ගමනක් යනවා. අපිට ගල් මුල් සියල්ලම ලැබෙනවා.


■ සෝෂල් මීඩියා කැම්පේන් කරලා තව ජනප්‍රිය වෙන්න අදහසක් නැතිද?


ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහසයෙන් විතර. මම හිතන්නේ 1995 වසරේ. ලබන අවුරුද්දට අවුරුදු තිහක් වෙනවා. ඉතින් මගේ වයසෙන් වැඩිම කාලයක් වැය කරලා තියෙන්නේ කලා ක්ෂේත්‍රයේ. මම හිතන්නේ මම අතිරේක ප්‍රචාරණයක් කරන්න අවශ්‍ය නැහැ කියලයි. අපි ඒවා නොකළට මගේ ව්‍යාපාර ළඟටත් ගොඩක් පිරිසක් එනවා. සෝෂල් මීඩියා කැම්පේන් නොකළා කියලා මට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ හින්දා අනවශ්‍ය විදිහට දඟලන්න ඕනෑ නැහැ කියලයි මට හිතෙන්නේ.


■ ක්ෂේත්‍රයට ඇවිත් දශක තුනක්. අධ්‍යක්ෂණයට අතගසන්න සූදානමක් නැතිද?


මම මේ දවස්වල කෙටි චිත්‍රපට ටිකක් නිර්මාණය කරගෙන යනවා. ඒත් තවම මට බැරිවුණා හරියට එක තැනකට ගොනු කරගත්ත. මම දැන් මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක් සමග ඒ පිළිබඳව කතා කරමින් පවතිනවා. අද හෙටම මම ඒකේ වැඩකටයුතු පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් හෙට අනිද්දාම මම අධ්‍යක්ෂණයට එනවා.


■ අවුරුදු තිහක්. ආපසු හැරී බැලුවොත් ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි?


මට අද වගේම මතකයක් තිබෙනවා, මම මේ ක්ෂේත්‍රයට ආපු මුල්ම දවස. පළමුවෙන්ම කැමරාව ඉදිරියට ගිය දවස. මම මුලින්ම රඟපෑවේ රන්ජන් රාමනායක සමග. අපි එදා බයවෙලා මේක අතහැරියා නම් අද මම මෙතැන නැහැ. මම ක්ෂේත්‍රයට ඇවිත් මාස හය හතක් රඟපාලා ඊට පසුව රඟපාන්නේ නැහැ. විවාහ වෙනවා කියලා තීරණය කරනකොට ජෝ අබේවික්‍රම මහත්මයා මගේ ගෙදරට පවා ආවා මාව නිර්මාණයකට ගන්න. මම හිතන්නේ, කරන්නේ නැහැ කියලා නිර්මාණ විස්සක් විතර අතහැරලා තමයි කසාද බැන්දේ. නැවත මම නිර්මාණකරණයට එන්නේ අවුරුදු දහයකට පස්සේ. ඒ උදයකාන්තගේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයෙන්. ඊට පස්සේ මම පටන් ගත්තු එක තමයි මේ දැන් දිගටම කරගෙන යන්නේ. කොහොම හෝ නැවතවරක් මම ආදරය කරන තැනටම අරගෙන ආවා.


■ විවාහයට නිර්මාණ විස්සක් අතහැරීම ගැන මොකද හිතන්නේ?


හරියටම මම නිර්මාණ විස්සක් අතහැරියා. චන්න අයියත් ඒ කාලේ ක්ෂේත්‍රයට ආපුම කාලයේ. මම අදටත් හිතනවා මගේ හොඳම කාලයේ තමයි ඒ දේවල් මම අතහැරියේ කියලා. විවාහයට කලින් ප්‍රධාන චරිත හතරක් විතරයි කරන්න පුළුවන් වුණේ.


■ විවාහය වෙනුවෙන් ගත්තු තීන්දු තීරණ ගැන අද වෙනකොට පසුතැවීමක් තිබෙනවාද?


ඒකේ ඇත්තටම පසුතැවීමක් කියලා දෙයක් හිතන්න නැහැ. එක එක්කෙනාට ජීවිතයේ ලැබෙන විදිහක් තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බැහැ. පසුතැවුණා කියලා අපිට ඒක වෙනස් කරන්නත් බැහැ. අනික මට පසුතැවෙන්න තිබුණා මෙච්චර වටිනා දරුවෝ දෙදෙනෙක් හිටියේ නැතිනම්. ඉතින් පසුතැවෙන්න ඕනෑ නැහැ නේද? විවාහය ඇතුළේ මට ලැබිලා තිබෙන දරුවෝ දෙන්නා මට ලෝකයක් වටිනවා. ඒක වෙන්න ඕනෑ දේ ඒ විදිහට සිද්ධ වුණා. අනෙක් දේවලුත් ඒ විදිහටම සිද්ධ වුණා. අද වෙනකොට අපි දෙන්නගේ හිත්වලට කිසිම අමනාපයක් නැහැ. මට හිතෙනවා අපි එකට හිටියාට වඩා හොඳට දැන් ජීවත් වෙනවා කියලා.


දිනේෂ් විතාන




Previous Post Next Post