මමත් තවම භාග්‍යාව හොයන ගමන් ඉන්නේ-දසුනි නවෝද්‍යා





මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ඇය නැඟී එන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. “සර්කස්කාරයෝ” හි අනුකි කිව්වම ඇයව නොදන්නා කෙනෙක් නම් නැති තරම්. ඇගේ දක්ෂතාව වගේම සුන්දර සිනහවත් හුරුබුහුටි පෙනුමත් රසික හදවත් වශී කරගන්නට හේතුවක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. මෙවර හදගැස්මට මේ සො¾දුරු කතාබහ එක් කළ ඇය නමින් “දසුනි නවෝද්‍යා”


මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල ටෙලි නිර්මාණ තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒ තමයි මී මැස්සා, රොන් කියන ටෙලි නාට්‍ය වගේම තවත් අලුත් නිර්මාණයකුත් තව සති දෙකකින් වගේ ටෙලිකාස්ට් වෙන්න තිබෙනවා. ඒකේ නම තාම පබ්ලිෂ් කරලා නැහැ. ඉතින් නාට්‍ය තුනත් එක්ක කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. තව නිර්මාණ කීපයකට පිටපත් දෙක තුනකුත් ලැබිලා තිබෙනවා. ඒවත් කියවන අතරේ නිවේදන කටයුතු වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන ඉන්නවා


‘මී මැස්සා’ කියන්නේ වෙනස් ආරයක ටෙලි නිර්මාණයක්. ඔබ එහි ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබාදෙනවා නේද? ඒ ගැන කතා කරමු?


මී මැස්සා ටෙලිනාට්‍ය ඇත්තටම වෙනස් විධියේ නිර්මාණයක්. මෑතකාලීනව මම ඒ වගේ ටෙලි නාට්‍යයක් දැක්කේ නැහැ. ඒ තරම් ඒක පවර්ෆුල් නිර්මාණයක්. දේශපාලනය පාදක කරගෙන තමයි මේ නිර්මාණය ගොඩනඟලා තිබෙන්නේ. සමාජයේ පසුගිය කාලයේ අපිට අත්විඳින්න වුණු, දකින්න ලැබුණු ගොඩක් දේවල් මේ නිර්මාණයෙන් ප්‍රශ්න කරනවා. මම එහි ප්‍රධාන චරිතයකට තමයි මගේ රංගන දායකත්වය ලබා දෙන්නේ. ඇත්තටම මට ඒ චරිතය ලැබීමම භාග්‍යයක්. මේ චරිතයේ නමත් භාග්‍යා. භාග්‍යා කියන චරිතය කවුද කියන එක තාම ප්‍රේක්ෂකයන්ට තේරෙන්නේ නැහැ. භාග්‍යා කියන චරිතය ගැන මමත් තවම හොයන ගමන් ඉන්නේ. ඒ චරිතයේ ප්‍රේක්ෂකයන්ට පෙන්නන රූපයම නෙවෙයි ඇතුළාන්තයේ තිබෙන්නේ. චරිතය ගැන මම නොකියා ඉන්නම්. භාග්‍යා කියන චරිතයෙන් කතාවේ ගොඩක් දේවල් කියැවෙනවා. ඇත්තටම මට ඒක අභියෝගාත්මක චරිතයක්. චරිතය ඇතුළෙත් තවත් චරිත ගොඩක් රඟපාන්න වුණා. කලා ජීවිතයේ මට ලැබුණු බාහිර පෙනුමෙන් පවා වෙනස් වුණු වෙනස්ම විධියේ චරිතයක්.


ඔබට තරුණ රංගන ශිල්පිනියක් විධියට මේ නිර්මාණය තුළදී ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් බොහොමයක් සමඟ එකට වැඩකටයුතු කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?


දිල්ෂාන් පතිරත්න අධ්‍යක්ෂතුමා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෑ. ඔහු මං ගැන ලොකු විශ්වාසයකින් තමයි මාව මේ චරිතයට තෝරා ගත්තේ. ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි. මං වගේ ආධුනික කෙනෙක් තෝර ගද්දී ඒක අධ්‍යක්ෂතුමාටත් අභියෝගයක්. ඉතින් මේ නිර්මාණයේදී අධ්‍යක්ෂතුමා, නිෂ්පාදකතුමා, කැමරා අධ්‍යක්ෂ ඇඩම්ස් මේ හැමෝමත් මට උපරිම සහයෝගයක් දුන්නා. මගේ වයසේ ආධුනික කිසිම කෙනෙක් මේ නිර්මාණයේ හිටියේ නැහැ. බොහොමයක් ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් තමයි හිටියේ. ඉතින් ඒ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මේ චරිතය මම සාර්ථකව කරනවා නම් එහි ගරුත්වය හිමි වෙන්නෙ මගේ අධ්‍යක්ෂතුමා ඇතුළු අනෙකුත් කලාකරුවන්ට කියලා මම හිතනවා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය, ගුරුහරුකම් මගේ කලා දිවියේ ඉදිරියට බොහොම වටිනවා.


ඔබ මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම දකින්නට ලැබෙනවා. ඒ ගැන කිව්වොත්?


ඔව්. මාව ටෙලි නිර්මාණ කිහිපයකම මේ දිනවල දකින්න පුළුවන්. සික්ස් පැක් ටෙලි නාට්‍ය ගිය සතියේ ඉවර වුණා. සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයත් තව සතියකින් විතර අවසන් වෙන්න නියමිතයි. ඒත් එක්කම ළඟදීම තවත් අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා. ඒ නිර්මාණයේත් ප්‍රධාන චරිතයකට තමයි රංගන දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම රොන් කියන ටෙලි නාට්‍යයෙනුත් , මී මැස්සා තුළිනුත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව බලන්න පුළුවන්.


මේ නිර්මාණ තුළින් ඔබ රංගන දායකත්වය ලබාදෙන්නේ එකිනෙකට වෙනස් ආරයේ චරිතයන්ට නේද?


ටෙලි නිර්මාණ තුනේ මට ලැබුණු චරිතයන් තුන් ආකාරයි. එක හා සමාන කැරැක්ටර්ස් නෙවෙයි. රොන් කියන නිර්මාණයේ මං හරි අහිංසක චරිතයක් කරන්නේ. භාග්‍යා කියන චරිතය ගොඩක් වෙනස් හරි අමුතු චරිතයක්. ඒ වගේම අනුකි කියන්නේ හරිම නපුරු චරිතයක්.


ඔබ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. මේ ක්ෂේත්‍ර දෙකෙන් ඔබ වැඩිපුරම කැමති කුමන ක්ෂේත්‍රයට ද?


මගේ ෆීල්ඩ් එකේ අය වගේම බොහෝ දෙනකු අහන දෙයක් තමයි මං ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ කොයි ක්ෂේත්‍රයෙන් ද කියලා. මම මුලින්ම ෆීල්ඩ් එකට එන්නේ නිවේදිකාවක් විධියට තමයි. රංගන ශිල්පිනියක් විධියට නෙවෙයි. ඒ නිසා මම නිවේදනය කියන දේ කවදාවත් අතහරින්නෙත් නැහැ. මම රංගනයටත් ගොඩක් ආදරෙයි. ඒ දෙකෙන් එකක් මට තෝරගන්න බැහැ. රංගන කටයුතුවල ෂූටිං දවස් හැරුණම අනෙක් දවස්වල පුළුවන් උපරිමයෙන් නිවේදන කටයුතුවලටත් අවස්ථාව දෙන්න මම උත්සාහ කරනවා.


ඔබ චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද? ඒ ගැනත් කියමුද?


මම චරිතයක් තෝරා ගැනීමේදී බලන දේවල් ටිකක් තිබෙනවා. ඒ චරිතය ඇතුළෙ මට මහන්සි වෙලා කරන්න දෙයක් තිබෙනවාද කියලා තමයි මම මුලින්ම බලන්නේ. මම තාම ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක්. මම චරිතයකින් චරිතයකට ආවේණික වුණු වෙනස්ම දෙයක් කරන්න කැමැතියි. මම චරිතයක් කරන්න කලින් ඒ ගැන ගොඩක් හොයන පෙර පුහුණුවීම් කරන කෙනෙක්. ඉතින් ලැබෙන චරිත වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙන කෙනෙක්. ඒ වගේම සමහර සීමාවන් තුළ තමයි චරිතයක් තෝර ගන්නේ. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස් කවදාවත් මම කරන්නේ නැහැ. ඒක මම හිතාගෙන ඉන්න දෙයක්.


මෙතෙක් රඟපෑ චරිත අතර ඔයාට සුවිශේෂී වුණු චරිතයක් තිබෙනවාද?


මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි සර්කස්කාරයෝ එකේ අනුකි කියන චරිතය. අනුකි කියන චරිතයට මුලින්ම ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්න වුණත් පස්සේ ඒ චරිතයට බොහෝ දෙනා ආදරය කරන්න ගත්තා. මම හිතනවා ඒ චරිතය ඇතුළේ මොනවා හරි දෙයක් කරන්න ඇති කියලා. අනුකිට ගොඩක් ප්‍රතිචාර හම්බුණා. ඒ වගේම සෑම චරිතයකටම මම එක වගේම කැමැතියි. නමුත් මී මැස්සා ටෙලි නිර්මාණයේ භාග්‍යා කියන චරිතයත් මට ගොඩක් සුවිශේෂී චරිතයක්.


ඔබ මේ වනවිට වසරේ ජනප්‍රියම රූපවාහිනි නිවේදිකාව ලෙස නිර්දේශ වී තිබීම ගැන දැනෙන හැඟීම කොහොමද?


පොපියුලර් වර්ක් එකේ ජනප්‍රියම නිවේදිකාවන් අතරට නිර්දේශ වෙලා තිබෙනවා. ඉතින් පළමු වරට නිර්දේශ වුණේ. ගොඩක් සතුටුයි.


රංගන දිවියේ නවක ශිල්පිනියක් විධියට ලැබුණු අභියෝග ගැනත් මතක් කරමු?


ආධුනික කෙනෙක් ක්ෂේත්‍රයට ආවම විවිධ අභියෝග තිබෙනවා. ලොකු කැපකිරීම් ගොඩක් කරලා මහන්සි වෙලා තමයි මම දැන් යම් තැනක ඉන්නවා නම් ඒ තැන හදා ගත්තේ. මම කවදාවත් අනවශ්‍ය වැඩ හොර, බොරු, නරක දේවල් කරල නැහැ. මම අද තැනක ඉන්නව නම් ඒ මගේ දක්ෂතාවයෙන් සහ මගේ මහන්සියෙන්. ඉතින් සෝෂල් මීඩියාවල අපේ ලස්සන ෆොටෝ එකක් දැක්කම කවුරුත් එහෙම හිතන්නේ නැහැ.


මෙතෙක් ආ ගමනේ සහයෝගය දැක්වූවන් ගැනත් මතක් කරමු?


මගේ අම්මයි තාත්තයි නැත්නම් අද මම මේ තැන නැහැ. දුකේදී සැපේදී මං අඬන තැන්වලදී මං හිනා වෙන තැන්වලදී මගේ හයියට හිටියේ මගේ අම්මයි තාත්තයි. මගේ සීයත් මම ආදරයෙන් මතක් කරනවා. මගේ හොඳම යාළුවො මතක් කරන්න ඕනි අනිවාර්යයෙන්ම. මට සහෝදරයෝ නම් නැහැ. මගේ හොඳම යාළුවගේ නම අනූෂා. එයත් මට මේ ගමනෙදි ගොඩක් උදවු කරපු කෙනෙක්. ස්වාධීන රූපවාහිනි නාලිකාවටත් අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනෑ. ඒ වගේම මට උගන්වපු ගුරුවරුන් ඇතුළු මට නොයෙක් විදිහට සහයෝගය දැක්වූ හැමෝම මතක් කරන්න කැමැතියි. සහයෝගය දැක්වූ අය වගේම මගේ හිත රිද්දපු අයත් හිටියා.


මේ තරම් ලස්සන දසුනිට තරුණයන්ගෙන් ආදර යෝජනා එහෙම ලැබෙනව ඇති නේද?


මට ප්‍රතිචාර තරුණයන්ගෙන් වගේම තරුණියන්ගෙනුත් ලැබෙනවා. ආදර යෝජනාත් ලැබෙනවා. මම හිතනවා මට ගැළපෙන හරිම කෙනා හරි කාලෙදි හමුවෙයි කියලා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post