හඳුනාගත්තොත් ඔබ මා’ මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ඇගයුම් උලෙළක් -ඩබ්ලිව්. ජයසිරි




ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි ඇගයුම් උලෙළ “හඳුනාගත්තොත් ඔබ මා” නමින් එළඹෙන ජූලි 30 වැනිදා සවස 5.00ට සුදර්ශි ශාලාවේදී පැවැත්වේ. මෙය සංවිධානය කරන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) සිනමා අනුමණ්ඩලය විසින්. මෙදින ඩබ්ලිව්. ජයසිරි රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට ත්‍රිත්වයක් ද නොමිලේ තිරගත කෙරේ. මේ පිළිබඳ ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි හා සුදර්ශි සභාපති සමන්ප්‍රිය මාරසිංහ සමඟින් කතා බහ කළා.


මුලින්ම අපි ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි “හඳුනාගත්තොත් ඔබ මා” ඇගයුම් උලෙළ කතා කළෙමු. මා වෙනුවෙන් මෙහෙම උලෙළක් සංවිධාන වෙන බව මට දැනුම් දුන්නේ සුදර්ශි ශාලාවෙන්. මෙය මම බලාපොරොත්තු නොවුණු මොහොතක ඒ අය ඉදිරිපත් වෙලා සැලසුම් කරපු ඇගයුම් උළෙලක්. මම ඉතින් මෙය අවස්ථාවක් කර ගන්නවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට සුහද ඇරයුමක් කරන්න.


ඔබේ නිර්මාණ අතරින් චිත්‍රපට ත්‍රිත්වයක් ජූලි 30 තිරගත වෙනවා. ඒ ගැන කතා කරොත්


එච්. ඩී. ප්‍රේමරත්නගේ “විසිදැල”, ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” සහ අසෝක හඳගමගේ ”මේ මගේ සඳයි” යන චිත්‍රපට ත්‍රිත්වය තමයි එදිනට තිරගත වෙන්නේ. බඹරු ඇවිත් චිත්‍රපටයේ මම රඟපෑ චරිතය ඉතා කුඩා චරිතයක්. නමුත් මම රචනා කරපු ගීතය 1980 වසරේ හොඳම ගී පද රචනයට හිමි සම්මානය මට ගෙනදුන් නිර්මාණය. ඒ වගේම අමතක කරන්න බැහැ ධර්මසේන පතිරාජයන්. ඒ එක්කම විසි දැල චිත්‍රපටය මට සුවිශේෂී වෙන්නේ මම ප්‍රධාන භූමිකාවක් රඟපෑ මුල්ම සිනමා නිර්මාණය වීම නිසා. මේ නිර්මාණ දෙක නම් බොහෝවිට ප්‍රේක්ෂකයින් නරඹා ඇති නිර්මාණ. නමුත් අසෝක හඳගමගේ ”මේ මගේ සඳයි” චිත්‍රපටය නම් පොදු ප්‍රේක්ෂකයාට සමීප කරන්නට නොහැකි වුණ නිර්මාණයක්. ඒ නිසා මෙම ඇගයුම් උලළෙට ආවොතින් ”මේ මගේ සඳයි” චිත්‍රපටයත් නරඹන්න පුළුවන්.


මේ කාලයේ නිර්මාණ කටයුතු මොනවද?


දැන් ඉතින් ඉස්සර වගේ චිත්‍රපට කෙරෙන්නේ නැහැනේ. පුංචි තිරයේ නිර්මාණ කිහිපයකට දායක වුණා. සුපුන් රත්නායකගේ ලලයි ලිලයි ලයි සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ පබළු නාට්‍යයට.


එතකොට ගීත රචනා පැත්තෙන් අලුත් දෙයක් කළේ නැද්ද?


ගීත කිහිපයක් ලිව්වා. කවුරු හරි කෙනෙක් ගීතයක් ලියලා දෙන්න කිව්වොත් අදටත් මම ගීත ලියනවා.


නව පරපුරේ අය එක්ක ඔබ වැඩ කරනවා, ඒ අයව දකින්නේ කොහොමද?


ඉතාම හොඳ දක්ෂයින් ඉන්නවා. හොඳ නිර්මාණ බිහිවුණොත් ඒ අයගෙන් හොඳ වැඩ කිහිපයක් ගන්න පුළුවන්. මිචෙල් දිල්හාරා, රන්දික ගුණතිලක, දසුන් පතිරණ වගේ අය යොදාගෙන මේ කලාවට හොඳ නිර්මාණ කරන්න නිර්මාණකරුවන්ට ඉඩ තියෙනවා.


කලරුවෙක් වීම ගැන අද මොකද හිතෙන්නේ?


ආර්ථිකමය වශයෙන් එතරම් ම ශක්තිමත් නොවුණත් ජීවිතේ සුන්දරව ගත කරන්න ලැබුණේ කලාකරුවෙක් වීම තුළින්. ඒ නිසා කලාකරුවෙක් වෙන්න ලැබීම ගැන මා ලබන්නේ සතුටක්.


මෙම උපහාර උලෙළ සංවිධානය කරන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) සිනමා අනුමණ්ඩලය විසින්. ඒ නිසා මේ ගැන දැන ගන්න අපි කතා කළේ සුදර්ශි හි සභාපති සමන්ප්‍රිය මාරසිංහට.


“හඳුනාගත්තොත් ඔබ මා” ඩබ්ලිව් ජයසිරි ඇගයුම් උලෙළ ගැන ඔහු පැවැසුවේ මෙවැනි කතාවක්.


“අපි අපේ ප්‍රවීණයින් ඇගයීමේ උලෙළක් මාසිකව කරගෙන යනවා. ජූලි මාසේ අපි වෙන් කළේ අපේ ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි මහතා වෙනුවෙන්. මින් පෙර සොමි රත්නායක, රෝහණ බැද්දගේ, සෝමාපාල ලීලානන්ද කලාකරුවන් වෙනුවෙන් උපහාර දැක්වූවා. ඉදිරි මාසවලදීත් මේ ඇගයීම් උලෙළ අපි කරගෙන යනවා.


මෙහිදි අප විසින් විසි දැල චිත්‍රපටය තෝර ගත්තේ ඩබ්ලිව්. ජයසිරි මහතාගේ ඉතා විශිෂ්ට රංගනයක් සහිත නිර්මාණයක් නිසා. බඹරු ඇවිත් තෝරා ගන්න හිතුවේ ධර්මසේන පතිරාජයන් නිසා. එතුමාව ඉතා ළඟින් ඇසුරු කළ කෙනෙක් ඩබ්ලිව් ජයසිරි කියන්නේ. පතිරාජ මහතාගේ නිර්මාණ වල සහය අධ්‍යක්ෂවරයා වුණෙත් ඩබ්ලිව්. ජයසිරි. ඒ එක්කම බඹරු ඇවිත් කියන්නේ අපේ රටේ සිනමාවේ සලකුණක් තබපු නිර්මාණයක්. අනිත් අතට බඹරු ඇවිත් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය තුළම තියෙනවා සිනමාව කියන්නේ මොකක් ද කියන එක හඳුනා ගන්න. 70 දශකයේ අග බාගයේ ආව බඹරු ඇවිත් චිත්‍රපටය මමත් පාසල් යන කාලේ මුල් සතියෙම බැලුවා. ඇත්තම කිව්වොත් ඒ දවස් වල අපිටත් තේරුම් ගන්න බර වැඩියි. දැන් තමයි මොකක් ද මේ කියන්න උත්සාහ කරලා තියෙන්නේ කියලා තේරුම් යන්නේ. අපි මේ කලාකරුවන් අගය කරන්න හේතුව තමයි කලාකරුවා තමයි සමාජයක පෙර ගමන් කරු. ධර්මසේන පතිරාජ ඒ කාලේ කිව්ව කතාව දැන් තමයි තේරෙන්නේ. අපේ අය එකතු වෙලා පෙර ගමන්කරුවා කරගෙන ඉන්නේ දේශපාලඥයින්නේ. දැන් බලන්න ඩබ්ලිව්. ජයසිරි එදා ලියපු “හඳුනාගත්තොත් ඔබ මා” ගීතයම මදිද, මේ උළෙලේ දී අපි පෙන්වනවා කොළඹ යශෝධරා විද්‍යාලයේ ළමයි මේ සින්දුවට කරලා තියෙන ක්‍රියේටිව් අංගයක්. අපිට හිතා ගන්න බැහැ මේ ගීතය මේ ළමයින්ගේ ජීවිතවලට මේ තරම් එකතු වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ නිසා යශෝධරා විද්‍යාලයෙන් අවසර ඇතුව අපි ඒක මේ 30 වනදා සුදර්ශියේ දී පෙන්වනවා.


අවුරුදු 40ක් ගිය තැනදීත් ඒ දරුවන්ට මේ ගීතය දැනෙනවා නම් ඩබ්ලිව්. ජයසිරිට කොහොම දැක්මක් තියෙන්න ඕනෙද මේ ගීතය ලියන්න. අනාගතය ගැනත් දැකපු මිනිස්සු මේ. මගේ භාෂාවෙන් කිව්වොත් කලාකරුවා යනු මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වයට ළඟා වූ මිනිස්සු. ඒකයි අපි අගය කළ යුත්තේ. ඕනෙම කෙනෙක් ජීවත්ව සිටින වෙලාවේ තමයි අගය කරන්න ඕනේ. ඒ අයට දැනෙන්න දෙන්න ඕනේ ඒ අය මේ කලාව වෙනුවෙන් යමක් කළා කියන හැඟීම. මැරුණට පස්සේ උපහාර තියන දේවල් බොරු වැඩනේ.


විවෘත ආරාධනාවක් තියෙන්නේ. ඕනෙම කෙනෙක්ට එන්න පුළුවන් ජූලි 30 වනදා පෙරවරු 10.30ට ‘විසි දැල‘, සවස 2.30ට ‘බඹරු ඇවිත්‘. සවස 5.00ට පටන් ගන්නවා ඩබ්ලිව්. ජයසිරි මහතාගේ ඇගයීම් උත්සවය. එතනදී විශේෂ දෙසුම පවත්වන්නේ සමන් අතාවුදහෙට්ටි මහතා. ඉන් අනතුරුව තමයි රාත්‍රි 7.00ට ‘මේ මගේ සඳයි‘ චිත්‍රපට පෙන්වන්නේ.


 


 අනුෂා රණසිංහ



Previous Post Next Post