ඔයා දකින්න කැමති ඒ විදිහට කියලා එයා කිව්වා දසුනි සෙනෙත්මා



මේ දිනවල ඇය සාෂා නමින් වෙනස්ම රුවකින් ඔබ හමුවට එන්නීය. බොහෝ දෙනා සාෂා දෙස පුදුමයෙන් බලා සිටියි. මන්ද ඔවුන් ඇයට ආදරය කළේ යෙනුකි නිසාය. රදීශාට මෙන්ම අමායාට ආදරය කළ පිරිස් ද විය. කවුරු කෙසේ ආදරය කළ ද ඒ ආදරය විඳින ඇය දසුනි සෙනෙත්මාය. දහඅට වැනි වියේ පසුවන ඇය ප්‍රවීණයන් ඇසුරේ අත්දැකීම් ලබමින් ක්‍රමයෙන් රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා ගනිමින් සිටින්නීය.


දසුනි මේ දවස්වල එන්නේ සාෂා විදිහට. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


සාෂා කියන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන ‘රොන්’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය. සාෂා මං මෙතෙක් කරපු චරිතවලට වඩා වෙනස්ම එකක්. මීට කලින් මං ප්‍රදීප් අයියා එක්ක දිව්‍යාදරී ටෙලි නිර්මාණයේ වැඩ කළා. දිව්‍යාදරී කරන කාලෙම ප්‍රදීප් අයියා මගෙන් ඇහුවා අපි තව වැඩක් පටන් ගන්නවා, ඔයා සම්බන්ධ වෙන්න කැමති ද කියලා. ලස්සන වැඩක් නිසා මාත් කැමැති වුණා.


සාෂා නිසා ඔබට ගොඩක් බාහිර වෙනස්කම්වලට ලක් වෙන්න වුණා. ඒ ගැන කතා කළොත් ?


ප්‍රදීප් අයියා කතා කරද්දිම කිව්වා දිව්‍යාදරී එකේ රදීශා නෙවෙයි මට මෙතනදි ඕන කියලා. ඔයාගෙ කොණ්ඩෙ ටිකක් කොට කරලා, කලර් කරලා, ලෙන්සස් දාලා වෙනස් කරගන්න ඕන කිව්වා. ඒ විදිහට ඔයාව දකින්න කැමැතියි කියලා කිව්වා. මං හිතනවා මං ඒ චරිතයට සාධාරණයක් කළා කියලා. ‘රොන්’ තවම කොටස් කිහිපයයි විකාශය වුණේ. මේ වෙද්දිත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක ටෙලි ඩ්‍රාමා එකකට වඩා ෆිල්ම් එකක් වගේ ෂූට් කළේ. මේ නාට්‍යයේ වැඩකරද්දි මට ප්‍රවීණයන් බොහෝ දෙනෙක් හඳුනගන්න ලැබුණා. බිමල් ජයකොඩි කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේදී ඔහු මට ගොඩක් උදව් කළා. ඔහුගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මේ නාට්‍යයේ මගේ තාත්තට රඟපාන්නේ ප්‍රදීප් ධර්මදාස. ඔහු තමයි අධ්‍යක්ෂවරයා. ඒක මට ලොකු පහසුවක් වුණා. දිව්‍යාදරී කරද්දි ප්‍රදීප් අයියා මගේ ගොඩක් අඩුපාඩු හැදුවා.


සාෂාගේ චරිතය ඔබට දැනෙන්නෙ කොහොමද?


සාෂා මේ වෙද්දිත් ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිතයත් වෙලා ඉවරයි. ඒ චරිතයට මාත් ගොඩක් කැමැතියි. මගේ තාත්තා නැහැ. මට තාත්තාගෙ ආදරය, රැකවරණය ඕනම වයසෙදි තමයි තාත්තා නැති වුණේ. මගේ තාත්තා නැති වෙන කොට මගෙ වයස අවුරුදු 14යි. මේ නාට්‍යයේ සාෂාට ඉන්නෙ තාත්ත විතරයි. සාෂා තාත්තාට ගොඩක් සමීපයි. තාත්තගෙයි දුවගෙයි බැඳීම ගොඩක් දැනෙන අවස්ථාවක්. තාත්තා දුවට දෙන ආදරය, රැකවරණය, ආරක්ෂාව ඒක මට ගොඩක් දැනුණා. මගේ තාත්තත් හිටියනම් මට මේ වගේ ආදරය කරයි, ආරක්ෂා කරයි කියලා හිතුණා. ඒත් මට චරිතයට සංවේදී වෙන්න බෑ. මගේ තාත්තා ඉන්නව කියල හිතාගෙන මං රඟපානවා. මට දැන් වෙනදටත් වඩා වැඩියෙන් තාත්තාව ඕන කියල දැනෙනවා. මං මේ ෆීල්ඩ් එකට එන්න හේතුවත් තාත්තා. තාත්තා තමයි මාව මේ පැත්තට යොමු කළේ.


දසුනි තවමත් ළාබාල තරුණියක්. ප්‍රවීණයන් එක්ක ගැටෙද්දි ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


තවමත් මට අවුරුදු 18යි. මම තාම රංගනය ගැන හැදෑරීමක් කරලා නැහැ. අධ්‍යක්ෂවරයාගෙන් වගේම ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගයෙන් තමයි මං අත්දැකීම් ලබාගෙන චරිත සාර්ථක කරගන්නේ. ‘රොන්’ වගේම ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍ය දෙක මේ දිනවල විකාශය වෙනවා. ‘නීල පබළු’, ‘දිව්‍යාදරී’ මේ වෙද්දි විකාශය වෙලා ඉවරයි.


රැල්ල වෙරළට ආදරෙයිහි යෙනුකි නිසා ඔබ ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගියා. සාෂා යෙනුකිට අභියෝගයක් වෙයිද?


මං මේ ෆීල්ඩ් එකට ඇවිත් ‘මහවිරු පණ්ඩු’ ටෙලි නිර්මාණයේ භූමි කුමරියගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියත් බොහෝ දෙනා මාව හඳුනාගත්තෙ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නිර්මාණයේ යෙනුකි නිසා. ඒකට ගොඩක්ම හේතුවක් වෙන්න ඇත්තේ කෝකිල අයියා, ඒ කියන්නෙ බාබු එක්ක කළ සීන් නිසා වෙන්න ඇති. අදටත් යෙනුකි බාබු එනකල් බලන් ඉන්නවා. කෝකිල අයියාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. යෙනුකිට වයස් භේදයක් නැතුවම ප්‍රතිචාර ලැබුණා. ‘නීල පබළු’ එකේ අමායාට වැඩිහිටියන්ගෙන් තමයි ගොඩක් ප්‍රතිචාර ලැබුණේ. සාෂාට දැනටමත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී බලමු.


ඉදිරියට දසුනිව දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?


ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඊට අමතරව සම්බන්ධ වුණු මියුසික් වීඩියෝ කිහිපයක්ම රිලීස් වෙන්න තියෙනවා.


දසුනි කියන්නෙ තාමත් ළාබාල තරුණියක්. ආදරය ගැන කොහොමද දැනෙන්නේ?


මමත් ආදරේට ආදරෙයි. කවදහරි මං බලාපොරොත්තු වෙන්නේ මාව බලාගන්න, මාව ආරක්ෂා කරන මගේ තාත්තා වගේ කෙනෙක්.


 නාමලී ගමගේ



Previous Post Next Post