ආදර කතා නම් ගොඩක් තිබුණා දැන්නම් තනිකඩයි-යෂ් වීරසිංහ




හා හා පුරා කියා ඔහු කැමරාවට මුහුණදී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පාරා වළලු‘ ටෙලි නිර්මාණයෙනි. එය ඔහු කවුරුන්දැයි කියා හඳුනාගැනීමට තරම්වත් නොහැකි සුළු චරිතයක් යැයි කිවහොත් ඔබ පුදුම වේවි. කාලය විසින් ඔහු පරිණත කර තිබෙන අපූරුව අගනේය. කියාදෙන්න ආදරේ තරම්, MAIN CHARACTOR, සංසාරිණී, සික්ස්පැක් ලෙසින් අද ජනප්‍රියම තලයේ ටෙලි නිර්මාණ හතරක ප්‍රධාන චරිතයන් ඔස්සේ ඔහු ඔබ හමුවට පැමිණේ. කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ අනා ඔහුගේ රංගන ජීවිතේ පෙරළිය යැයි කීවත් නිවැරැදිය. මේ දිනවල MAIN CHARACTORහි ප්‍රධාන චරිතයෙන් ඔබ හමුවන ඔහු කලා පවුලක පුරුකක් වන යෂ් වීරසිංහය.


යෂ් මේ දවස්වල මොන චැනල් එක දැම්මත් දකින්න ලැබෙන චරිතයක් වෙලා?


ඒක හරි. මේ දවස්වල මම ගොඩක් කාර්යබහුලයි. මගේ අලුත්ම නිර්මාණය ශාන් ජයරත්නගේ MAIN CHARACTOR මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් දැන් අවුරුදු කිහිපයක ඉඳන් විකාශය වෙනවා. අනා එහෙම නැත්නම් අනර්ඝ කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය චරිතය. සංසාරිණී ටෙලි නිර්මාණය ගත්තොත් ද්විත්ව චරිතයක්. එකම නිර්මාණයේ පැතිකඩ දෙකක් නිරූපණය කරන්න ලැබුණ අවස්ථාවක්. ඒ වගේම අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණය. ඊට අමතර අලුත් ෆිල්ම් එකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


ඔබ ක්ෂේත්‍රයට එන්නේ නමක්වත් නැති චරිතයකට රංගනයෙන් දායක වෙලා. දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මං කැමරාවක් ඉදිරියේ ඉස්සෙල්ලම අත්දැකීමක් ලැබුවේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ පාරා වළලු ටෙලි නිර්මාණයේ. හරියටම කියනවා නම් ඒක නමක්වත් නැති චරිතයක්. ඒක මුලින්ම විකාශය වෙන දවසේ මුල්ම සීන් එක බලන්න ගෙදර හැමෝම රූපවාහිනිය ඉදිරියේ වාඩිකර ගත්තා. එදා ඒක මට හරි ලොකු දෙයක්. කාලය ගොඩක් දේවල් වෙනස් කරලා. ඇත්තම කිව්වොත් අද මං මේ ඉන්න තත්ත්වයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න ඕන මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩිට. ඇය තමයි මාව ස්ක්‍රීන් ටෙස්ට්වලට වොයිස් ටෙස්ට්වලට යොමු කළේ. මාව ප්‍රතික්ෂේප වුණු, කඩා වැටුණු තැන් අනන්තයි. ඒත් ඇය කවදාවත් මැදිහත් වෙලා කිව්වෙ නෑ මෙයාව ගන්න, මෙයාට තව චාන්ස් එකක් දෙන්න කියලා. ඇය නිතරම කිව්වෙ ඊළඟ එකට ට්‍රයි කරන්න කියලා. ඇය කළේ මාව ඒවට යොමු කළ එක විතරයි.


MAIN CHARACTOR කියන්නෙ ඔබට සුවිශේෂී චරිතයක්?


MAIN CHARACTOR කරලා සෑහෙන කාලයක් වුණත් හරි ටයිම් බෙල්ට් එකක් එනකල් අපි බලන් හිටියා. හරිම ආසාවෙන් කළ නිර්මාණයක්. MAIN CHARACTOR එකේ මේන් කැරැක්ටර් එක. නළුවෙක් වෙන්න හීන දකින ඒ වෙනුවෙන් සෑහෙන කට්ටක් කන කොල්ලෙක්ගේ කතාවක්. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ වෙන දේවල් ගැන කතාකරන නිර්මාණයක්. මේ කතාව මගේ ජීවිතේටත් ගොඩක් සමීපයි. මමත් මේ තැනට එන්න සෑහෙන කට්ටක් කාලා තියෙනවා. ඔඩිෂන් ගිහිල්ලා ෆේල් වෙලා, වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දිත් ඉලක්කය අත්නොහැරපු කොල්ලෙක් මම. MAIN CHARACTOR එකේ ෂේන් කියන්නෙත් ඒ වගේ මොන දේ වුණත් කොහොම හරි තමන්ගෙ හීනෙට යන්න උත්සාහ කරන කොල්ලෙක්. මේ ෆීල්ඩ් එකට විතරක් නෙවෙයි මං හිතනවා මේ කතාව ඕනෑම ෆීල්ඩ් එකකට ආදර්ශයක් කියලා. අධ්‍යක්ෂණය ශාන් ජයරත්නගේ. තිර පිටපත ප්‍රියනාත් විදානපතිරණ.



චරිත ස්වභාවයත් අනෙක් ඒවට වඩා වෙනස් නේද?


ඔව්. හේලි නාට්‍යයේ විහේන් ඇරුණම අනෙක් හැම නිර්මාණයකම මට ලැබුණෙ චණ්ඩි එහෙම නැත්නම් නපුරු චරිත. ඒත් ඒවා විලන් කැරැක්ටර්මත් නොවෙයි. හොඳ නරක දෙපැත්තම අතර දෝලනය වන චරිත. ගොඩක් දෙනා හිතුවෙ යෂ්ට කරන්න පුළුවන් ඒ වගේ ඒව විතරයි කියලා. ඒත් ෂේන් කියන්නෙ කෙළිලොල් චරිතයක්. ෂේන් ඒකට දීපු හොඳ උත්තරයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.


කියා දෙන්න ආදරේ තරම් අනා කියන්නෙ යෂ්ගෙ අනන්‍යතාව තහවුරු කළ චරිතය කිව්වත් හරි නේද?


ඇත්තටම. අනා එහෙම නැත්නම් අනර්ඝ කියන්නෙ මගේ රංගන ජීවිතේ පෙරළියක් කළ චරිතය. අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක වගේම තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි ආදරෙන් මතක් කරන්න ඕන. අනා නිසා මං ගොඩක්ම ජනප්‍රිය වුණා. වැඩ ගොඩක් අස්සෙ වුණත් හරිම ආසාවෙන් කළ, සෑහෙන ගේමක් දීලා ගොඩනඟා ගනිපු චරිතයක්. මිනිස්සුන්ගේ ආදරය කොයිතරම් ද කියනවා නම් අනර්ඝ අඬද්දි මිනිස්සුත් ඇඬුවා. මොකද අනර්ඝ චණ්ඩිකම් කළත් කළේ සාධාරණය වෙනුවෙන්. ඔහු සංවේදී චණ්ඩියෙක්. ඒ නිසාම ගොඩක් දෙනා ආදරය කළා.


දැන් ඡන්දෙත් ළඟයි නේද? අනාත් ඡන්දෙ ඉල්ලනවා නේ?


ඔව්. අනා මේ දවස්වල ඡන්දෙ ඉල්ලනවා. ගොඩක් දෙනා කියනවා ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න කියලත්. රෙදි මෝල වත්තෙ මිනිස්සු කියනවා ඒ වත්තෙන්ම ඉල්ලන්න කියලා. එහෙම ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම දිනාවි. ඒත් ඒක කවදාවත් වෙන්නැති දෙයක්.


අනා දැන් රෙදි මෝල වත්තට ඇවිත් වසර ගණනක් වුණා. කොහොමද වත්තෙන් ලැබෙන සහයෝගය?


ඇත්තටම ඒක රෙදි මෝල වත්ත නෙවෙයි. ඒකෙ නම පැරඩයිස් වත්ත. අපේ කතාවට තමයි ඒක රෙදි මෝල වත්ත වුණේ. ඒකෙ ඉන්න රත්තරන් මිනිස්සු ටික හරිම ආදරෙන් මතක් කරන්න ඕන. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැන නම් කියල නිම කරන්න බෑ. අපිට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ. කන්න බොන්න ඉන්න හිටින්න මේ හැමදේම හොයල බලනවා. එයාල දිහා බලලා, එයාල හැසිරෙන විදිහ කතාබහ කරන විදිහ එයාලගෙ ජීවිතවලින්ම තමයි අපි ගත්තෙ.


නිර්වාන්, අනර්ඝ කියන්නෙ එකටම ගැටුණ චරිත දෙකක්. හදිසියේම නිර්වාන් අයින් වුණා. ඒ වෙනුවට රීප්ලේස් වුණේ අලුත්ම කෙනෙක්. ඒක අනාටත් බලපාන්න ඇති?


බලපෑමක් වුණා. නෑ කියනව නම් ඒක බොරුවක්. දැන් නිර්වාන්ට ඉන්න ශෙහාන් ලොකු අභියෝගයක් භාරගත්තේ. මුලදි ටිකක් බැණුම් ඇහුවට පස්සෙ ඔහු හැකි උපරිමයෙන්ම චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කළා. කිසිම අත්දැකීමක් නැතුව ඔහු ඒ අභියෝගය භාර ගැනීමම ලොකු අභියෝගයක්.


යෂ් වීරසිංහ කියන නම දැන් රිදී තිරයෙත් දකින්න ලැබෙනව නේද?


ඔව්, ඔව්. ඉදිරියෙදි යෂ් වීරසිංහ ප්‍රධාන චරිතයකින් සිනමාවෙ දැකගන්න ලැබේවි. ඒක මගේ සිනමාවේ පළවෙනි මේන් කැරැක්‍ටර් එක වගේම ධනුෂ්ක රත්නායකගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය. ලබන සැප්තැම්බර් මාසෙ ෂූටින් පටන් ගන්නවා. තිර පිටපත විශ්ව විජේවර්ධනගේ. ඒ වගේම සරත් වීරසේකර සර්ගේ ශ්‍රී සිද්ධා සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. මං ඒකෙ මුගලන් රජතුමා. ශ්‍රී සිද්ධා මිනිසුන් ආදරෙන් වැලඳ ගනීවි කියලා හිතනවා.


ඔබ ක්ෂේත්‍රයට එන්නෙ රංගන ශිල්පියෙක් විදිහට නෙවෙයි?


මං මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ හඬ කැවීම් ශිල්පියෙක් විදිහට. මේ වෙද්දි නම් හඬ කැවීම පැත්තෙන් කිසිම දේකට සම්බන්ධ වෙන්න බැරි තරම් කාර්යබහුල වෙලා. මං අන්තිමටම හඬ කැවීම් කළේ ඉම්ලි ටෙලි නිර්මාණයේ ආදිත්‍ය කුමාර් ත්‍රිපාටි කියන චරිතයට. ඒත් ඒක දැන් ඉවරයි.


හඬ කැවීම් ශිල්පියෙක්ට රංගන ශිල්පියෙක් වීම පහසුයි නේද?


ඇත්තටම ලොකු පහසුවක්. ඒක රංගන ශිල්පියෙකුට හොඳ ප්‍රැක්ටිස් එකක්. හඬ කවනවා කියන්නෙ කෙනෙක් කරපු චරිතයකට අපි අපේ හඬින් ජීවය දෙනවා කියන එක. විශේෂයෙන් ඩිලිවරි හදාගැනීමේදී ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ වෙලාවෙ අපි ඒක කරන විදිහ කවුරුහරි බලන් හිටියොත් හිතන්නෙ ඒකත් ඩ්‍රාමා එකක් කියලා. ඒ නළුවා අත ඉස්සුවොත් අපිත් අත උස්සනවා. ඒක ඉබේම වෙන දෙයක්. කවුරුහරි කියනව නම් රංගනය හරි, හඬ කැවීම හරි, ලේසි වැඩක් කියලා. නෑ ඒක එහෙම නෑ. කරලම බලන්න ඕන ඒක ඇතුළෙ කොච්චර දේවල් තියේද කියලා. අදටත් මං වෙලාව හදාගෙන හඬකැවීමකට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.


මේ දිනවල ඔබ එකිනෙකට වෙනස් චරිත හතරක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවෙනවා. සංසාරිණී කියන්නෙ ද්විත්ව චරිතයක්. ඒක කොහොමද දැනෙන්නේ?


සෑහෙන අභියෝගයක්. සමහර විට එකම ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන අවස්ථා තියෙනවා. එතැනදි කැරැක්ටර් දෙක වෙන වෙනම හඳුන්වා දීමේදී ඒක ලොකු අභියෝගයක් වෙනවා. මොකද හැම චරිතයක්ම කරන්නෙ මමනෙ. ඉතින් මගේ කෑල්ලකුත් එනවා. ආපහු හිතලා ඒක නැති කරගෙන ආයෙම කරනවා. නැත්නම් චරිත දෙකම එකම වගේ වෙනවනේ. අධ්‍යයනය තමයි නිතරම අපට වැදගත්.


ඔබ ඔස්කාර් සම්මානයක් ගන්න හීන දකින කෙනෙක්?


ඔව්. මං ඒක හැමතැනදිම කියන දෙයක්. අපි දකින හීනෙට පොඩ්ඩක් හරි එහාට තියාගත්තොත් අපේ ඒ හීනෙ ළඟටවත් යන්න පුළුවන් කියන තැන මං ඉන්නේ. ඒක මං විශ්වාස කරන දෙයක්. මං හිතාගෙන ඉන්නෙ කවදාහරි ඔස්කාර් එකට යනවා කියලා. අඩුම ගාණේ බලන්න හරි යනවා කියලා. ඒක ඔළුවෙ තියාගෙන ඉන්නේ. බලමුකෝ.


යෂ් කියන්නෙ සෙට් එකේදි විනෝදකාමී චරිතයක් කියලත් ආරංචියි?


ඕනෙම සෙට් එකකදි මං ආතල් එකේ ඉන්න කෙනෙක්. වැඩේ කරද්දි වැඩේ. අනෙක් වෙලාවට ඉතින් හිනාවෙලා කාට හරි විහිළුවක් කරලා ජොලියේ ඉන්නවා. ඒකටම හරියන සෙට් එකක් හමුවුණා MAIN CHARACTOR එකේදි. අනුරාධා කියන්නේ අවුරුදු අටක විතර ඉඳන් මගේ හොඳම යාළුවෙක්. එයා දන්නවා මගේ හැටි. එතැනදි ජොලිය ඩබල් ත්‍රිබල් වෙලා දවස ගෙවුණා තේරුණේ නෑ.


යෂ්ගෙ පවුලෙ ගොඩක් දෙනා කලාවට සම්බන්ධයි. ගෙදර තොරතුරු ටිකකුත් කියමු?


අපේ පවුලෙ ගොඩක් දෙනා කලාවට සම්බන්ධයි. ඒ ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. මගේ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි. අයිය කලින් මාත් එක්කම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඊට එහා එයා ගියේ නෑ. නංගි නම් කලාවට සම්බන්ධ නෑ. එයා තාමත් උසස් අධ්‍යාපනය හදාරනවා.


යෂ් කියන්නෙ දැන් පුංචි තිරයේ සිහින කුමාරයෙක්නේ. ආදරය ගැනත් අත්දැකීම් ඇති?


ආදරය ගැන අත්දැකීම් නෑ කිව්වොත් ඒක බොරුවක්. ආදර කතා නම් ගොඩක් තිබිල තියෙනවා. ඒත් දැනට නම් ආදර කතාවක් නෑ. දැන් තනිකඩයි. වැඩවලටම ෆෝකස් කරලා ඉන්න නිසා ඒකට වෙලාවකුත් නෑ.


 නාමලී ගමගේ



Previous Post Next Post