රතු පාට රතීලා මටත් හමුවී තියෙනවා - තිලක්ෂිණී රත්නායක




තිලක්ෂිණී මට කියන්න ඔබ කෙලෙසද රතී නිර්වචනය කරන්නෙ....


රතීට රතී තේරුම් කරලා දෙන්න.... රතී ජීවිතය හොයාගෙන යන්න ඕනෑ කොතැනකටද කියලා ඇයට කියලා දෙන්න කෙනෙක් හරියට හමු නොවුණු ජීවන පසුබිමක රතී අවිඥානිකව තමන් හොයාගෙන යන තැන් බොහෝමයක් තියෙනවා... රතීට ක්‍රිකට් ගහන්න පුළුවන්... රතීට රඟපාන්න පුළුවන්... ඒත් කවුද හිටියේ හරියටම රතීව තේරුම් අරගෙන රතීට අවශ්‍ය තැනකදී අවශ්‍ය විදිහට වාරුවක් වෙන්න.... කවුරුත් නෑ... රතීට රතීව අඳුරගන්න බැරි වෙද්දී කොහොමද තව කෙනෙක් රතී අඳුනගන්නෙ... කොහොමද තව කෙනෙක් රතී  කියවන්නෙ. රතීලා වගේම රතීගේ විවිධ ස්වරූප මට මේ සමාජය තුළින් අඩු වැඩි වශයෙන් ඕනෑ තරම් හමු වී තියෙනවා. රතී කියන්නෙ මට නොදැනුණු චරිතයක් නෙවෙයි... සීමා රහිතව දැනුණු චරිතයක්.


රතී කියන්නෙ අතිශය අසාධාරණ ගැහැනියක් විදිහට පොදු සමාජ කියැවීමක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. තිලක්ෂිණී ඇයි කෙනෙක් රතී එහෙම දැක්කොත් එහෙම දකින්නෙ?


රතීගේ චරිතයේ රතීගේ ආත්මයේ සමහර වර්ණ මගේ තුළත් තියෙන්න පුළුවන්... වරද දකින්න ඉක්මන් වෙන තරමට වරදට හේතු හොයන්නත් මිනිස්සු ඉක්මන් වුණානම් අපි පය ගහලා ඉන්න මේ ලෝකය මීට වඩා අංශුමාත්‍රයක් හරි ලස්සන සුන්දර සහ යහපත් තැනක් වෙයි. රතී වගේම රතී වටේ ඉන්න අයත් මේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය ඇතුළේ හුඟාක් වෙලාවට හුඟාක් අසරණයි. ඒ අසරණකම ඇතුළේම හරි අතරමං. ඒත් ඒ අසරණකම හෝ අතරමං වීම තුළ ඔවුන්ට ස්ව කැමැත්තෙන්ම පරාජිතයන් වෙන්න බෑ. ජීවිතය භුක්ති විඳින්න... අඩුම තරමේ ජීවිතය වෙනුවෙන් හුස්මක් ගන්න සල්ලි ඕනෑ. මේ ලෝකයේ බොහෝ අරගල අවසාන අර්ථයෙන් බැලුවොත් කාසි රුපියල් සහ බලය වෙනුවෙන්... රතී අසාධාරණ ගැහැනියක් විදිහට නිර්වචනය කරනවනම් කවුරුන් හෝ යම් තැනකදී රතීගේ ජීවිතයේ රතීගේ ආධ්‍යාත්මයේ ගැඹුර ඔවුන්ට දකින්න බෑ සහ මිනිස්සුන්ට වරද දැක්කත් ඊට හේතුව දකින්න ඇති නොහැකියාවයි එතැන තියෙන්නේ. අසාධාරණ ලෝකයක කෙනෙක් සර්ව සාධාරණ වීම කියන්නෙම පුදුම මානුෂවාදී කතන්දරයක්.


ලංකාවේ කලාවේදීන් මෙන්ම කලාකරුවන් බහුතරයක් මුහුණ දෙන ආර්ථික අර්බුදය ආර්ථික පීඩනය සහ සමාජ සුරක්ෂිතභාවයෙන් තොර වීම ඔබ දකින්නේ කොහොමද?


රංගනය ගැන දැනුම, දක්ෂතාවය, ආසාව, කැමැත්ත, ආදරය, මේ හැමදේම තිබිලා ආර්ථික අර්බුදය, ආර්ථික ප්‍රශ්න හමුවේ විසඳුමක්, විකල්පයක්, ආදේශකයක් නැතිකමට පාර මාරුවෙන අය මම ඕනෑ තරම් දැකලා තියෙනවා. අදටත් දකිනවා. ඒ නංගියෙකුට මල්ලියෙකුට අපිට කියන්න බෑ ඉවසගෙන දරාගෙන කලා ක්ෂේත්‍රය තුළ ඔයාගේ ගමන කොහොම හරි යන්න කියලා. බඩගින්න යුතුකම් වගකීම් හමුවේ ඕනෑම කෙනෙක් අසරණ වෙන තැන් හරි වැඩියි.


කලාව කර්මාන්තයක් විදිහට ගොඩ නොනැගුණු රටක කලාකරුවන් සහ කලාවේදීන් වෙනුවෙන් නිශ්චිත සුරක්ෂිතභාවයක් සහ ක්‍රමවේදයක් නැති රටක ජීවත්වීම වෙනුවෙන් අරගලයක් කරන අතරෙ කලාවට තියෙන ආසාව සහ ආදරය නිසාම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අය ඉන්නවා.


තිලක්ෂිණී... ඔබ පෞද්ගලිකව ඒ අත්දැකීම විඳලා තියෙනවද?


මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවාද, නැත්නම් අයින් වෙනවද, වෙන රස්සාවක් හොයා ගන්නවද කියලා මට  හිතුණු සහ මම හිතපු වෙලාවල් ඕනෑ තරම් තිබුණා. ඒත් මම ඉපදුණේ කොළඹ නිසා... බෝඩිමකට නොගෙවා ඉන්න ගෙදරක් මට තිබුණු නිසා... මගේ ගෙදරින් මට කන්න බොන්න දුන්න නිසා... මට ඒ අය හයියක් වෙච්ච නිසා... මගේ යාළුවො මට දෙන හයිය නිසා... මගේ ස්වාමිපුරුෂයා මාව දරාගෙන, මාව තේරුම් අරගෙන මට කලාව තුළ මගේ ගමනක් යන්න මට දෙන මඟපෙන්වීම සහ රැකවරණය නිසා මම අදටත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඒත් ඔය ආර්ථික අර්බුදය, පීඩනය පැහැදිලිවම මට දැනුණු, මම වින්ඳ තැන් තියෙනවා.


චන්න දේශප්‍රිය කියන අධ්‍යක්ෂවරයා, ඔබ රතී වෙද්දි ඔබට දැනුණේ කොහොමද?


ඔහු හරි සංයමයක්, ඉවසිලිවන්ත බවක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. නළු නිළියන්ගේ විදිහ දැනගෙන අපිට කිසිම පීඩනයක් නොදී නිදහසේ ඒ චරිත එක්ක හුස්ම ගන්න ඔහු අපිට ඉඩ දුන්නා. සමහර තැන් රඟපාද්දි අපි කට්ටියට දෙගිඩියාවක් ඇති නොවෙන්න, මේක රඟපෑමක් නේද කියලා කතා කරගෙන නිදහසේ රඟපෑවා. චන්න අයියා ඒ පසුබිම අපිට හදලා දීලා තිබුණේ. ඔහු පරිණත මිනිසෙක්. චරිතයට අවශ්‍ය මාත්‍රාව නියම විදිහට චරිතයට එන්නත් කරන්න ඔහු දැනගෙන හිටියා. මම රතී එක්කම ජීවත් වෙමින් ඒ චරිතය තුළ මම මාව අත්හරිද්දී මම හිතන්නෙ එතැන තිලක්ෂිණී කෙනෙක් හිටියේ නැහැ. හිටියේ රතී විතරයි.

නලින් ලුසේනා ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා දූස්රා නරඹා අවසානයේ ඔබේ ස්වාමියා විදිහට නෙවෙයි, ප්‍රේක්ෂකයෙක් විදිහට දුන්න ප්‍රතිචාරය, ඇගයීම හෝ විවේචනය කුමක්ද?


එයා පළමුව මට ප්‍රතිචාර දැක්වූයේ ආදරණීය ස්වාමිපුරුෂයෙක් විදිහට. ඒ චරිතය වෙනුවෙන් මම දරපු මහන්සිය ඒ මොහොතේ තේරුම් ගත්ත මානසිකත්වයකින් මගේ දිහා එයා බැලුවෙ පිරිමියෙක්ට ගැහැනියක් දිහා බලන්න පුළුවන් උපරිම මානුෂිකත්වයෙන්. එයා නළුවෙක් වගේම පිටපත් රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදිහට අත්දැකීම් ලබපු කෙනෙක්... එයා මේ පොළොවේ යටිපතුල් ස්පර්ශ කරලා ඇවිදින මනුස්සයෙක්... ඉතින් එයා හරි ලස්සනට දූස්රා දුටුවා... තේරුම් ගත්තා... මාව අගය කළා.


ඇත්තටම මම වාසනාවන්තයි අවුරුදු 13ක් තුළ කලාව එක්ක හෘද සාක්ෂියට එකඟ ගමනක් එන්න ලැබුණු වාසනාවට.


වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවුණු ගමන් අමුතු ඇහැකින් බලන... බලන්න විඳින්න ඉස්සර චිත්‍රපටය නිර්වචනය කරන්න හදන... නළුවෙක් නිළියක් චරිතය වෙනුවෙන් නිරුවත් වීම හෝ අඩ නිරුවත් වීම මහා වරදක් විදිහට දකින ඊනියා සංස්කෘතික සදාචාරවාදී ගෝත්‍රිකත්වය වෙනස් විය යුතුමයි. . ඒ මම හිතන විදිහ.. තිලක්ෂිණී ඔයා?


වැඩිහිටියන්ට පමණක් වෙනවනම් එයින් අදහස් වෙන්නෙ ඒ නිර්මාණය වැඩිහිටිත්වයට පරිණත ස්වරූපයෙන් ඉදිරිපත් වීමේ ආකෘතියක්. ඉතින් එය ඒ පරිණත ස්වභාවයෙන් තේරුම් ගන්න. දූස්රා කතා කරන්නෙ සමාජය ගැන... සමාජ ක්‍රමවේදයේ හිස්තැන් සහ පුපුරු ගසන තැන් ගැන... මේ සමාජයේ ගැහැනුන් පිරිමින් ගැන යථාර්ථයක්... සංවේදී විය යුතු උත්තර ඉල්ලන සමාජ ප්‍රශ්න සිනමාත්මක ප්‍රවේශයකින් එහි නිරූපණය වෙනවා. නිරුවත හෝ අඩ නිරුවත කියන්නෙ සිනමාත්මක අවශ්‍යතාවක් නම්... ගැඹුරු සන්නිවේදනයක් ඒ තුළ ගැබ් වී තියෙනවා නම්... එය ප්‍රකෘතියෙන් සහ ගැඹුරින් දකින්න විග්‍රහ කර ගන්න. කලාව සිනමාව කියන්නෙ සමාජ අවශ්‍යතාවක්, සමාජ සන්නිවේදනයක්, සමාජ ප්‍රකාශනයක් කියන තැන ඉඳගෙන දූස්රාත් බලන්න... ආදරණීය සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි.


 


Previous Post Next Post