මම ලස්සනට ඉන්නවට මට වඩා කැමති එයා-අනූෂා දමයන්ති



ලාලිත්‍ය ශරීරයෙන් සියල්ලන්ගේ ඇස් ඈ වෙත ගත් ඇය නටන්නම උපන්නියක් කිව්වොත් වරදක් නැහැ. රඟපෑමටත් ගායනයටත් නොදෙවෙනි ඇය අනූෂා දමයන්ති. විවාහයත් එක්ක දැන් නිරන්තරයෙන්ම නිර්මාණ එක්ක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇයත් එක්ක රසඳුන මේ විදිහට කතාබහක යෙදුණා.


විවාහයෙන් පස්සේ අනුෂාව නිතරම නිර්මාණ එක්ක දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ..?


මම වැඩ නොකර ඉන්නේ නැහැ. විවාහ වුණා කියලා නිර්මාණවලින් ඈත් වෙලත් නැහැ. ඒත් ඉස්සරට වඩා හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවක් තියෙනවා. ඔය හේතූව නිසා තමයි ටිකක් නිහඬ වෙලා ඉන්නේ. නිහඬ වෙලාම කියන්නත් බැහැ. මම චිත්‍රපට හතකට රංගනයෙන් සම්බන්ධ වුණා. ඒවා තවම තිරගත වුණේ නැහැ. මම අන්තිමට සම්බන්ධ වුණේ කුණු කොල්ලා චිත්‍රපටයට. ඊට පස්සේ තවම නිර්මාණයක් තිරගත වුණේ නැහැ. ඒවා රිලීස් කරන්න දින ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට අමතරව මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය හතරක් එන්න තියෙනවා. අන්තිමට රසිකයෝ මාව පුංචි තිරයෙන් දැක්කේ දළදා ගමනය නාට්‍යයෙන්.


දැන් ආරාධනා ලැබෙනවා අඩුද..?


මම වැඩිපුර දායක වෙන්නේ සිනමාවටනේ. මම කැමති සිනමා නිළියක් හැටියට කටයුතු කරන්න. ඉතින් ආරාධනා ලැබෙන විදිහට සම්බන්ධ වෙනවා. ඉස්සර තරම් ලොකුවට තෝරා බේරාගෙන රඟපාන්න නිර්මාණ ලැබෙන්නේ නැහැ. එහෙම නැතුව ආරාධනා කරන එකේ අඩුවක් මම දකින්නේ නැහැ , මම ටිකක් තෝරා ගැනීමක් කරනවා. මට කරන්න තියෙන චරිතය හා ඒ නිර්මාණය රසයි කියලා හෝ හොඳ කියවීමක් තියෙනවා කියලා දැනුණොත් මම නිර්මාණ භාර ගන්නවා.


එහෙම නැතුව සැමියා වාරණ දාලා නිසා නෙමෙයි ද..?


අනේ නැහැ. මගේ සැමියා අමිල ජයතිලක. ඉස්සර වගේම එයා මට ගොඩක් උදව් කරන කෙනෙක්. එයා දන්නවා මම රංගනයට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා. විවාහයෙන් පස්සෙත් එයා කියන්නේ ඔයාට කියන්න ඕන නැහැ ක්ෂේත්‍රය ගැන හෝ නිර්මාණ ගැන ඔයා ඒ ගැන දන්නවා ඒ නිසා ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න කියලා විතරයි. එහෙම නැතුව නිතී දාලා කොටු කරලා තියා ගන්න උත්සාහ කරන්නේ නැහැ. රංගනය කියන්නේ මගේ ඇස් දෙක වගේ. මම මැරෙනකල් කලාවේ ඉන්නවා. පෙර පිනකට කලාකරුවෝ වෙන්නේ. ඒ නිසා එයා මට නීති දාන්නෙ නැහැ .


ඔබ වසර ගණනාවක් ආදරේ කරලා විවාහ වෙන්නේ. ආදරේ කරන කාලේ නීතිරීති දැම්මේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද ..?


ඔව්. ඒක ඇත්ත. එයා මට ආදරේ කරන්නේ මගේ රංගනයට වඩා නර්තනය ට. 2008 වර්ෂයේ සිරස ඩාන්ස් ස්ටාර් එකත් එක්ක තමයි ඔහුව හඳුනා ගන්න ලැබෙන්නේ. ආදරේ ප්‍රකාශ කරලා පෙම්වතුන් වුණාට පස්සේ මට ඔයාව එපා කියන මට්ටමට එයා මට නීති දැම්මා. බොරු කියන්න ඕන නැහැ නේ. පළමු අවුරුදු දෙකේ නිතරම කෝල් කරන්න ඕන. වැඩකට ගියාට පස්සේ කොහෙද ඉන්නේ වාහනේට නැග්ගද කියලා අහලා කෝල් කරනවා. වැඩේ ඉවර වෙලා කියන්න ඕන. ගෙදර ගිය ගමන් කෝල් කරන්න ඕන. කෑවත් කියලා කන්න ඕන එහෙම අසීරූ කාලයක් තිබ්බා. ඒත් ඒ අවස්ථා හරි ලස්සනයි. නමුත් කරදරයක් විදිහට මම දැක්කා සම්බන්ධය නතර කරන්න ගියා. කෝල් කරේ නැත්නම් රණ්ඩු කරනවා.


ඊට පස්සේ අපි පරිනත වෙද්දී ඒවා වෙනස් වෙනවා. තේරුම් ගැනීම් විශ්වාසය හා අවබෝධය එක්ක ගමනක් යන්නේ කාලය එක්ක. එයත් මාත් තේරුම් ගත්තා. දැන් මම වැඩකට ගියොත් එයා කියන්නේ ෆ්‍රී වෙලාවක් තිබ්බොත් කතා කරන්න ඔයා බිසී නේ කියලා. මම හිතන්නේ අපි අවුරුදු දාහතරක් ආදරණීය විදිහට ජීවත් වුණේ අවබෝධය අසීමිත ආදරේ හා එකිනෙකාට ගරු කිරීම් නිසා වෙන්න ඇති.


ඔබ කලාකාරිනියක් හැටියට ලස්සනට ඉන්න ඕන. ඒ පිළිවෙළ එක්ක විලාසිතා කරද්දී ඔහුගේ ප්‍රතිචාර කොහොමද ..?


මම ලස්සනට ඉන්නවට මට වඩා කැමති එයා තමයි , මම හදිස්සියේ ගමනක් යද්දී ලිප්ස්ටික් ටිකක්වත් නැතුව යන්න ලෑස්ති වෙද්දී එයා කියන්නේ එහෙම යන්න එපා එළියට යද්දී ලස්සනට අඳින්න කියලා. මගේ අයියා මම කොටට අඳිනවට කැමති නැහැ. අයියා මම කොටට ඇන්දොත් මොනවා හරි කියනවා. වෙන අය කොටට අඳින එක මගේ අයියට ප්‍රශ්නයක් නැහැ. එයා වගේම තමයි අමිලත්. මම කොටට අඳිනවට නම් කැමති නැහැ. මම එහෙම ලොකුවට අඳින්නෙත් නැහැ. වැරදිලා හරි ඇන්දොත් කොට ඇඳුමක් ඔයා දැන් ඔහොමද යන්න හදන්නේ කියලා අහනවා. මම හිනා වෙලා වෙන ඇඳුමක් දා ගන්නව. ඒ වගේම එයා කැමති මාව මේකප් නැතුව දකින්න. එයා කියන්නේ මම වැඩිපුරම ලස්සන මේකප් නැතුව කියලයි.


ඔබේ සැමියා කායවර්ධන විනිසුරුවරයෙක් නිසා ඔබව ලස්සනට තියා ගන්න ජිම් යන්න කියලා කියනවත් ඇති..?


ඔව්. එයා ජාත්‍යන්තර මට්ටමින් වැඩ කරන කායවර්ධන විනිසුරුවරයෙක්. එයා නිසා තමයි මම ජිම් යන්න පුරුදු වුණේ. මම එයත් එක්ක ජිම් යනවා.


එතකොට දවසට පැය කීයක් නටනවද..?


මම නර්තන පිපාසයෙන් ඉන්න කෙනෙක්. ඉස්සර නම් මම හැමදාම එක දිගට පැය තුනක් විතර නටනවා. දැන් දවසට පැයක් විතර නර්තනය පුරුදු වෙනවා. නටලම ශරීරයේ ෆිට්නස් තියා ගන්න බැහැ. ඒ නිසයි ජිම් යන්නේ.


ඔය හැම දෙයක් එක්කම ගෘහිණියක් විදිහට වැඩ කරන්න වෙලාවක් තියෙනවද..?


ඔව්. රූපවාහිනියෙන් දැකලා සමහරු හිතනවා මට උයන්නවත් බැහැ මම ගෙදර වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් මම හොඳ ගෘහිණියක්. හොඳ බිරියක්. මගේ සැමියගේ සියලු වැඩ ගෙදර වැඩ හැමදේම මට ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන්. රසට උයන්නත් පුළුවන්.


පුංචි පවුල සම්පූර්ණ වෙනකල් බලාගෙන ඉන්න අනූෂාට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ ..?


මම කිසිම දෙයක් පස්සේ හඹාගෙන යන කෙනෙක් නෙමෙයි. මට ලැබෙනකල් ඉවසිල්ලෙන් ඉන්න කෙනෙක්. විවාහයත් එක්ක දරුවෙක් හදන්න ආසාවෙන් ඉන්නවා. එයා නොහිතන මොහොතක අපි ළඟට එයි කියලා හිතනවා. මගේ විවාහය තුන් හතර වතාවක් ප්ලෑන් කරලා කරන්න බැරුව කල් ගියා. දෙපාරක් වෙඩින් එකට කාඩ් බෙදලා නතර කළා. අන්තිමට විවාහ වුණේ ප්ලෑන් කරලා නෙමෙයි. සති දෙකෙන් විවාහයට ලෑස්ති වුණේ, මට මගේ කලා හිතවතුන්ටවත් කියන්න බැරි වුණා. ඒ ගැන මට තවම ලොකු කනගාටුක් තියෙනවා. ඉතින් මොනවා කරන්නද, ඒ වගේ තමයි නොහිතන මොහොතක හැමදේම වෙලාවට ලැබෙයි කියලා හිතනවා.


පොහොසත් සැමියෙක් ඉන්න නිසා සිනමා කෘතියක් නිෂ්පාදනය කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද..?


මට ඕන දෙයක් කරන්න කියලා එයා කියනවා. මමත් හරි කැමතියි ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න. එයත් කියනවා මට ඕන නම් ෆිල්ම් එකක් කරන්න කියලා. ඒත් රටේ තියෙන වාතාවරණය එක්ක නිර්මාණ කරන්න වියදම් කරන්න බැහැ. නිර්මාණ කරලා ඒවා රිලීස් කිරීමේ ගැටලු තියෙනවා.ඒ නිසා තමයි ඒ හීනය කල් යන්නෙ.


ඔබේ සැමියා ඔබව කැමරාව ඉදිරියෙන් දකින්න කැමති මොන වගේ චරිතවලින්ද කියලම මේකතාබහට සමුදෙමු..?


එයා මම රඟපාන හැම නිර්මාණයක්ම අගය කරනවා. විවේචනය කරනවා, නමුත් එයා කැමති මාව දකින්න මේකප් නැතුව දුෂ්කර පළාතක ජිවත් වෙන චරිතයකින්. එයා කියන්නේ මගේ රංගන පරාසයෙන් කවුරුත් ප්‍රයෝජන අරගෙන නැහැ කියලයි. එයා කැමතියි මම විවිධ චරිත කරනවට


හර්ෂණී වීරරත්න



Previous Post Next Post