සතුට වැඩිවෙද්දී මම අඬනවා - නයෝමි තක්ෂිලා

 



ආදරය කියන දේ ඔයාට දැනෙන විදිහ කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?

අනිත් හැමදේටම නිර්වචන දෙන්න ලේසියි. හැබැයි ආදරයට නිර්වචනයක් දෙන්න හරි අමාරුයි. මට දැනෙන විදිහට ආදරය කියන්නෙ යම් විදිහකින් ආත්මාර්ථකාමී හැඟීමක්.


ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවද?

මගේ ජීවිතයේ බොහෝ දේවල් මට ආදරයත් එක්ක ලැබුණු දේවල්. විශේෂයෙන්ම ඒ හැමදේම මගේ අම්මා තාත්තා එක්ක, මට තියෙන ආදරයත් එක්ක ලැබුණු දේවල් කියලයි මම විශ්වාස කරන්නෙ. මම හැමවෙලේම මොනවා කරන්නත් කලින් ඒ දෙන්නා ගැන හිතනවා. ඒ දෙන්නාගේ සතුට වෙනුවෙන් මම හැමදේම කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම කරන හැමදේම සාර්ථක වුණේ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ. ඒකම මගේ ජයග්‍රහණවලට හේතු වෙන්න ඇති.


ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් අහිමිවීම් මොනවද?

පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් මට එහෙම අහිමිවීම් රිදවීම් වෙලා නැහැ. ජීවිතේ සමහර තෝරා ගැනීම් නිසා පහුගිය කාලවලදි රිදීම් වෙලා තියෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ එවැනි සමහර හිත රිදුණු තැන් තියෙනවා. නමුත් ඒ දේවල් ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ. මම ඉස්සරහ ගැන හිතන නිසා ඒ පහුගිය කාලේ රිදුණු තැන් ගැන දැන් හිතන්නෙ නැහැ.


ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?

ජීවිතයේ සමහර දේවල් අහිමිවුණාම, නැතිවුණාම ඒක සිදුවුණේ යහපතක් වෙනුවෙන් කියලා හිතෙන තැන් තියෙනවා. මම හැමවෙලේම “මම තමයි මේ ලෝකෙ වාසනාවන්තම කෙල්ල”‍ කියලා හිතන කෙනෙක්. ඒක දැන් කාලයක් තිස්සෙ මම හිතනවා. එතකොට මට ජීවිතේ අහිමිවීමක් වුණත් “මම මේ ලෝකෙ වාසනාවන්ත කෙල්ල නම් මට ඒක අහිමිවුණේ අවාසනාවකට වෙන්න බැහැනේ”‍ කියලා ධනාත්මකව හිතන්න පුරුදු වෙලා ඉන්නවා. මම හරිම සංවේදී කෙනෙක්. මට ඉක්මනටම දුක හිතෙනවා. මට තත්ත්පරයෙන් ඇඬෙනවා. ඒ දුර්වලකම නිසාම “මම මේ ලෝකෙ වාසනාවන්තම කෙල්ල”‍ කියන ධනාත්මක සිතුවිල්ල ඔළුවට දාගෙනයි ඉන්නෙ. ඒ නිසා අහිමිවීම්, රිදවීම්වලදි හිත හදාගන්න ලේසියි. හිතට දුකක්, අහිමිවීමක් ආවාම මම ගෙදර අයට මගේ ඒ දුක කියන්නෙ නැහැ. මම දුක් වෙනවා කියලා අනිත් අයට පෙන්නන්න කැමති නැහැ. ඒ නිසා තනිවම ඒ දුක විඳ දරා ගන්නවා.


නිළියක් විදිහට ලැබෙන ප්‍රේක්ෂක ආදරේදී හුඟාක් සංවේදී හෝ දැනුණු තැන් ඇති?

මගේ ගම අනුරාධපුර. අපි කරන චරිතවලට අපිට මිනිස්සු ආදරය කරනවට අපි හරි ආසයිනෙ. කොළඹටත් වඩා අපි විවිධ පැතිවලට රූගත කිරීම්වලට යනවා. ඒ ගියාම ඒ අය අපිව දැකලා කතා කරනවා. සතුටු වෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. මට තාම මතකයි මම ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලේ. ඔන්න මගේ පාසල් හොඳම යාළුවෙක් වුණු රුවනියි මමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න ගියා. එතකොට මගේ ‘මියුසික් වීඩියෝ’ දෙක තුනක් කරලා තිබුණට මාව මිනිස්සු හඳුනනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. අපි ඇතුළට ගිහින් ටික දුරක් යද්දි මාව හඳුනාගත්ත නංගිලා මල්ලිලා මාත් එක්ක ඡායාරූප ගන්න ආවා. ළඟට ඇවිත් මාව වට කරගෙන කතා කළා. මට හිතාගන්න බැරි වුණා. ඒ මොහොතට මුහුණ දෙන්න ඕනෑ විදිහ මම දැනගෙන හිටියේ නැහැ. මගේ මුහුණ රතු වුණා. පොත් ප්‍රදර්ශනය පැත්තකින් තියලා බයටම අපි එදා හැරිලා ගෙදර ආවා.


තක්ෂිලාට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දි වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?

ඒක පාසල් ආදරයක්. ඇත්තටම ඒක ආදරයක්ද කියලා මම දන්නෙ නැහැ. මම ගමේ පාසලෙන් උසස් පෙළ කරන්න නගරයේ පාසලට ගියා. ඒක බාලිකා පාසලක්. අපේ පාසල ළඟ තිබුණු මිශ්‍ර පාසලකයි ඒ අයියා ඉගෙන ගත්තෙ. ඇත්තටම අපි යාළු වුණෙත් නැහැ. හැබැයි අපි දෙන්නා ආකර්ෂණය වුණා. ඒක ආදරයක් තරම් දුරදිග ගියේ නැහැ. ලියුම් ගනුදෙනු කළෙත් නැහැ. අපි බස් එකේ යද්දි එකට ගියා. කතා නොකළට ඇස්වලින් බැලු‍වා. ඉස්කෝලෙ ඇරෙද්දි ඒ අයියා අපේ ඉස්කෝලෙ ළඟ බලාගෙන හිටියා. ඒ බැලීමම ආදරයක් වුණා.


අදටත් තිබුණානම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?

නැහැ. දැන් මම හරි අපූරු ආදරයක් විඳිනවා. ඒක මගේ ජීවිතේ ලැබුණු හොඳම ආදරය කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා අහිමිවුණු ආදරය ගැන මම කවදාවත් දුක් වෙන්නෙවත්, පසුතැවෙන්නෙවත්, හිතන්නෙවත් නැහැ.


ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදි ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?

එහෙම තැන්වලදි මට ඇඬෙනවා. සතුට වැඩි ඕනෑම තැනකදි මුලින්ම මම කරන්නෙ අඬන එකයි.


මඟ තොටකදි හෝ යම් තැනකදි ඔයා දැකපු ආදරණීයම සිදුවීම?

ඒ වගේ සිදුවීමක් මම මේ මෑතකදී දැක්කා. දවසක් මම පිටින් කෑම ඇනවුම් කරලා ගෙන්වා ගත්තා. එදා හොඳටම වැස්ස. ඇනවුම් කරලා ටික වෙලාවකින් බයිසිකලයකින් මගේ කෑම එක ආවා. මම එළියට යද්දි තරුණ යුවලක් මෝටර් බයිසිකලයකින් කෑම ගෙනත් තිබුණා. පිරිමි ළමයා හොඳටම තෙමිලා. එයාට ජැකට් එකක් තිබුණේ නැහැ. බයිසිකලේ පිටිපස්සෙ හිටපු ගෑනු ළමයා මාව දැකලා ඉක්මනට බයිසිකලයෙන් බැහැලා ඒ බෑග් එකෙන් මගේ කෑම එක අරගෙන මට දුන්නා. ඒ ළමයා ජැකට් එකක් ඇඳලා තිබුණට එයත් තෙමිලා. ඒ වගේ සිදුවීම් මම අහලා තිබුණට එදා තමයි අත්දැකීමෙන්ම දැක්කෙ.


ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග ගැන කිව්වොත්?

පෙම්වතියක් විදිහට අද මට ලැබෙන වටිනාම තෑග්ග තමයි එයා මාව සතුටින් තියන එක. මට මගේ නිදහස දීලා තියෙනවා. ඒ තේරුම් ගැනීම මට හරියට වටිනවා.


ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?

මම හරිම සංවේදී කෙනෙක්. මම පවුලේ බාලයා. ඒ නිසා මම හැමවෙලේම ගෙදර අයගේ අවධානය බලාපොරොත්තු වෙනවා. ඒ අවධානය ටිකක් හරි නැහැ කියලා දැනුණාම මට දුක හිතෙනවා. ඒ වගේම තරහ යනවා.


ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?

ආදරය කරලා දෙන්නෙක් වෙන් වුණාට පස්සේ වෛර කරනවනම් එතැන සැබෑ ආදරයක් තිබිලා නැහැ. ඒ නිසා සැබෑ ආදරය තුළ වෛරයක් නැහැ. ඒක තේරුම් ගැනීම හරි වැදගත් වෙනවා.


ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?

ඔව්... යම් තරමට විශ්වාස කරනවා. ලෝකයේ කොයි තරම් මිනිස්සු හිටියත් ඒ අතරින් තමන්ගේ ජීවිතයට සමීපවෙන අය කොහේදී හරි මීට පෙර මුණගැහිලා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි දෙමව්පියන්ට ආදරය කරන්නෙ, එයාලගේ ජානවලින් මේ ලෝකයට එන්නෙ ඒ සංසාරගත බැඳීම නිසා වෙන්නත් ඇති.


• දිශානි ජයමාලි



Previous Post Next Post