දෙවෙනි ඉනිමේ රසිකයෝ දෙගුණ වෙලා-තත්සරණි පියුමිකා




රංගන ක්ෂේත්‍රය කියන්නේ කාලෙන් කාලයට නව මුහුණු එක්කාසු වන නවාතැනක්. නමුත් ක්ෂේත්‍රය තුළ රදාපැවැත්මක් තබා ගැනීමට හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක් බව කවුරුත් දන්න නොරහසක්. එහෙම තමන්ගේ හැකියාවෙන් ක්ෂේත්‍රය තුළ කෙටි කාලයකින් ජනප්‍රිය රැල්ලේ යොවුන් රංගන ශිල්පිනියක් විධියට තත්සරණි පියුමිකා තම අනන්‍යතාවය තහවුරුකර ගත්තා. ඇය මේ දිනවල අපට මුණ ගැහෙන්නේ ජානු සහ දෙ​වෙනි ඉනිම ටෙලිනාට්‍යවලින්.




කොහොමද මේ දවස් ගත වෙන්නේ ?




මේ දිනවල දෙ​වෙනි ඉනිම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම ජානු ටෙලිනාට්‍යත් අවසන් අදියර වගේ විකාශය වෙන්නේ. එහිත් රූගත කිරීම්වලට රංගනයෙන් දායක වෙනවා. ඒ ටෙලිනාට්‍ය දෙකට අමතරව රූප රචනා කිහිපයක් සඳහාත් රංගනයෙන් දායක වුණා.




දෙ​වෙනි ඉනිමට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?




දෙ​වෙනි ඉනිමට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බයකින්. දෙ​වෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයා මගේ කලින් රංගනයක් දැකලා තමයි දෙ​වෙනි ඉනිම සඳහා ආරාධනාවක් කරන්නේ. ඊට පස්සෙ ගිය අගෝස්තු වගෙ ෂූටින් පටන් ගත්තා. දැන් ඉහළ ප්‍රතිචාර මැද විකාශය වෙනවා.




තත්සරණිගේ රංගනය ගැටෙන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග. කොහොමද ඒ අත්දැකීම.






ක්ෂේත්‍රයට ආපු මුල් කාලේනම් යම් බයක් තිබ්බා. මුලින්ම මට රඟපාන්න ලැබුණෙ රොශාන් පිලපිටිය සමග. මුලදි බයක් දැනුනත් අවවාද උපදෙස් ලැබෙද්දි මම රංගනයට තවත් ආස කළා. දෙ​වෙනි ඉනිමෙත් සනත් ගුණතිලක, රමණි සිරිවර්ධන, රංගන ප්‍රේමරත්න වගේ ප්‍රවිණයන් සමග රඟපානවා.


ජානු ටෙලිනාට්‍යයේ ශාක්‍යාටනම් දැන් බැණුම් ටිකක් වැඩියි නේද?




මේ දවස්වල ශාක්‍යාගෙ චරිතය ටිකක් වෙනස් වෙලා. ඒ හින්දා බැණුමුත් අහනවා. නමුත් ජානුට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. ජානු සහ දෙවෙනි ඉනිම මෙගා ටෙලිනාට්‍ය දෙකක් වුණත් දෙ​වෙනි ඉනිමට සහ ජානුට ප්‍රතිචාර ලැබෙන්නේ දෙවිධියකට.




වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ දෙ​වෙනි ඉනිමටද ජානුටද?




ජානු ටෙලිනාට්‍යට මුල් කාලයේ ගොඩක් ප්‍රතිචාර ලැබුණා. දැනටත් ලැබෙනවා. ඊට නොදැවෙනි ලෙස දැන් දෙ​වෙනි ඉනිමට ප්‍රතිචාර ලැබෙනවා. දෙ​වෙනි ඉනිමට රසිකයෝ දෙගුණ වෙලා. රසිකයොන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් ඒ ගැන හොඳටම ඔප්පු වෙලා තියනවා.




කෙටිකාලයකදි ලැබුණු ජනප්‍රියත්වය ගැන තත්සරණිට දැනෙන හැඟීම කොහොමද?




ඇත්තටම ඒක සතුටට කාරණයක්. මගේ පළවෙනි ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනියේ විකාශය වුණු පාර දිගේ ටෙලිනාට්‍ය . . ඊට පස්සෙ කියා දෙන්න ආදරෙ තරම් . . . පසුව ජානු. . . ඊට පස්සෙ දෙ​වෙනි ඉනිම. . . ඒ හැම එකක්ම ලංකාවෙ කතා බහට ලක්වුණ ටෙලිනාට්‍ය. ඒ වගෙ ටෙලිනාට්‍ය වල වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටුයි.




ඔබ වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක්ද?




රංගනයට පිවිසෙන්න කලින් මම පෞද්ගලික ආයතනයක කෝල් ඒජන්ට් කෙනකු විදියට වැඩ කළා. . දැන් එයින් ඉවත් වෙලා වෘත්තීමය වශයෙන් රංගනය කරනවා. රංගනයට තමයි මුල් තැන දීලා තියෙන්නේ.






රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවද?




මට හැම දවසක්ම අමතක නොවන දවස්. මගෙ පළමුවෙනි ටෙලිනාට්‍ය පටන් ගත්තු දවස මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ශිවගුරුනාදන් සර්ගේ ටෙලිනාට්‍යක වැඩ කරන්න ලැබීමම මට අමතක නොවන අත්දැකීමක්. ඒ වගේම ලොකේෂන් ඇතුළේ සිදුවෙච්ච සිදුවීම් ගොඩක් රසවත්. මුල් දවස්වලනම් ඩයලොග් මතක නැතිව බැණුම් ඇහුවා. ඒවා අමතක නොවන රසබර අත්දැකීම්




අාධුනිකයෙක් ලෙස ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?




ප්‍රවීණයන්ගෙන් ගොඩක් හොඳ අවවාද ලැබෙනවා. මෑතකදි කුමාර තිරිමාදුර අංකල් එක්ක රංගනයක නිරත වුණා. ඔහුත් ගොඩක් හොඳ මගපෙන්වීමක් පෙන්නුවා. මට වැඩ කරන්න ලැබුණ ප්‍රවීණයන් ඔක්කොම ගොඩක් හොඳයි. මට මගේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න හැම විධියකටම ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙනවා.




මග තොටේදී දැන් ප්‍රේක්ෂකයා ඔබව හඳුන ගන්නවද?




ඔව් මගෙ ඇත්ත නමට වඩා චරිත වල නම් වලින් තමා මිනිස්සු මාව අඳුරන්නේ. ළඟට ඇවිල්ලා කතා කරනවා. සුබ පතනවා. ඒ දේවල් තමා ඉතින් මම සාර්ථක වෙලා ඉන්නේ. මම මගෙ රංගනය හරියට කළේ නැත්‍තම් එහෙම ප්‍රතිචාර ඇත්තටම ලැබෙන්නේ නැහැනේ.

ළඟදීම රිදී තිරයෙනුත් ඔබව බලන්න පුළුවන් නේද?




සුනිල් ප්‍රේමරත්න සර්ගේ චිත්‍රපටයකට මම රංගනයෙන් දායක වුණා. . ඒක තාම ප්‍රදර්ශනය වුණේ නැහැ. දුලීකා මාරපාන, කුමාර තිරිමාදුර සරත් කොතලාවල වගෙ ප්‍රවීණයන් සමග තමයි එහිත් රංගනයෙන් දායක වුණේ.




ඔබ යොවුන් වියේ රංගන ශිල්පිනියක් නිසා පෙම් ඇරයුම් එහෙම එනවා ඇති ?




එහෙම විවාහ යෝජනා එනවා කියලා නෑ. ගැහැනු පිරිමි හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය ක්‍රශ් එක කියලා ෆේස්බුක් කමෙන්ට් එහෙම කරනවා.




මේ තරම් දුර එන්න තත්සරණිට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?




මම යන හැම ලොකේෂන් එකකටම අම්මා එනවා. ඇවිත් ළඟින් ඉඳගෙන ඉන්නවා . තාත්තා වුණත් තනියම මාව යවන්නේ නෑ. එයාලා දෙන්නා නිසයි අද මම මෙතන ඉන්නේ.



Previous Post Next Post