අතරමඟදි රචකයො මාරු වුණහම කැරැක්ටර්වල කොලිටිය මාරු වෙනවා -නාමලී ගමගේ



යුගයේ කතාකාරයා ඒ ඔහුට පටබැඳි අන්වර්ථ නාමයයි. එය ඔහුට කදිමට ගැළපෙන බව ඔහු ඔප්පු කළේය. ප්‍රධාන රූපවාහිනී නාළිකා තුනක කාර්යබහුල වේලාවන් තුනක ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමේ වගකීම ඔහු නොබියව භාර ගත්තේය. සිකුරු ඇවිත්, පාට කුරුල්ලෝ, බයිස්කෝප් මේ ටෙලි නිර්මාණ ත්‍රිත්වයේම රචකයා ඔහුය. ඔහු ප්‍රේක්ෂක සිත් සොරාගත්තේ අද ඊයේ නොවේ. ඒ එදා පාර දිගේ ටෙලි නිර්මාණයේ අවසන් භාගය රචනා කරමිනි. ඊට නොදෙවෙනි අයුරින් අද ඔහු පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය හරහා ඉතා වේගවත් ජනප්‍රියත්වයක් කරා ගමන් කරමින් සිටියි. මේ දිනවල ප්‍රේක්ෂකයන්ට ඇතිවී තිබෙන ගැටලුවකට පිළිතුරු ද සමඟින් අද ඔහු අප හා කතාබහට එක්විය.


 බුද්ධික සේමසිංහ කියන නම ප්‍රේක්ෂකයන් අතරට ගියේ පාර දිගේ ටෙලි නිර්මාණයත් එක්ක. අතරමඟදී නිර්මාණයට සම්බන්ධ වෙමින් ඔබ ඒ අභියෝගය ජයගත්තේ කොහොමද?


ටෙලි නාට්‍ය ඉතිහාසයේ ලොකු පෙරළියක් කළ ටෙලි නාට්‍යක් විදිහට පාරදිගේ හඳුන්වන්න පුළුවන්. සද්ධා මංගල සූරියබණ්ඩාර කියන දක්ෂ රචකයාගේ තිරපිටපතක්. අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඒ වෙද්දි සද්ධා – සිවා සුසංයෝගය ඇතුළෙ පුදුමාකාර ගැළපීමක් තිබුණා. සද්ධා අයියගේ කාර්යබහුලත්වය හමුවේ එහි ඉතිරිය රචනා කිරීමේ වගකීම මට පැවරුණා. ඒ වෙද්දිත් පාරදිගේ කියන්නෙ ජනප්‍රියත්වයේ ඉහළින්ම තිබුණු, මිනිසුන් තදින් බැඳිල හිටිය ටෙලි නිර්මාණයක්. අතරමඟදි රචකයො මාරු වුණහම කැරැක්ටර්වල කොලිටිය මාරු වෙනවා. රංගන ශිල්පීන්ගේ පොඩි හැසිරීමකින් පවා ඒක ප්‍රේක්ෂකයාට අහුවෙනවා. මුල ඉඳන්ම මං පාරදිගේ ප්‍රේක්ෂකයෙක් වෙලා හිටපු නිසා මං ඒ රටාව දැනන් හිටියා. ඒ නිසා රචකයා මාරු වුණා කියන එක නොදැනෙන්න මට ඒක කර ගන්න පුළුවන් වුණා. පාරදිගේ මං ලියන්න පටන් ගන්නේ 410 පරිච්ඡේදයේ ඉඳන්. හිතුවටත් වඩා හොඳට මට ඒක ජය ගන්න පුළුවන් වුණා කියල හිතනවා. කොහොමත් මං ඒ වගේ අභියෝගවලට හරිම කැමතියි. පාරදිගේ තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය.


ඔබ නාළිකා තුනක ටෙලි නිර්මාණ තුනක් ප්‍රේක්ෂකයන් හමුවට ගේනවා. ඒ ගැන කතා කළොත්?


දෙරණ නාළිකාවේ සවස 6ට සිකුරු ඇවිත්. ස්වර්ණවාහිනියේ රාත්‍රී 7.30ට බයිස්කෝප්. හිරු නාළිකාවේ රාත්‍රී 8ට පාට කුරුල්ලෝ. සතියේ දින පහේම නාළිකා තුනකට නිර්මාණ තුනක් විකාශයට සූදානම් කරනවා කියන්නෙ ලොකු අභියෝගයක්.


 මේ වෙද්දි ඔබ බයිස්කෝප් ටෙලි නිර්මාණය රචනා කිරීමෙන් ඉවත් වෙලා කියන කතාව ඇත්තද?


මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට තියෙන ලොකුම ගැටලුව ඕක. ඒකට පිළිතුරක් දෙන්න හොඳම අවස්ථාව මේක කියල හිතනවා. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්න සිද්ද වුණා. බයිස්කෝප් කියන නම වගේම ඒ කන්සෙෆ්ට් එකත් මගේ. ඒත් ඒකෙ පරිච්ඡේද 47 වෙනකල් විතරයි මට ලියන්න පුළුවන් වුණේ. ලංකාවේ කාර්යබහුලම රචකයන් කීප දෙනා අතර ඉන්න කෙනෙක් විදිහට මං හිටියෙ නිර්මාණ තුනක වැඩ කරන ගමන්. ඒත් අනෙක් නිර්මාණ දෙකට නැති මැදිහත් වීමක් මේ නිර්මාණයේ නිෂ්පාදක කණ්ඩායමෙන් ආවා. ක්‍රියේෂන් එකට වුණු බලපෑම නිසා මට තවදුරටත් රැඳී ඉන්න බැරි වුණා. එක තැනකදි මට තනි තීරණේකට එන්න වුණා මම ඉවත් වෙනවා කියලා.


 ඔබත් එක්ක නිර්මාණයට දායක වුණු ප්‍රධාන භූමිකා සියල්ලම වගේ ඉවත් වුණා. ඒ ගැන මොකද හිතෙන්නෙ?


එයාලගෙ ඉවත් වීමට නම් මගේ කිසිම බලපෑමක් නැහැ. බොහෝදුරට ඒකට බලපාන්න ඇත්තෙ මේ නිර්මාණය පටන් ගත්ත විදිහ. අපි මේක පටන් ගත්තෙ හැම ශිල්පියෙක්ම වෙන වෙනම හමුවෙලා ඒ ඒ චරිතයේ හැඩය, ගොඩනැඟෙන විදිහ ගැන සෑහෙන කාලයක් කතා කරලා, ඒ චරිත තුළ ජීවත් වෙලා. සමහර කැරැක්ටර්ස් දවස් දෙක තුන හමුවෙලා හරියට ස්ටේජ් ඩ්‍රාමා එකක් වගේ ප්‍රැක්ටිස් වුණා. ඒ නිසා එයාලට තමන්ගෙ චරිත ගැන අවදානමක් දැනෙන්න ඇති. මේක සාමූහික ප්‍රයත්නයක්. ඔවුන්ටත් නිදහස් මනසකින් නිර්මාණයට දායක වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒ හේතුව නිසා ප්‍රධාන චරිත 12ක් හෝ 13ක් ඉවත් වෙලා තිබුණා. ලංකේය ටෙලි ඉතිහාසයේ ඒ තරම් ලොකු පිරිසක් එකවර ඉවත් වුණු පළමු අවස්ථාව මේක වෙන්න ඕන. එයාලටත් තේරුණා මං මේ නිර්මාණය ඇතුළෙ වැඩ කරන්න බැරිකමට ඉවත් වුණා මිසක් වැඩ වැඩිකමටවත්, වෙන වැඩකට සම්බන්ධ වෙන්නවත්, රට යන්නවත් නෙවෙයි කියලා. එහෙම තත්ත්වයක් වුණා නම් සමහර විට ඔවුන් අලුත් රචකයාත් එක්ක කතාබහ කරල පොදු එකඟතාවකට ඇවිත් වැඩේ කරගෙන යන්න ඉඩ තිබුණා. නමුත් මේක ඒ වගේ තත්ත්වයක් නෙවෙයිනෙ. අන්තිමට චරිතවලට අවසානයක් දෙන්න හරි ඔවුන් කැමැත්තෙන් හිටියත් ඒ දේවත් කර ගන්න සුදුසු වාතාවරණයක් එතන තිබුණෙ නෑ.


 මේ වෙද්දි විකාශය වෙන්නෙ ඔබේ පිටපත නෙවෙයි. ඉවත් වීමත් එක්ක ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?


7.30 ටයිම් බෙල්ට් එකට වෙනස්ම ආරක් ගෙනාව ටෙලි නාට්‍යයක් විදිහට බයිස්කෝප් වටා සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් රැස්වෙලා හිටියා. ආර්ටිස්ට්ලගෙ පෑන්ස්ල වගේම මේ චරිතවල ජීවත්වෙන කොටසක් හිටියා. ඔවුන් අසරණ වෙලා කියල තේරුණා. බොහෝ දෙනා කතා කරන්නෙ කනගාටුවෙන්.


 බුද්ධික අලුත් වැඩකට අතගහන්න සූදානමින් ඉන්නව කියලත් ආරංචියි?


ඔව්. මං සති අන්තයේ විකාශය සඳහා ටෙලි නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකෙ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් මගේ. ඉක්මනින්ම රූගත කිරීම් ආරම්භ කරනවා. සාරංග දිසාසේකර අධ්‍යක්ෂණය කරන මගේ පළමුවැනි චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙනවා. තවත් දෙකකට ආරාධනා ලැබිල තියෙනවා.


 ඔබ ඉතාම කාර්යබහුල චරිතයක්. බිරිය නයෝමිගෙන් ලැබෙන සහාය ගැනත් කියමු?


ඇය නිසා තමයි මං මෙතන ඉන්නෙ. ඉස්සර වගේ එයා එක්ක ඇවිදින්න යන්න ෂොපින් යන්න තිබුණු ඉඩ ඇහිරිලා. කෑමට ආපු වෙලාවට වචනයක් දෙකක් කතා කළොත් ඇරෙන්න කතා කරන්නවත් වෙලාවක් නෑ. සමහර දවස්වල නයෝමි දවස් තුන හතරෙ සිදුවීම් නෝට් දාගෙන ඉන්නවා මට කියන්න. එහෙම තේරුම් ගන්නෙ නැතුව මේ ගමන ආවෙ නැත්නම් අද බුද්ධික සේමසිංහ කියල චරිතයක් නැති වෙන්නත් තිබුණා. ඇගෙන් ලැබෙන සහාය ගැන කියන්න වචන නෑ.


බුද්ධික සේමසිංහ



Previous Post Next Post