ජීවන සහකරුවෙක් තෝරගන්න එක ලේසි නෑ -නිම්මි මනෝහාරි



නාඩගම්කාරයෝහි පොඩ්ඩී ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘වියළි‘ ටෙලි නිර්මාණයේ නයෝමිගේ භූමිකාවෙන් ඊට නොදෙවෙනි ප්‍රේක්ෂක ආදරයක් ලබමින් සිටින්නීය. ටෙලි නාට්‍ය වංශ කතාව නව මානයකට ගෙන යතැයි බලාපොරොත්තු තබාගත හැකි වියළී ටෙලි නිර්මාණයේ නයෝමි ලෙසින් ඔබ හමුවට එන ඇය නිම්මි මනෝහාරිය.


*වියළි මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ටෙලි නිර්මාණයක්. ඔබ එහි නයෝමී. කොහොමද ආරාධනා ලැබෙන්නේ?


නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයට දායක වෙමින් සිටියදී තමයි මට වියළි සඳහා ආරාධනා ලැබෙන්නේ. ඒ මීට අවුරුදු දෙකහමාරකට කලින්. නාඩගම්කාරයෝ පටන් ගෙන මාස 5ක් විතර ගියාට පස්සෙ දවසක චන්දන ඉරුගල්බණ්ඩාර අයියා මගෙන් ඇහුවා නංගි මං අලුත් වැඩක් කරනවා. මේක ලියන්නේ දඩඉම නවකතාව ඇසුරෙන්. මේකට මං ඔයාවත් තෝරගෙන ඉන්නෙ. ඔයා කැමතිද කියලා. මගේ පළමු රංගන අත්දැකීම නාඩගම්කාරයෝහි පොඩ්ඩි කියන්නෙ දඟකාර චරිතයක්. දෙවැනි නිර්මාණය විදිහට මේක වෙනස්ම අත්දැකීමක් නිසා මං එකපයින්ම කැමති වුණා. ශාන්ති දිසානායකගේ දඩඉම නවකතාව කියවන්න පටන් ගත්තට පස්සෙ මගේ ආසාව තවත් වැඩි වුණා. වියළි ටෙලි නාට්‍ය ලාංකේය ටෙලි නාට්‍ය කලාව වෙනස්ම මඟකට ගෙනයාවි කියලා හිතනවා.


*දඩඉම නව කතාව රූප රාමු බවට පත් කරන්නේ සමන්ත කුමාර ගමගේ. ඔහුගේ තිර පිටපත ඔබට දැනුණෙ කොහොමද?


ශාන්ති දිසානායක වගේම සමන්ත කුමාර ගමගේ කියන්නෙත් ඒ වගේ දුෂ්කර පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක්. ඒ සුසංයෝගය මනාවට ගැළපිලා තිබුණා. පොතේ තියෙන දේ රූප රාමුවලට කියවගන්නෙ කොහොමද කියලා සමන්ත අයියා හරි ලස්සනට ලියල තිබුණා. පොතටත් හානියක් නොවෙන්න, ඕනෑම කෙනෙකුට කියවගන්න පුළුවන් විදිහට ලියවුණු හරි අපූරු තිර පිටපතක්.


නයෝමි කියන්නෙ ප්‍රධාන චරිතයක්. ඒ ගැන කතා කළොත්?


වියළි කතාව දිවෙන්නේ නයෝමි සහ කළුවා කියන ප්‍රධාන ධාරාවන් දෙක ඔස්සේ. නයෝමි කියන්නේ තමන්ගේ ආත්මගරුත්වයත් රැක ගනිමින් වියළි කර්කශ පොළොවේ තම ජීවිකාව ගෙන යන්න වෙර දරන තරුණියක්. ආර්ථික අර්බුදය හමුවේ තම මව විදෙස්ගත වෙද්දී පෙදරේරු රැකියාවේ යෙදෙන පියා උපයන හැම සතයක්ම වියදම් කළේ බීමත්කමට. යහළුවන්ගෙන් වද වේදනා විඳිමින් තම සොහොයුරාගේ අනාගතය සැපවත් කරන්නට වෙහෙසෙන ඇය දිරිය දියණියක්. වියළි කියන්නේ දුෂ්කර කර්කශ පොළොවේ මිනිසුන් විඳින දුක්ගැහැට ගැන කතා කරන ටෙලි නිර්මාණයක්. ඒ දුක්විඳින මිනිසුන්ගේ හිත් තෙත් කරන්න ගත්ත උත්සාහයක්. ඕනෑම මනුස්සයෙකුගෙ හිතක් වියළි කරන්න පොඩි තත්පර ගාණක් ඇති. ඒත් ඒ වියළුණු හිත තෙත් කරන්න හරිම අමාරුයි.


*වියළි තේමා ගීතය මේ වෙද්දි බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා?


ඔව්. ඒක නම් කියන්නම ඕන. තිස්සමහාරාම වියළි පරිසරය මේ නිර්මාණයට මනාව ගැළපුණා වගේම දර්ශන රුවන් දිසානායකගේ සංගීතයත් පුදුමාකාර විදිහට ප්‍රේක්ෂකයා මත බලපෑමක් ඇති කරල තියෙනවා. මෙහි තේමා ගීතය වගේම නිර්මාණය පුරාවට ගලා යන සංගීතය, නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගෙනයන්න සීයට දෙසීයක බලපෑමක් ඇති කළා කියල හිතෙන්නෙ මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.


*නයෝමිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් අය හිතන්නෙ සීමිත කොටස් ගාණක ටෙලි නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට යන්නෙ නෑ කියලා. නමුත් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලුවහම ඒක එහෙම නෙවෙයි කියලා තේරෙනවා. මං සාමාන්‍යයෙන් පාරවල් අයිනෙ තියෙන පොඩි කඩවලින් කන බොන කෙනෙක්. ඉස්සර ඒ මිනිස්සු මගෙන් ඇහුවෙ ඔයා නේද නාඩගම්කාරයෝ එකේ පොඩ්ඩි කියලා. දැන් කියන්නෙ ආහ් මේ වියළි එකේ නයෝමි නේද කියලා. ලංකාවෙ වගේම විදෙස් රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


*සර්කස්කාරයෝ කියන්නෙත් ඔබ දායක වන ජනප්‍රිය ටෙලි නිර්මාණයක්?


ඔව්. සර්කස්කාරයෝ කියන්නේ මං ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණු තවත් සද්ධා – සිවා සුසංයෝගයක්. ඒ විශිෂ්ටයන් දෙදෙනා සමඟ මං සම්බන්ධ වෙන දෙවැනි අවස්ථාව. සද්ධා මංගල සූරියබණ්ඩාර සහ චේතනී සූරියබණ්ඩාර කියන්නෙ මුල ඉඳන්ම මගේ අඩුපාඩු පෙන්නල දීල මාව අල්ලන් හිටිය දෙන්නෙක්. තාමත් ඒ වගේම අල්ලන් ඉන්නවා. ඔවුන් නැත්නම් අද නිම්මි මනෝහාරි කියල චරිතයක් නොතිබෙන්නත් තිබුණා. සර්කස්කාරයෝහි රසාදරීටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මිහිර සිරිතිලකගේ පරපුරක පෙම ටෙලි නිර්මාණයත් මේ දිනවල විකාශය වෙනවා.


*දැන් කලවයසත් හරි කියලා ගෙදරින් කරදර කරනව කියන්නෙ ඇත්තද?


ඔව්. ඔව්. ගෙදරින් හරිම කරදරයි. තර්ජන ගර්ජන එමටයි. ඒත් ඉතින් ජීවන සහකරුවෙක් තෝරගන්න එක ලේසි නෑනේ. ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න ඕන. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් විදිහට දෙන්න අතරේ හොඳ කොමිනිකේෂන් එකක් තියෙන්න ඕන. ඒ හැමදේටම වඩා හොඳ මානුෂීය හැඟීම්වලින් යුතු වෙන්න ඕන. ඒ දේවල් සල්ලිවලට ගන්නවත්, බලෙන් ඇති කරවන්නවත් බෑ. ඒ වගේ කෙනෙක් හමුවුණ දාට මාත් විවාහය ගැන හිතනවා.


නාමලී ගමගේ



Previous Post Next Post