ආදරේ පටලවා ගත්තොත් මේ ගමන යන්න බැරිවෙනවා පවන්ත හපුතන්ත්‍රි



සිරස නාළිකාවේ විකාශය වුණු ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසි පවන්ත හපුතන්ත්‍රි ‘දිව්‍යාදරී’ ටෙලි නිර්මාණයේ වෛද්‍යවරයාගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේය. එහි තාත්වික බව වඩාත් හොඳින් ඉස්මතු වන්නට ඔහුගේ වටපිටාවත් ඉවහල් වන්නට ඇත. ඒ ඔහු සැබැවින්ම දේශීය වෛද්‍ය වෘත්තියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටින නිසාය.


මේ වන විටත් ඔහු ත්‍රීකුණාමලය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකි. ඉඩ ලැබෙන පරිදි ඔහු කලා නිර්මාණවලට දායක වන්නේ කුඩා කල සිට දුටු සිහිනය සැබෑකර ගැනීමේ අරමුණෙනි. ඔහු කලාවට බොහෝ සේ පෙම් බඳින්නෙකි. ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස රටට සේවය කරමින් කලා අඹරේ පසෙකින් දිලෙන්නට ඔහු වෙර දරන්නේ ද එබැවිනි.


“මේ වෙද්දි මං ත්‍රිකුණාමලය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන අවසන් වසරේ සිසුවෙක්. ඒ කටයුතු කරන අතරේම තමයි මං කලා කටයුතුවලට දායක වෙන්නේ. ත්‍රීකුණාමලයේ ඉඳන් දිනපතා රූගත කිරීම්වලට එන්න අපහසු නිසා මට ආරාධනා ලැබුණු ගොඩක් නිර්මාණ බාරගන්න බැරි වුණා. ගොඩක් දුරට වැඩිපුර සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම්වලට. අධ්‍යයන කටයුතු අතරේ වුණත් ‘නීල පබළු’, ‘ධරණී’, ‘හිත ළඟ හිනැහුණා’, ‘දිව්‍යාදරී’ වගේ ටෙලි නාට්‍ය ගණනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රදීප් රසාංගගේ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයේ මේල් නර්ස්ගෙ චරිතය වගේම ‘දිව්‍යාදරී’ ටෙලි නිර්මාණයේ ඩොක්ටර්ගෙ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා.”


හොරණ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ පවන්ත උසස් පෙළ සඳහා හොරණ ශ්‍රීපාලියට ඇතුළත් වීමෙන් අනතුරුව පාසල් කලා කටයුතුවලට සම්බන්ධ වී තිබීම ඔහු තුළ කලාවට ඇල්මක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබිණි.


“මගේ ගම රයිගම. මට ඉන්නෙ අම්මයි, තාත්තයි අයියයි මල්ලියි. මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රාජකීය විද්‍යාලයෙන්. උසස් පෙළ සඳහා මං හොරණ ශ්‍රීපාලියට ඇතුළත් වුණා. පාසල් කාලෙ කලාවට වගේම ක්‍රීඩාව ඇතුළු අනෙක් හැම දේකටම වගේ සම්බන්ධ වුණා. සමිති සමාගම්වලත් ප්‍රබල සාමාජිකයෙක්. පාසල් කබඩි කණ්ඩායමෙත් සාමාජිකයෙක්. සාමාන්‍ය පෙළට ඩ්‍රාමා කළා. ඒ නිසා පාසල් වේදිකාaව මට ආගන්තුක වුණේ නෑ. ප්‍රවීණ රංගන ශිල්පී විනී වෙත්තසිංහ අපේ මාමා කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ. පුංචි කාලෙ ඉඳන්ම කලාවට නැඹුරුවක් ඇති වෙන්න ඒ ආභාසයත් හේතුවෙන්න ඇති. පාසල් කාලෙ තිර පිටපතක් ලියලා කට්ටිය එකතු කරගෙන මම නාට්‍යයකුත් කළා. ඒත් උසස් පෙළට එද්දි තෝර ගත්තෙ විද්‍යා විෂයයන්. ආයුර්වේදය පැත්තට වැඩි කැමැත්තක් ඇති වෙන්න හේතු වුණේ අපේ අම්මගෙ සීයත් පාරම්පරික වෙදමහත්තයෙක්. ඒ නිසා මටත් ඒ පැත්ත ගැන අවබෝධයක් තිබුණා. පුංචි කාලෙ ඉඳන්ම බෙහෙත් පැළෑටිවලට හරි ආසයි. ඉස්සර සිංහල අලුත් අවුරුද්දට නානු හදනවා. කොහොමහරි දේශීය වෛද්‍ය පැත්තට තමයි වැඩි කැමැත්තක් ඇති වුණේ.“


පවන්ත අපූරු පෙනුමකින් යුතු තරුණයෙකි. තව නොබෝ දිනකින් වෛද්‍යවරයෙකි. ආදරය ගැන කුමක් සිතන්නේදැයි ඇසූ පැනයට ඔහුගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.


“ආදරය ගැන නම් මට අත්දැකීම් නැහැ. මං ඒ ගැන තාම හිතලත් නෑ. ආදරය ඕන කියලා මට දැනිලත් නෑ. මට ඕන මුලින්ම මගේ ඉලක්කයට යන්න. එතැනට ගියාට පස්සෙ ආදරයක් ගැන හිතනවා. ආදරෙත් පටලවාගෙන මට එතැනට යන්න අමාරුයි.


නාමලී ගමගේ



Previous Post Next Post