අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලා -ස්වේතා මේලි




ස්වේතා මේලි කියන්නෙ අපි හැමෝම ආදරේ කරන මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරාගෙ දුව බව මේ වෙද්දි බොහො දෙනා දන්නවා. ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක. ස්වේතා සහ රනිත් මේ වෙද්දී දින ගණින්නේ ගෙදරට එන්න ඉන්න පුංචි අමුත්තව පිළිගන්න. ඒ නිසාම මේ ගතවෙන සුන්දර කාලය ගැන අපි ස්වේතා එක්ක කතා කරන්න හිතුවා.


අලුත් බලාපොරොත්තුවක් එක්ක ගත කරන මේ දින ටික කොහොමද දැනෙන්නෙ?


හරිම එක්සයිටින් පීරියඩ් එකක්. මටයි රනිත්ටයි අලුත්ම අත්දැකීමක්. ඕනෙම කෙනෙක්ට පළවෙනි පාරට බබාලා ලැබෙන්න ඉන්නකොට එහෙමනේ. අපි ගොඩක් දේවල් දවසින් දවස ඉගෙන ගන්නවා. ඒ දේවල් එක්ක සතුටින් කාලය ගත කරනවා. බබා අපි ළඟට එනකම් තමයි දැන් ඉන්නේ.


දුවෙක් ද පුතෙක් ද?


දුවෙක් ලැබෙන්න ඉන්නේ.


මුලින්ම දුවෙක්ට ද කැමැත්තෙන් හිටියේ ?


අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලා. හැබැයි මම දැනන් හිටියා මට ලැබෙන්නේ දුවෙක් කියලා. රනිත්ටත් එහෙම්ම හිතිලා තිබ්බා. නමුත් ගොඩක් අය හිතලා තිබ්බේ පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා.


නමක් ගැන හිතලා ද තියෙන්නේ?


එක එක නම් ගැන හිතලා තියෙනවා. නමුත් තවම අපිට හරියනම නමක් හම්බුණේ නැහැ.


මේ කාලයේ කොහෙද ඉන්නේ?


දැන් නම් ඇවිත් ඉන්නේ ලංකාවට. ස්ථිර පදිංචියට ලංකාවට එන්න නම් දැන්ම අදහසක් නැහැ. පුළුවන් හැම වෙලාවකම ලංකාවට ඇවිත් යන්න ආසයි. මොකද මම කැමති ලංකාවට. අපේ ආච්චිලා සීයලා සහ මගේ යාළුවෝ හැමෝම මෙහෙ ඉන්න නිසා. පුළුවන් වෙලාවට එනවා.


කවද්ද ලංකාවට ආවේ?


ගිය සතියේ තමයි ලංකාවට ආවේ.


කොච්චර කාලයක් ඉන්නවද?


ලබන මාසේ මැද වෙනකම් ඉන්නවා.


බබා ලැබෙන කාලයේදි ලංකාවේ ද ඉන්නෙ?


නැහැ. ඒ කාලෙට මම ඉන්නේ මෙල්බන් වල. මොකද රනිත් ඉන්නේ එහෙ. ඩොක්ටර්ගෙන් අහලා තමයි පුළුවන් කාලේ ලංකාවට ඇවිත් යන්න හිතුවේ.


මේ කාලයේ වැඩිපුරම කන්න ආස මොනාද?


මෙහෙ ඕනෙම කෑමක් කන්න ආසයි. එහෙ ඉන්නකොටත් මම ආසාවෙන් කෑවේ ලංකාවේ කෑම. කොහේ හිටියත් ගෙදර හදන රහට තමයි කෑම ටික මට ඕනේ. ගෙදර හදන ඕනෙම කෑමක් ආසාවෙන් කනවා.


රටක් ආදරේ කරන නලින් පෙරේරා සීයා කෙනෙක් වෙන්න යන්නෙ කිව්වාම මොනවගේ ප්‍රතිචාරයක් ද තාත්තා දුන්නේ?


මම ටික කාලයක් ගිහින් ප්ලෑන් කරලා තමයි ඒ දෙන්නව සර්ප්‍රයිස් කළේ. මම ආස වුණේ නැහැ නිකම්ම කෝල් එකක් අරන් කියන්න. ඒ දෙන්නටම හරි සතුටුයි. තාත්තිත් ගොඩක් සතුටින් ඉන්නේ. තාත්තිටත් මුලින්ම දුවෙක් ඕනේ කියලා හිතලා තියෙද්දී තමයි මාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැනුත් දුවෙක් නිසා මුලින්ම සීයා කෙනෙක් වෙන්න යන එකටත් ලොකු සතුටකින් ඉන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


දැන් තියෙන එකම බලාපොරොත්තුව බබාව දකින එක සහ එයාව මූලික කරගෙන හැමදේම සැලසුම් ඇතිව කරගෙන යන එක තමයි.


 අනුෂා රණසිංහ



Previous Post Next Post