අපේ සංගීත ලෝකයේ සිටි ප්‍රවීණයකුගේ චරිතය රඟපාන්න ලැබීම වාසනාවක් දමිත් විජේතුංග



නිරූපණ ශිල්පියකු ලෙස වේදිකාවට පිවිසෙන ඔහු 2016 වසරේදී මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනා ගන්නේය. ඉන් නොනැවතුණ ඔහු සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වාණිජමය චිත්‍රපටයක ප්‍රධාන නළුවා වෙමිනි. තවත් නොබෝ දිනකින් තිරගත වීමට නියමිත එම චිත්‍රපටය ගැන කතා කරන්නත්, දැනට මොබිටෙල් ආයතයේ සේවය කරන දමිත් විජේතුංග අප හා එක් විය.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු හා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සමඟ තරමක් කාර්යබහුලයි.


ඔබ නිරූපණ ක්ෂේත්‍රයට කොහොමද අවතීර්ණ වෙන්නේ?


නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ 2015 වසරේදීයි. වෙළෙඳ දැන්වීමකට කට්ටිය හොයනකොට අහම්බෙන් එයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මම ක්ෂේත්‍රයට පිවිසුණේ ශමීර වීරසිංහ හරහායි. ඒ වගේම ශමීර වීරසිංහ හා බ්‍රයන් කාර්කෝවන් යන අයගෙන් ලැබුණ සහාය තමයි මට මෙතෙක් දුර එන්නට හේතුවුණේ. මට පළමුවෙන් ලැබුණු අවස්ථාවෙන් ඇති වූ කැමැත්ත මත ඒ ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටියා.


ඔබ වෘත්තීයමය නිරූපණ ශිල්පියෙක් ද?


නැහැ. මම වෙනත් වෘත්තියක නියැළෙන අතරවාරයෙයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. ලංකාවේ නිරූපණ ශිල්පියෙක්ට වෘත්තියමය ලෙස නිරූපණය කිරීමට අපහසුයි.


නිරූපණ ශිල්පියෙක්ට වෘත්තියමය මට්ටමක් ගොඩනඟා ගත හැකි අධ්‍යාපනික ආයතන ලංකාව තුළ බිහිවී තිබෙනවා ද?


බොහෝ මෑතකදී එවැනි ආයතන කිහිපයක් බිහි වුණා. ආධුනිකයන්ට ඉදිරියට යන්න එය හොඳ වේදිකාවක් වේවි කියලා මම විශ්වාස කරනවා.


ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා නේද ?


2016 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තා. 2017 මෑන් ඔෆ් ද වර්ල්ඩ් තරගාවලිය පිලිපීනයේ පැවැත්වුණා. එහි රටවල් 34කින් අන්තිම දොළොස් දෙනා දක්වා මට පැමිණීමට අවකාශය ලැබුණා.


ඔබ රංගනයට අවතීර්ණ වුණා කියලා ආරංචියි. ඒ කතාව ඇත්ත ද?


ඔව්, මට වාණිජමය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණා. එය අපේ රටේ සංගීත ක්ෂේත්‍රෙය් සිටි ප්‍රවීණයකුගේ ජීවිතය අළලා ඔහුගේ ජීවිත කතාවක් ඇසුරින් නිර්මාණ වූ චිත්‍රපටයක්. එම චිත්‍රපටය බොහෝ විට ලබන මාසයේ තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එය තිරගත වූ පසු ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් වේවි කියලා විශ්වාස කරනවා.


ඔබ රංගන වරම් ලැබුවේම රිදී තිරයේ ප්‍රධාන චරිතයකින් ද?


නැහැ. මීට පෙර ටෙලි නාට්‍යයක රඟපෑම් කටයුතු කළා. නමුත් රිදී තිරයට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මේ චිත්‍රපටය ලෙස හඳුන්වන්න පුළුවන්.


කුලුඳුල් සිනමා අත්දැකීමක චරිතාපදානයක් වීම හා ප්‍රධාන චරිතයක් වීමම අභියෝගයක් වුණේ නැද්ද?


ටෙලි නාට්‍යවල රඟපෑවට පුළුල් තිරය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඒ නිසා හැඟීම් ප්‍රකාශනයේදී වගේම ඉරියව් සියුම්ව නිරූපණය කරන්න මම පරිස්සම් වුණා. මම ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ලංකාවේ කාලයකදී මිනිසුන්ගේ සිත් වසඟ කරගත් අපට සිටි ප්‍රවීණ සංගීත ශිල්පියෙක්. එය අපූරු පුද්ගලයෙක්ගේ චරිත කතාවක්. මම ඔහුව ජීවමානව දැක නැහැ. ඒ නිසා ඔහු පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් වගේම පරීක්ෂණාත්මක දෘෂ්ටියකින් මගේ රඟපෑම් කටයුතු කිරීමට මට සිදුවුණා. කොහොම වුණත් ඒ චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණා කියන හැඟීම මට තියෙනවා.


ප්‍රවීණයන්ගේ ලැබුණු දායකත්වය කෙබඳු ද?


මට ප්‍රවීණයන්ගේ විශාල සහයෝගයක් ලැබුණා. ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනා කැපිලි කෙටිලි තියෙනවා කියලා කිව්වත් මට එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ.


රංගන ජීවිතය නිසා නිරූපණ ක්ෂේත්‍රය අතහැරෙයි ද?


මගේ ජීවන විලාසිතාව නිරූපණය. ඒ නිසා කිසිම විටෙක මගේ නිරූපණ කාර්යය අතහැරෙන්නේ නැහැ. නිරූපණ ක්ෂේත්‍රය තුළ තෝරා බේරාගත් වගේම වෙනස්ම වැඩකටයුතු කිහිපයක් ඉදිරියේදී සිදු වේවි.


නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට ප්‍රවීණයෙක් ලෙස ඔබ දෙන පණිවිඩය මොකක්ද?


බොහෝ දෙනෙක් තමන්ගේ ස්වභාවය තේරුම් නොගෙන ආසාවට පමණක් නිරූපණ කාර්යයට යොමු වෙනවා. නිරූපණ ශිල්පියෙක් කියන්නේ walking hager එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔහු හෝ ඇය යම් වෙළෙඳ සන්නාමයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, එම ආයතනයට සාධාරණය කරන්න අවශ්‍යයි. ඒ නිසා ශරීරය නිසි ආකාරයෙන් පවත්වාගන්න අපි මහන්සි වෙන්න ඕනේ.


නිරූපණ ක්ෂේත්‍රයට ලංකාව තුළ වෘත්තිය ගරුත්වය හිමි වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔබ ඒ කතාවට එකඟ ද?


අනිවාර්යෙන්ම, නිරූපණ ශිල්පීන් යැයි කියාගන්නා යම් අතළොස්සක් මෙම වෘත්තිය විකුණමින් තම අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගැනීමට පෙළඹෙනවා. ඔවුන් මොඩ්ල්ස්ලා කියන ලේබල් ගහන් අනවශ්‍ය වැඩ කරන නිසා සමාජය තුළ වෘත්තියමය බහුතර නිරූපණ ශිල්පීන්ටත්, වෘත්තීය ගරුත්වය මේ වනවිට අහිමි වී තිබෙනවා. ඇත්තටම මෙය හරිම ශෝචනීය තත්ත්වයක්. ඇතැම් නිරූපණ ශිල්පීන් හිතන්නේ ලස්සන පමණක් එකී වෘත්තියට ප්‍රමාණවත් කියලා. එම පුද්ගලයන්ට ඉලක්ක නැහැ. හැදෑරීමක් නැහැ. ඒ නිසාම එවැනි අතළොස්සක් නිරූපණ ක්ෂේත්‍රය පහතට ඇදලා දානවා.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


රංගන ජීවිතේ වගේම නිරූපණ ක්ෂේත්‍රයේ. සුබවාදී ඉදිරි ගමනක් යන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


විශ්මි ප්‍රනාන්දු



Previous Post Next Post