මම එකම චරිතෙ කිහිපවරක් කරන්න කැමති නෑ - අනුරාධ මල්ලවආරච්චී



දශකයකට එහා රංගනය එක්ක හිටියත් අනුරාධ මල්ලවආරච්චී හරියට නිලය ඇල්ලු නිසා අද නමට වඩා රූපය හා රංගනය එක්ක ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ සිත නිදි නෑ නාට්‍යයේ සාගර වීරනායක නිසා. වේදිකා නාට්‍ය, සිනමාව වගේම ටෙලි නාට්‍ය කියන තුන් මාධ්‍ය ඇල්ලූ ඔහු ගැනයි මේ කතාබහ


අවුරුදු 15ට පමණ පෙර රංගනයට අවතීර්ණ වුණත් අනුරාධ වඩාත් ජනප්‍රිය වෙන්නේ සිත නිදි නෑ නාට්‍යයේ සාගර වීරනායක චරිතයෙන් ..?


මුලින්ම මම වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ඊට පස්සේ අවස්ථා කිහිපයකදි ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණත් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය ගත්තේ සිත නිදි නැ නාට්‍යයේ සාගර වීරනායක චරිතය එක්ක. ඒ චරිතය ගොඩනැ‍ෙඟන විදිහ වෙනස්. ලෝයර් කෙනෙක් ඒ වගේම දුවලා තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ජීවිතේ මග අරින්න බැරි අතීතයක් එක්ක සාගර ගොඩනැ‍ෙඟන විදිහට ජනතාව ආදරේ කළා. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මට හරි සතුටක් තියෙනවා. නිර්මාණ එක්ක ඉඳහිට මතුවුණු මාව සාගර නිසා හොඳින් දැනගත්තා කියන්න පුළුවන්. ‍


අපේ රටේ නිර්මාණකරුවන් එක චරිතයක් සාර්ථක වුණාට පස්සේ එවැනි චරිත සඳහා ලඝු කිරිමේ පුරුද්දක් තියෙනවා. මේ වෙද්දී ඔබවත් එක රාමුවකට කොටු කරලද..?


මම මේ චරිතය නිර්මාණය කළාට පස්සේ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ තාත්තගේ චරිතය නිරූපණය කරන්න. ඒක මම දුර්වල තැනක් හැටියට දකින්නේ. හේතුව නැවත නැවත මාව තාත්තා කෙනෙක් හැටියට කාස් කරනවා කියලා හිතද්දිම මම කල්පනා කරනවා ඇයි එහෙම වෙන්නෙ කියලා. එක චරිතයකින් තාත්තා විදිහට දකිද්දී නැවත නැවත එවැනි චරිත ලැබෙන්නේ ඇයි මම දන්නෙ නැහැ. නමුත් තාත්තා ගේ චරිතය නැවත නැවත කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණකරුවන් එක චරිතයක සාර්ථකත්වය දුටු පමණින් ඒ චරිතයම බිලොක් කරලා දෙනවා ගැළපෙන විදිහ. නමුත් මට ඒ සඳහා ඕනවට වඩා ආරාධනා ලැබුණම මම තීරණයකට ආවා ආයේ තාත්තාගේ චරිත කරන්නේ නැහැ කියලා. හැම තාත්තාම එක විදිහ නැහැ, නමුත් නිර්මාණශිලීව අපූර්ව ලෙස පිටපත තුළින් ගොඩනැ‍ෙඟන්න ඕන වෙනස් තාත්තා කෙනෙක්. ඒ කොහොම වුණත් මම එහෙම ඒවා භාර ගන්නෙ නැහැ කියලා හිතුවා.


ඒ වගේම චරිත තුළ මගේ හිර වීම වෙනවද නැද්ද කියලා හිතන්නේ නැහැ. මට ලැබෙන චරිත ඇතුළේ මට කොච්චර දුරට රඟපාන්න තියෙනවාද, මගෙන් වෙනස් චරිතයක් ගොනඟන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම මගේ චරිතයෙන් සමාජයට මොකක්ද විසරනය වෙන්නෙ කියලා තමයි මම ප්‍රධාන විදිහට හිතන්නේ.


රංගනයට වේදිකාවෙන් පන්නරය ගත්තත් ඔබව දැන් තුන් මාධ්‍යයෙන්ම දකින්න ලැබෙනවා ..?


රූපවාහිනී නාළිකා කිහිපයක ටෙලි නාට්‍ය කිහිපයක වැඩ ආරම්භ කළා, ඒ වගේම සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා, එකක වැඩ පටන් ගත්තා. සිනමාවට රූපයෙන් දායක වීම ගැන කැමැත්තෙන් හා ආසාවෙන් ඉන්නවා, මම ඒකට කැමතියි. සිනමාව ඇතුළේ නිරූපණය වෙන එකට මම ආසයි හා කැමතියි. ඒ වගේම අලුත් වේදිකා නාට්‍යකටත් මම සම්බන්ධ වුණා , මංගල සේනානායක මහතාගේ ගුරු ගීතය වේදිකා නාට්‍යට. නැතුව බැරි මිනිහෙක්, 2019 ජූලි මාසේ දවසක්, වීරයා මැරිලා කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙමින් මගේ දවස ගත කිරීම වෙනවා කියන්න පුළුවන් තුන් මාධ්‍යයෙන්ම.


ඔබ උපාධිධාරියෙක්, සුදුසු රැකියාවක් එක්ක ඉදිරියට නොයා නළුවෙකු වීම ගැන පවුලේ අය කනස්සල්ලෙන්ද..?


මට ඉතාම හයියක් වෙන මගෙ පවුලේ අයව මතක් කරන්න ඕන. මගේ පවුලේ සහෝදරයෝ පස් දෙනෙක් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැහැ, අම්මා විතරයි ඉන්නේ, ඒ පවුල තුළින් මට ලැබෙන සහය හරි විශේෂයි, ඒ සහය නිසා තමයි මම නිදහසේ වැඩ කරන්නේ, අම්මා තමයි මගේ විවේචක ප්‍රේක්ෂකයා, අම්මගේ කමෙන්ට් එක අහන්න දකින්න ලැබෙන එක තමයි මම විශේෂ විදිහට කැමති. අම්මා මගේ වේදිකා නාට්‍ය බලන්න එනවා. ටෙලි නාට්‍ය බලනවා. අදාළ විචාරය ලැබෙනවා. එයාලගේ නිදහස එක්ක තමයි මම සාර්ථක නළුවෙක් වෙන්නේ කියලා කියන්න ඕන


මේ යන විදිහ ආර්ථිකයට බලපාන්නේ නැද්ද ..?


මේ ක්ෂේත්‍රයේ නිරත වෙන එක ආර්ථිකමය වශයෙන් එක එක සීමාවන් හදාගෙන කරන කතාබහ ඇතුළේ කොහොමද දුවන්නෙ කියලා බොහෝ දෙනෙක් අහන දෙයක්. යම්කිසි කාලෙක මාර විද්‍යාවක් තියෙන ප්‍රකාශන මාධ්‍යයක් හැටියට මම මේක දැක්කා. ඒක දැක්කට පස්සෙ තමයි තීරණය කරන්නේ මම නිරත වෙන්නේ මේකේ කියලා. ඒ නිසා මම උත්සාහ කරන්නේ දේවල් සමාජ ගත කරන්න මිසක් වෙන දෙයක් ලබා ගන්න නෙමෙයි. යැපීම ජීවත් වීම තියෙන්න ඕන. මගේ අවශ්‍ය සීමාව ලඟු කර ගන්නවා මම උපයන සීමාවට. එතකොට ජීවත් වෙන්න පහසුයි.


තරු සලකුණු තියා ගන්න ජීවිතේ මේන්ටේන් කරන්න ඕන කියලා තමයි දැන් ඉන්න කලාකරුවන් හිතන්නේ. ඔබත් මේන්ටේන් වෙන නළුවෙක් ද..?


ජිම් ගිහිං ඇඟ හදා ගන්න ඕන කියන එකට මම හොඳ උදාහරණයක් දෙන්නම්. විශ්වවිද්‍යාල කාලේ කාමර සඟයෙක් කියපු කතාවක් මේක. මගේ මිත්‍රයාට තව කෙනෙක් කිව්වා ඔහුට කෙට්ටු සිරුරක් තිබුණු නිසා ජිම් එකකට ගිහිං ඇඟ ටිකක් හදාගන්න කියලා. මගේ යාළුවා දුන්නු උත්තරේ තමයි මම ඇඟ හදන්න තිබ්බ කාලේ මොළේ හැදුවනේ මචං කියලා. මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා අවුරුදු නමයක් ගත වුණත් මගේ මිත්‍රයා කිව්ව කතාව තවම ඔළුවේ තියෙන. මේන්ටේන් වෙනවා කියලා අපි හිතන සමහර දේවල් මේන්ටේන් වෙන්නේ කුමක් සඳහාද කියන එක තමයි ප්‍රධාන වෙන්නේ, මගේ ප්‍රධාන දේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම. මම සෞඛ්‍ය සම්පන්නයි. ඊට එහා ගිය තරු ප්‍රසිද්ධියක් හොයන ජීවිතේ මේන්ටේන් කරන්නේ නැහැ. චරිතයක් ගොඩ නඟන්න ඕන වුණොත් ඊට අවශ්‍ය මහන්සිය ගන්නවා මිසක්.


අනුරාධ කියන්නෙත් නළු උණ තිබ්බ කෙනෙක් ද කියලත් කියමු..?


මම පුංචි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ නැහැ රංගනයට සම්බන්ධ වෙනවා කියලා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළාට පස්සේ අහම්බෙන් මගේ මිත්‍රයෙක් වන ගිහාන් සෙනෙවිරත්න මට ආරාධනා කළා කෙටි නාට්‍යකට. රංගනය ගැන එතකොට කිසිම අදහසක් තිබ්බෙ නැහැ. ඒ කාලය තුළ ලැබු දේවල් නිසා මට හිතුණා මේක ආකර්ෂණීය මාධ්‍යක් හා ප්‍රබල මාධ්‍යයක් කියලා. ඊට පස්සේ හෙව්වා ඒ ගැන. ඒත් එක්ක චාමර ප්‍රසන්න මට ප්‍රධාන ධාරාවේ වේදිකා නාට්‍ය සඳහා ඔහුගේ සහායට ගත්තා. ඒ 2007 වර්ෂයේ දි . මේක ඇතුළේ රූපණ හැදෑරීමක් තියෙනවා. විද්‍යාවක් කියලා මම තේරුම් ගත්තා. ඊට පස්සේ මම ආයෙමත් උසස් පෙළ කලා අංශයෙන් ලියලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්තා. ඒත් එක්ක අවුරුදු ගාණනක් වේදිකා නාට්‍ය එක්ක රංගනයෙන් වගේම විවිධ අංශවලින් නිරත වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයකු විදිහට වැඩ කරලා එහි විවිධ අකටයුතුකම් නිසා මම ඉවත් වෙනවා. පසුකාලිනව ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙනවා. දැන් මගේ ජීවිතේ රංගනය වෙලා.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post