උඹ හෙන කැතයි යකෝ’ කියලා කෙනෙක් කෑගැහුවා මං මාර අප්සෙට් ගියා - අනුරාධා එදිරිසිංහ




පුංචි තිරය මත නොදුටු ටික දිනට ඇය කොහේදැයි විමසූ පිරිස බොහෝය. එතරම්ම ප්‍රේක්ෂකයන් ඇය කෙරෙහි ආදරණීය වී තිබිණි. ඇය නැවතත් පැමිණ ඇත. ඒ කිසිදා නොදුටු පෙනුමකිනි. ඇය සහස්‍රාය. ඒ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ශාන් ජයරත්නගේ MAIN CHARACTER ටෙලි නිර්මාණයේය. සුසුම් රස්තියාදුවේ එරන්දතී වූ ඇය අක්ෂිහි නිම්මි වූවාය. ගරුඬ මුහුර්තයෙහි පුසුඹිගේ චරිතය උදෙසා 2021 සිග්නීස් සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානිතවූ ඇය අනුරාධා එදිරිසිංහය.


ප්‍රේක්ෂකයන්ගෙ ගැටලුවම මමත් අහන්නම්කො. අනුරාධා ඇයි පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තේ?


සුසුම් රස්තියාදුව ඉවර වෙලත් මාස 7ක් විතර මගේ නිර්මාණයක් විකාශය වුණේ නැහැ. ඒ කාලය මං නිදහසේ ලංකාව පුරා ඇවිදින්න ගියා. කියන්නත් සතුටුයි ඒ හැම තැනදීම ප්‍රේක්ෂකයන් මගෙන් ඇහුව එකම දේ තමයි ඇයි මේ දවස්වල පේන්න නැත්තෙ කියලා. සමහරු මට කිව්වා දැන් ඔයාව අමතක වෙලත් ඇති කියලා. නැහැ මගේ ප්‍රේක්ෂකයන්ට කවදාවත් මාව අමතක වෙලා නැහැ. ඔවුන් මාව හොයනවා කියලා දැනෙද්දි මට පුදුම සතුටක් දැනුණා. ඒ ආදරේට මාත් ගොඩක් ආදරෙයි. ඔන්න ඔයාලගෙ ප්‍රශ්නෙට උත්තරයක් අරන් ආවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ සතියේ දින පහේම රාත්‍රී 7.30ට විකාශය වන MAIN CHARACTER ටෙලි නිර්මාණයේ මේන් කැරැක්ටර් එක මම. MAIN CHARACTER කතාව වගේම අධ්‍යක්ෂණයත් අක්ෂි නිර්මාණය කළ ශාන් ජයරත්නගේ. මේ ඔහුගේ දෙවැනි නිර්මාණය. නිෂ්පාදනය අමන්දා රණවීර. තිරරචනය ප්‍රියනාත් විදානපතිරණගේ. කැමරාකරණය චානක සංජීව. අපේම ක්ෂේත්‍රය ගැන කියවෙන හරි අපූරු නිර්මාණයක්.


MAIN CHARACTER එකේ අනුරාධා හමුවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමකින්. මොකක්ද මේ වෙනස?


සහස්‍රා කියන චරිතය මගේ සාමාන්‍ය පෙනුමට වඩා හාත්පසින්ම වෙනස්. මං කවදාවත් කොණ්ඩෙට කලර් එකක් දාන්න කැමැත්තක්වත් තිබුණ කෙනෙක් නෙවෙයි. මේ කැරැක්ටර් එකට කොණ්ඩෙට කලර් එකක් දාලා වෙනස්ම අවුට් ලුක් එකක් ගත්තා. මං මේ වගේ එකක් කරලම තිබුණෙ නැති නිසා චරිතයේ ස්වභාවය අනුව යම් යම් වෙනස්කම් කරන්න වුණා. ඒත් මං ශාන්ගෙන් ඇහුවා ඇයි මාවම මේකට තෝර ගත්තෙ කියලා. ඔහු කිව්වෙ නෑ ඔයාම තමයි මේකට හරියන්නෙ, අපි සම්පූර්ණයෙන් වෙනසක් කරල කරමු කියලා. සහස්‍රාගේ සමහර ඇඳුම් ගෙනත් දුන්නම මං කියනවා අනේ ඕක මට හරියන්නෙ නෑ කියලා. එතැනදිත් ශාන් කියන්නේ ඔයාට හරි ගියේ නැතුවට කමක් නෑ සහස්‍රාට ඕක හරියනවා කියලා. කොහොමහරි ඇඳල ෆයිනල් අවුට් පුට් එක බැලුවම හිතාගන්න බෑ. මමම අහනව මේ මම ද කියලත්. ඒ තරම්ම මාව පුදුම කරපු අවස්ථා ගොඩක් තිබුණා. මට හිතුණෙම හෙයාර් ස්ටයිල්, මේක්අප්, ඇඳුම් මට හරියන එකක් නෑ කියලමයි. ඇත්තටම මමවත් විශ්වාස නොකරපු තැන් පවා ඔහු විශ්වාස කළා. ගොඩක් නිර්මාණවල මාව දකින්න ලැබුණේ මේ ඉන්න තත්ත්වයෙන්. ඒත් සහස්‍රා කියන්නෙ වෙනස්ම කෙනෙක්.


සහස්‍රා නිර්මාණය කරන්න ගොඩක් වෙහෙසිලා තියෙනවා. ඒ අත්දැකීම ගැන කතා කළොත්?


ඔව්. හෙයාර් ස්ටයිල්, ඇඳුම්, මේක්අප් විතරක් නෙවෙයි ලොකේෂන්වලට පවා ලොකු වියදමක් දැරුවා. සහස්‍රාගේ එක ෂොට් එකක් වෙනුවෙන් අපි ගාල්ලෙ ගියා. සාමාන්‍ය ඩ්‍රාමා එකක පොඩි බජට් එකකින් ෂූට් එක කරගන්න පෙලඹෙන වෙලාවක ශාන් උත්සාහ කළේ වියදම ගැන නොතකා ප්‍රේක්ෂකයාට හොඳම දේ දෙන්න. ඔහුගේ අදහස ඒ විදිහටම කරගන්න කැමරා අධ්‍යක්ෂ චානක සංජීවගෙන් ලැබුණේ ලොකු දායකත්වයක්. අක්ෂි සෙට් එකේදිත් මං ඒ දේම දැක්කා. මිනිස්සු අතරට යන දේවල් කරන්න ඔවුන් නිතරම උත්සාහ කරනවා. ඔවුන් එක්ක වැඩ කරනවා කියන්නෙ මට වර්ක් ෂොප් එකකට ගියා වගේ. MAIN CHARACTER සෙට් එකට යන්න මං හරිම කැමැතියි. යෂ් තමයි මාත් එක්ක මේන් රෝල් එක කරන්නෙ. ඔහු අවුරුදු 8ක ඉඳන් මගේ හොඳම යාළුවා. අනිත් පැත්තෙන් විලන් විදිහට චානුක ප්‍රබුද්ධ. සෙට් එකේදි මට හිනායන එක නතර කරගන්න තමයි බැරිම. යෂ් ඒක හොඳටම දැන දැනත් මාව හිනස්සනවා. සමහර දවස් තියෙනවා බඩ කොරවෙනකල් හිනාවෙන.


ඔබ අක්ෂි ටෙලි නිර්මාණයේ නිම්මි. අක්ෂි සමහර වීඩියෝ ක්ලිප්ස් සමාජ මාධ්‍යයේ ඉතාම වේගයෙන් සංසරණය වුණා නේද?


ඔව්. අක්ෂි ටෙලි නිර්මාණයේ නිම්මිට අදටත් ප්‍රතිචාර ලැබෙනවා. දවසක් මං වෙඩින් එකකට ගිහින් හෝල් එකට ඇතුළු වෙද්දිම “උඹ හෙන කැතයි යකෝ” කියල කවුද කෑ ගැහුවා. එකපාරටම මං අප්සට් ගියා. පස්සෙ මතක් වුණේ මේ අක්ෂි එකේ සෑහෙන වයිරල් වුණු කෑල්ල නේද කියලා. නිම්මි කියන්නෙ කියන දේ මූණටම කියල දාන කෙල්ලෙක්. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැතුවම හොඳ ප්‍රතිචාර ලැබුණා. නංගිල පෞද්ගලිකව මට මැසේජ් දාල තිබුණා අනේ අක්කෙ අපිට ඔය ටික කියාගන්න බැරුව හිටියේ. දැන් අපට මේක යවන්න පුළුවන් කියලා. පිරිමි ළමයි ඒක ශෙයාර් කරල තිබුණෙ මේ වගේ කෙල්ලෙක් නම් හා කියලා.


අනුරාධා හැමදාම කියන්නෙ විවාහ වුණාම අම්මා වගේ ගෘහිණියක් වෙන්න කැමැතියි කියලනෙ. කවද්ද ඉතින් එහෙම වෙන්නේ?


මං හිතන්නෙ හැමදේටම අදාළ කාලයක් තියෙනවා. ඒ දවස එනකල් කලබල නොකර ඉන්නවා. ජීවිතේ කියන්නේ ක්ෂණිකව වෙනස් වෙන දෙයක්. ඒක මං අත්දුටුවේ මගේ තාත්තගේ මරණයත් එක්ක. ජිවිතයත් එහෙමයි, මරණයත් එහෙමයි. මෙදා වේවි කියලා අපිට කලින් තීරණය කරන්න බෑ. මේ ක්ෂේත්‍රයේ කෙනෙකුට නම් කැමැති නෑ. මං හැමදාම දැක්කේ ගෘහිණියක් විදිහට අපේ අම්මා ගෙදර හැමදේමත් කරගෙන අපේ වැඩක් කරලා, තාත්තගෙ හැමදේමත් හරිම පිළිවෙළට කරන විදිහ. දැනට මං මොන රැකියාව කළත් විවාහයෙන් පස්සේ අම්මා වගේ හොඳ ගෘහිණියක් වෙනවා.


නාමලී ගමගේ



Previous Post Next Post