ලෝක කුසලාන ජයග්‍රහණයේ උණුසුම මැද විරාට් කෝලි පවුල පිටින් රට හැර යයිද?




විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ වීරයා විරාට් කෝලි මේ වන විට එංගලන්තයේ ය. ඔහු බිරිය අනුෂ්කා ෂර්මා සහ දරු දෙදෙනා සමඟ එක්වීමට එංගලන්තයට ගියේ ලෝක කුසලානය දිනා යළි ඉන්දියාවට පැමිණීමෙන් දින දෙකකට පසුවය. ඒ වන විටත් ඉන්දීය ක්‍රීඩාලෝලීන් ලෝක කුසලාන ජයග්‍රහණය සමරමින් සිටි අතර, කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායමටත් ජයග්‍රහණය සැමැරීම සඳහා පැවැති උත්සව රැසකට සහභාගි වීමට සිදු වී තිබිණි. ඒ අතුරින් විරාට් කෝලි සහභාගි වූයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සාදයට පමණි. ඔහු නොඉවසිල්ලෙන් පසු වූයේ ඒ සාදය ඉවර වන තුරුය. කෝලිගේ බිරිය අනුෂ්කා ෂර්මා ඒ වන විටත් සිටියේ ලන්ඩන් නුවරය. ඇය කෝලිට පුතෙකු තෑගි කරනු ලැබුවේ ද ලන්ඩන් නුවරදීය.


පසුගිය ජනවාරියේ අවසන් භාගයේදී සිය දෙවැනි දරු ප්‍රසූතියට ලන්ඩන් නුවරට ගිය අනුෂ්කා යළි පැමිණියේ ද නැත. සෑහෙන කාලයකින් බොලිවුඩ් චිත්‍රපටයකට ගිවිසුම්ගත වූයේ ද නැත. දියණිය වාමිකා සහ අලුත උපන් අකායි පුතණුවන් සමඟ අනුෂ්කා ලන්ඩන් නුවර ජීවත් වෙමින් සිටින්නේ මාස කිහිපයක සිටය. කෝලි පසුගියදා මුම්බායි ගුවන්තොටුපොළෙන් ලන්ඩනය බලා ගියේ සිය පවුල සමඟ එක්වීමටය.


ලෝක කුසලානයේ සතුට සමරමින් සිටියදී කෝලි හිටිහැටියේම රට හැර යෑම ඉන්දියාවේ සෑහෙන කසුකුසුවක් ඇති කිරීමට සමත් වූ එකකි. ඇතැමුන් කියන්නට වූයේ ඔවුන් සදහටම ලන්ඩනයේ පදිංචි වනු ඇති බවකි. තවත් සමහරුන්ගේ අදහස වූයේ සෑහෙන කාලයක් තිස්සේ ක්‍රිකට් පිටියේ අවිවේකී ජීවිතයක් ගත කිරීම නිසා මඟහැරුණු පවුලේ වගකීම් කරපින්නා ගැනීමටත්, දරුවන් සමඟ, විශේෂයෙන් අලුත උපන් පුතු අකායි නිදහසේ සුරතල් කිරීමට හා වැඩි කාලයක් සිඟිත්තා සමඟ ගත කිරීමට නිදහස් තැනක් සොයා ගිය බවය.


අනිත් අතට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් තරගය දක්වාම ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ කෝලි සාර්ථක වූයේ අවසන් තරගයේදී පමණි. ඒ ව්‍යාකූල මානසිකත්වයත් ඔහුට වද දෙන්නට ඇත්තේ බිරිය හා දරු දෙදෙනා ළඟ නොසිටීම නිසා බව ඔහුගේ සමීපතමයෝ කියති. අනිත් අතට ලෝක කුසලානය දිනා ගත් සැණින් ඉන්දීය පිලට යළි මවුබිමට පැමිණීමට කොදෙව් කාලගුණය ඉඩ දුන්නේ ද නැත. බෙරිල් චණ්ඩ මාරුතය මුළු කොදෙව් දේශයම උඩුයටිකුරු කර තිබූ අතර, බාබඩෝස් ගුවන්තොටුපො‍ෙළ් පැය 12කට අධික කාලයක් නිකරුණේ බලා සිටීමට ද ඔවුන්ට සිදුවී තිබිණි. ඒ කාලය ඇතුළත කෝලි නම් වැඩිහරියක් සිටියේ ලන්ඩන් නුවර සිටින බිරිය හා දරු දෙදෙනා සමඟ වීඩියෝ දුරකතන සංවාදයේය. ඊළඟට පැය 16ක දීර්ඝ ගුවන් ගමනකි.


කොහොමටත් විරාට් කෝලිට දිගු විවේකයක් අවශ්‍ය වී තිබූ බවත්, ඔහු විස්සයි20 පිටියෙන් සමුගත්තේ ද එනිසා බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. කෝලි රටින් පිටවීම හදිසියේ සිදුවූ දෙයක් නොව එය ඔහු කලින් සැලසුම් කර තිබූ සංචාරයකි. සැබෑව නම් විවේකයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාවක් කෝලිලාට ඉන්දියාවේ කොහෙත්ම නොතිබීමය. පෞද්ගලිකත්වයක් කොහෙත්ම නැත. ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුව ලෙස අතිශය ජනප්‍රිය ජීවන රටාවකට හිමිකම් කියන කෝලිට එවැනි විවේකයක් ලැබීමට රටින් පිට යා යුතුවම තිබිණි. විරාට් කෝලි මීට වසර දෙක තුනකට පමණ පෙර ඉන්දියාවේදී ආසාවට ස්කූටරයක් පදවාගෙන ගිය අතර, මොහොතක් ගත වන විට ඒ පසුපස තවත් ස්කූටර් සිය ගණනක් හඹා එන්නට විය. ඊළඟට කිසිවකු ඔහුගේ හෝටල් කාමරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර තිබිණි. දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ නිතර නිතර සැරි සරන්නට විය. මේවා කෝලිගේ සිතට බර වැඩි වූ දේවල්ය. කෝලිම කියන ආකාරයට වසර 2008 සිට ජාතික කණ්ඩායමේ රාජකාරියට එක්වූ ඔහු මේ වන විට වසර 16ක් තිස්සේ වැඩි හරියක් සිටියේම පිටියේය. ගත වූ මේ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ඔහු ටෙස්ට් තරග 113කට, එක්දින තරග 292කට සහ විස්සයි20 තරග 125කට ක්‍රීඩා කර ඇති අතර, ශතක 29ක් සමඟ ටෙස්ට් ලකුණු 8848ක් ද, ශතක 50ක් සමඟ එක්දින ලකුණු 13848ක් ද, ශතකයක් සමඟ විස්සයි20 ලකුණු 4188ක් ද රැස් කරමින් සිය කණ්ඩායමට 100%ක් නොව 200%ක්ම දායකත්වයක් ලබා දී තිබේ. එවැනි ක්‍රීඩකයකුට විවේකයක් අවශ්‍යමය.


ඔහු කාලයක් තිස්සේ පසුවන්නේ ජනතාවගේ අවධානයෙන් මිදී නිදහස් ජීවිතයක් ගත කිරීමේ සිහිනය දකිමිනි. ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු ගත කරන ජීවිතය ගැන ඔහු දැනටමත් සැලසුම් කර හමාරය. තවමත් පිටියේ රැඳී සිටියද ඔහු ජීවත් වන්නේ ඒ සිහිනය තුළය.


“ක්‍රීඩාවෙන් සමුගත්තාට පස්සේ මම යනවා යන්න කාටවත්ම දකින්න බැරි තැනකට. දැනට මම මගේ හැම දෙයක්ම ක්‍රීඩාව වෙනුවෙන් කැප කරනවා“ ඔහු මෑතකදී රූපවාහිනී ක්‍රීඩා නාළිකාවකට එසේ කීවේය.


අනික කෝලි පවුල් පිටින් ලන්ඩනයට ගිය පළමු අවස්ථාවත් මෙය නොවීය. මීට පෙර ඔවුන් අවස්ථා ගණනාවකදීම නිවාඩුව ගත කළේ ලන්ඩන් නුවරදීය. බිරිය හා දරු දෙදෙනා ලන්ඩනයේ පදිංචිව සිටින්නේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමටත් පෙර සිටමය. පෙනෙන හැටියට කෝලි සිය දියණිය වාමිකාටත්, පුත්‍රයා අකායිටත් ජීවත්වීමට සුදුසු පරිසරය ඇත්තේ ලන්ඩන් නුවර බවට තීරණය කර ඇති හැඩකි. කෝලි මෙවර ලන්ඩනයට ගියේ දැනට එහි පදිංචිව සිටින බිරිය හා දරු දෙදෙනා සමඟ එක්වීමට පමණක් නොව එහි නිත්‍ය පදිංචිය සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු සූදානම් කිරීමට ද විය හැකිය. එහෙත් අනාවැකි පළ කිරීමට තරම් දැන් වේලාසන වැඩිය. විරාට් කෝලි තවමත් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහස් කර නැත.


ෆවුස් මොහොමඩ්



Previous Post Next Post