රංගනය කියන්නේ ලස්සනට ඉඳගෙන දෙබස් කියන එක නෙවෙයි - ක්ලීටස් මෙන්ඩිස්




දුෂ්ටයාගේ පිළිබිඹුවක දීර්ඝ කාලීන සන්නාමයකට උරුමකම් කියන අතිශය ගෞරවනීය රංගවේදියකු වන ක්ලීටස් මෙන්ඩිස් වූ කලී කැමරාව ඉදිරියේ දුෂ්ටයා වුණත් සැබෑ ජීවිතයේ නම් නිහතමානී ආදරණීය චරිතයක්. සිය උත්කෘෂ්ට රංගනයෙන් වේදිකාව, ටෙලි නාට්‍ය කලාව මෙන්ම සිනමාවද එකලු කළ ඔහු සිය ජීවිතයේ රසබර මතක ගොන්නක් අප සමඟ කියා පෑවේ මෙලෙසින්. ඉතින් මේ දිනවල ඔබේ වැඩකටයුතු ගැන මතක් කළොත්?


බහරේන්වල පැවැති සංගීත ප්‍රසංගයකට ගිහින් ඇවිත් සුළු විවේකයක් ගත්තා විතරයි. ඒත් ඒක දීර්ඝ විවේකයක් නම් නෙවෙයි. කොච්චර කාර්යබහුල වුණත් හරිම සතුටින් කාලය ගත කරමින් ඉන්නවා.


ආශ්චර්යයෙන් යුත් දේව මාතාවෝ සිනමා පටය ඔබගේ ජීවිතයේ සුවිශේෂීම කඩයිමක් නේද?


අනේ ඇත්තටම මට ලැබුණු විශාල භාග්‍යක් විදියට  තමයි මම මෙම සිනමා පටය දකින්නේ. ඒක අති උතුම් පාප්වහන්සේගේ චරිතය තමයි මට කරන්න ලැබුණේ. සිනමා පටය පුරාවටම ඒ චරිතය නොමැති වුණත් ඒ චරිතයට සම්බන්ධ වෙන්න ලැබීම මට දැනෙන්නේ ඒක මට ලැබිච්ච වාසනාවක් විදියට. ඒ පල්ලියට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් තමයි ඒ සිනමා පටය නිර්මාණය වුණේ. මේ චරිතය ගැන මම රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා එක්ක කීවාම එතුමා කීව දෙයක් තමයි ‘ක්ලීටස් ජේසුස් වහන්සේගේ


චරිතය ලෝකේ හැම රටකම කරලා තිබෙනවා. පාස්කු නාට්‍යයක් විදියට. නමුත් පාප්වහන්සේගේ චරිතය නම් මම එහෙම දැකලා නැහැ. නමුත් ක්ලීටස්, ඒ වාසනාව ඔබට ලැබිලා තිබෙනවා.” කියලා. ඇත්තටම ඒක මගේ රංගන ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක්. රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා මතක් කළ නිසාම මට කියන්න තව සුවිශේෂිතම කාරණාවක් කියන්න ඕනේ ඇත්තටම මගේ රංගන ජීවිතය වගේම සාමාන්‍ය ජීවිතය පවා නිසි මාර්ගයකට ගන්න එතුමාගෙන් මට ලැබුණ පන්නරය අති විශාලයි. රංගන ජීවිතය හරි ලස්සනට ගොඩනඟා ගන්න ඕන විදිය එතුමා මට ගුරු මුෂ්ටියකින් තොරව කියලා දුන්නා.


සිනමාව තුළ දුෂ්ටයා වෙලා හිටියත් ඔබ වරෙක මනමේ කුමාරයාගේ චරිතය රඟපෑවා නේද?


ඔව්… මම ඇත්තටම ඒක මතක් කරන්නම ඕනා. පසුගිය දවසේ පාප්වහන්සේගේ චරිතය රඟපාන්න ලැබුණා වගේම මනමේ චරිතයට රඟපාන්න ලැබීමත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විදියට සලකන්න පුළුවන්. ඒ චරිතයට ඩොක්ටර් සරච්චන්ද්‍ර මට ආරාධනා කරද්දී ඇත්තටම සිනමාවේ දුෂ්ටයාගේ චරිතම කරලා හෙම්බත් වෙලා හිටියේ. ඒ කාලේ  මම ජුලියර් සීසර් කියලා වේදිකා නාට්‍යයක රඟපෑවා. ඒ නාට්‍ය බලන්න ඇවිත් හිටපු සරච්චන්ද්‍ර සර් මගේ චරිතය දැකලා එතුමා මාව මනමේ චරිතයට තෝරා ගත්තා. ඇත්තටම එම සිදුවීම මගේ සිනමා ජීවිතයේ වගේම වේදිකා ජීවිතයේත් සුවිශේෂී සංධිස්ථානයක් විදියට දකින්න පුළුවන්.


ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය බවට පත්වුණු චරිත ගැන මතක් කළොත්?


එහෙම චරිත නම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් ආසන්නම කාලයේදී රඟපාපු ආශ්චර්යයෙන් යුක්ත දේව මාතාවෝ සිනමා පටයේ අති උතුම් පාප්වහන්සේගේ චරිතය, එතැනින් එහාට මනමේ කුමාරයාගේ චරිතය, විරාගය චිත්‍රපටයේ රඟපෑම සහ කඩුල්ල ටෙලි නාට්‍ය රඟපෑමත් ඒ අතරින් සුවිශේෂීතම ඒවා විදිහට සලකන්න පුළුවන්.


ප්‍රවීණ සහ දැවැන්ත රංගන ශිල්පියෙක් විදියට කලාකරුවා ඇගයීම එහෙමත් නැත්නම් සම්මාන ප්‍රදානය කිරීම ගැන ඔබේ කියවීම දැන ගන්න කැමැතියි?


රංගන ශිල්පියෙක්ට සම්මානයක් තරම් වටින තවත් දෙයක් නෑ. සම්මානය කුමක් වුවත් ඒක මම දකින්නේ හොඳම සම්මානය විදියට තමයි. හැබැයි දුෂ්ටයාගේ චරිතයම වැඩිපුර රඟපාපු නිසාමද දන්නෑ මම නම් සිනමා උළෙලවල්වලදී සම්මානවලට පාත්‍රවෙලා තිබෙන්නේ හරිම අඩු ප්‍රමාණයක්. සරසවි සම්මාන උළෙලකදී ඇත්තටම රංගන ශිල්පියෙක්ට කවදාවත් අත්නොවිඳිය යුතුම කලකිරීම් සහගත අවස්ථාවකට මම මුහුණ දුන්නා. ඒක මම කියන්නම ඕනේ. මම රංගනයෙන් දායක වුණ රන්දෙණිගල සිංහයා සිනමා පටය තුළින් නිර්දේශ වෙලා තිබුණා හොඳම සහාය නළුවට. ඉතින් සම්මාන උළෙලට හරි සතුටින් සහභාගි වුණා. නමුත් අන්තිම මොහොතේ මගේ නම ඉවත් වෙලා වෙන කෙනෙක්ට සම්මානය දුන්නා. ඒක හරිම කලකිරීම් සහගත අවස්ථාවක්. සම්මානය කෙසේ වෙතත් ප්‍රේක්‍ෂකාගාරයේ ආදරය එදා සිට අද දක්වාම නොඅඩුව ලැබීම මට ලැබුණු සුවිශේෂිතම සම්මානය විදිහට තමයි මම දකින්නේ.


ක්ලීටස් මෙන්ඩිස් කියන්නේ රංගන ශිල්පියෙක් වගේම හොඳ දක්‍ෂ ගායකයෙක් නේද?


ඔව්. මම මුලින්ම විජය කුමාරතුංග මහත්මයට තියෙන ආදරය නිසා එතුමාගේ ගීත ගායනා කළා. එතුමා නැති වුණාට පස්සේ මම “විජය ගී සර” කියලා ප්‍රසංගයකුත් කළා. එතැනදී මම කලාකරුවන් සියලු දෙනාටමත් ආරාධනා කරලා චන්ද්‍රිකා මැඩම්ටත් ආරාධනා කළා. එම ප්‍රසංගයෙන් පස්සේ විජයගේ සිංදු කියන්න මට ආරාධනා ලැබුණා දිගටම. පස්සේ කාලෙකදී මම විජය – ජෝති කියලා පැදුරු සාජ්ජායක්ද කළා.


එදා දේශපාලනයට අවතීර්ණ වීම ගැන දැන් ඔබේ හැඟීම මොකක්ද?


ඔව්. 2000 අවුරුද්දේ මම දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඒක අහම්බෙන් වුණු සිදුවීමක්. විජය අයියාගේ අභාවයත් සමඟ දේශපාලනය ගැන ප්‍රබල කලකිරීමකින් ඉන්න අවධියක තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. චන්ද්‍රිකා මැඩම් මට තනතුරක් භාරදීලා මට කීවෙ “එක දෙයක් තමයි ක්ලීටස් උතුරු කොළඹ බොහෝ අසරණ මිනිස්සු ඉන්නවා. හිටපු සංවිධායකවරු මේ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. නමුත් මේ අයට දෙයක් කරන්න ඕනෑ” කියලා. එතැනදී මම මැඩම්ට කීවා පක්‍ෂ භේදයකින් තොරව වැඩ කරන්න අ

වසර දෙනවා නම් මම මේක කරන්නම් කියලා. ඒ අවසරයෙන් මට පුළුවන් වුණා උතුරු කොළඹ මිනිසුන්ගේ ජීවිතවලට යම්කිසි ආලෝකයක් වෙන්න.


නවක රංගන ශිල්පීන් හට ඔබට කියන්න යමක් තිබෙනවාද?


කැමරාව ඉදිරිපිට ආකර්ෂණීයව පෙනී ඉඳලා දෙබස් කීමට එහා ගිය බොහොම ගැඹුරු හැදෑරීමක් සහිත කාර්යයක් රංගනය කියන්නේ. හැම රංගන ශිල්පියකුටම තමන් සතු අනන්‍යතාවක් තිබිය යුතුයි. හොඳම රංගන ශිල්පීන් හැම කෙනෙක්ටම පාහේ එකිනෙකට වෙනස් වුණු සුවිශේෂීත්වයක් සහ ප්‍රතිභාවක් තියෙනවා. ඒ තැනට එන්න නම් අනිවාර්යයෙන්ම හැදෑරීමක් තිබිය යුතුයි. සිනමා රංගන ශිලපියෙක් වෙන්න පහසු නැහැ.  දීර්ඝ කාලයක් චරිතයට පුහුණුවීම් කරලා තමන්ව අමතක කරලා තමන්ගේ පෞද්ගලික වටපිටාවේ සියලුම දේවල් අමතක කරලා චරිතයට කැප වෙන එක, අවදානම ගන්න එක ලේසි පහසු නැහැ. සිනමා චරිත විශිෂ්ට ලෙස නිරූපණය කරන එක ලේසි පහසු නැහැ. කොයි තරම් චරිතයකට මහන්සි වුණත් චිත්‍රපට තිරගත වූ පසුව එන විචාර, විචේචන දරාගෙන ඉන්න එක පහසු නැහැ. මේ වගේ රටක ඉතාම අඩු පහසුකම් යටතේ, ඉතාම අවම ගෙවීම් යටතේ රංගන ශිල්පියකු ලෙස ජීවත් වීම ලේසි පහසු නැහැ. එදා සිට අද දක්වා මේ ආකාරයෙන් අපේ සිනමාව පවත්වාගෙන එන්න වෙහෙසුණු, කැපවුණු සියලු රංගන ශිල්පීන්ට මගේ ආචාරය, ගෞරවය සහ ආදරය පුද කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.


ලක්මාලි නදීෂා




Previous Post Next Post