හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කගේ චරිතයෙන් කලා ලෝකයට ආපු මියෝනා ද සිල්වාගේ හැසිරීම සහ විලාසිතා සම්බන්ධව විවේචන රැසක් ඇයට විරුද්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල එල්ලවෙලා තියනවා. ඉතින් ඒ විවේචන ගැන සහ ඒවට පිළිතුරු මියෝනාගෙන් අපි අහලා බැලුවා.
පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මියෝනා රටම දන්න නිළියක් වුණා...
ඔව්. නිතර දකින බොළඳ ටෙලි නාට්‍යවලට වැඩිය තරුණ පරම්පරාවේ හැඟීම් ගැන කතා කරන ලස්සන ටෙලි නාට්‍යයක් විදිහට තමයි හිරිපොද වැස්ස නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ නිසා කෙටි කාලයකින් ප්‍රේක්ෂකයෝ අතරට යන්න මට අවස්ථාව ලැබුණා.
ඉක්මනින් ප්‍රසිද්ධ වුණ නිසා ආඩම්බර වෙලාද?
සිංහල කතා කරන්න පුළුවන්කම තියෙද්දි පොෂ් කියලා පෙන්නන්න ඉංග්‍රීසි වචනවලින් කතා කරන ආඩම්බරකාරියක් කියලා සමාජ මාධ්‍යවල මේ දවස්වල මම ගැන ප්‍රසිද්ධ වෙලා තියනවා. ඒ වගේම බුදු දහම ඇදහීම ගැන මම වැඩසටහනක කියපු දෙයක් ගැනත් මේ දවස්වල මඩ ප්‍රචාරයක් යනවා. මම ඉපදුණෙ මහනුවර ප්‍රදේශයේ. සිංහල බෞද්ධ පවුලකින් පැවැත එන්නෙ. ඉතින් මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මම හැමෝම එක්ක හොඳින් කතා කරලා සුහදශීලීව ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් අපි හැමෝම සිංහල කතා කරනකොට ඉංග්‍රීසි වචනයක් දෙකක් ඉබේම කතා කෙරෙනවා. ඒක තමයි වැරැදි කෝණයකින් අල්ලගෙන පොෂ් ආඩම්බර කෙනෙක් කියලා මාව හඳුන්වන්නෙ. පදිංචිවෙලා ඉන්නෙ මහනුවර නිසා නිතරම දළදා මාලිගාවට ගිහින් පැය හයක් ගාථා කියලා වඳිනවා කියලා මම වැඩසටහනක කිව්වා. ඉතින් සමහරු ප්‍රශ්න කරලා තිබුණා පැය හයක් කවුද ගාථා කියන්නෙ කියලා. බුදු දහම අදහනවා කියලා පෙන්නන්න මම බොරු කියනවා කියලා. අදහන බුදු දහම ගැන මම කවදාවත් බොරු කියන්නෙ නැහැ. මම කියපු ඒ හැමදෙයක්ම ඇත්ත. ඉඩක් ලැබුණ හැම වෙලාවකම මම දළදා මාලිගාවට ගිහින් පැය හයක් ගාථා කියලා වඳිනවා. ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්න එපා.
ඇයි මේ විදිහට මඩ ගහන්නෙ?
කෙනෙක් වෘත්තියකින් ඉස්සරහට යනකොට දරාගන්න බැරුව ඊර්ෂ්‍යාවට මඩ ගහන එක සාමාන්‍ය දෙයක්. ඒ දේවල් ගැන හිතලා මානසිකව වැටුණොත් මඩ ගහපු අයගේ අරමුණ ඉෂ්ට වුණා වෙනවා. ඉතින් ඒ නිසා එල්ලවෙන මඩ ගැන මම වැඩිය හිතන්නෙ නැහැ. මොකද මට ගමනක් තියෙනවා. ඒ ගමන මම මගේ පාඩුවේ යනවා. කාටවත් මාව වට්ටන්න බැහැ.
මියෝනාට අනුව මියෝනා කවුද?
සමහරු හිතනවා මම පොෂ් ඉංග්‍රීසි කතාකරන තුන්වේලම තරු පහේ හෝටල්වලින් කනබොන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. හැබැයි මම සරලව සාමාන්‍ය විදිහට සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත්වෙන අනිත් අය එක්ක තරහා ගන්නෙ නැතුව ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව නිතරම සුහදශීලීව ඉන්න කෙනෙක්. සරලව කිව්වොත් පෙට්ටි කඩෙනුත් කෑම කාලා මහපොළොවේ මිනිස්සු එක්ක ජීවත්වෙන කෙනෙක්.
පහුගිය දවස්වල පැවැත්වුණ Mrs. Sri Lanka World 2024 තරගයේදී මියෝනා සැරසිලා හිටිය ඇඳුම ගැනත් සමාජ මාධ්‍යවල කතාබහ වෙනවා...
නිළියක් වෙන්න කලින් ඉඳලා මම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. ඉතින් පහුගිය දවස්වල පැවැත්වුණ Mrs. Sri Lanka World 2024 තරගය නරඹන්න මම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී අරෝෂ් ජයනාත අයියට කියලා ඇඳුමක් නිර්මාණය කරගත්තා. ඒක ටිකක් උඩුකය පපු ප්‍රදේශය විවෘතව සහ කකුල් පෙනෙන විදිහට පළපු අලුත් විදිහෙ ඇඳුම් විලාසිතාවක්. ඉතින් ඒ විලාසිතාවට මාව ලස්සනයි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. ඒ වගේම විලාසිතා ගැන මාව විවේචනය කරපු අයත් උන්නා. ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් නිසා ඒ ගැන මම අදහස් දක්වන්නේ නැහැ. මම කැමැති විදිහටයි මම අඳින්නේ. කොහොමටත්ඇඳලාඉන්නේ හැකි නිසා කවුරුත් ඒ ගැන වැඩිය හිතන්න එපා.
Mrs. Sri Lanka World 2024 තරගය නරඹන්න ඇවිත් මියෝනා නිරුවත පෙන්නනවා කියලා විවේචන තිබුණා...
නිරූපිකාවක් විදිහට කලාත්මකව විලාසිතා කරනවා මිසක නිරුවත එළියට පෙන්නන්න මම කවදාවත් උත්සාහ කරන්නෙ නැහැ. නිරූපණය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අය තමයි මම නිරුවත පෙන්නනවා කියලා විවේචනය කරලා තිබුණෙ. නිරූපිකාවක් විදිහට තැනට සුදුසු විදිහට ඕනෑම විලාසිතාවක් කරනවා. ඉතින් Mrs. Sri Lanka World 2024 තරගය විශේෂ උත්සවයක් නිසයි ඒ විදිහෙ ආකර්ෂණීය ඇඳුමක් ඇන්දෙ.
ළඟදි නිකුත් වෙන්න තියෙන මියෝනා නර්තනයේ යෙදෙන මියුසික් වීඩියෝවක් ගැනත් අඩනිරුවත් චෝදනා එල්ලවෙනවා නේද?
ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ගායනා කරන නර්තනී මියුසික් වීඩියෝවේ මම රඟපෑවා. මේ වෙද්දී ඒ මියුසික් වීඩියෝවෙ පූර්ව ප්රචාරක පටය අන්තර් ජාලයට නිකුත් කරලා තියනවා. ඉතින් සමහරක් අය ඒ පූර්ව ප්රචාරක පටය නරඹලා නිගමනයට ඇවිත් තියනවා මම ඒ මියුසික් වීඩියෝවෙ අඩ නිරුවතින් නටන සරාගිනියක් කියලා. ඇත්තටම රොෂාන් ප්‍රනාන්දුගේ නර්තනී මියුසික් වීඩියෝව ලස්සන කලාත්මක නිර්මාණයක්. පූර්ව ප්රචාරක පටය විතරක් බලලා අඩ නිරුවතින් නටන සරාගිනියක් කියලා තීරණය කරන්නෙ නැතුව සම්පූර්ණ මියුසික් වීඩියෝව නරඹලා තීරණයකට එන්න කියලා මම ඒ අයට ආරාධනා කරනවා. හැම දෙයක්ම මතුපිටින් බලලා තීරණය කරන්න එපා.
මියෝනට නටන්න පුළුවන්ද?
ඔව්. පුංචි කාලෙ ඉඳලා මම නර්තනය ප්‍රගුණ කරලා තියනවා. Belly dance ශෛලිය තමයි වැඩිපුර ප්‍රගුණ කරලා තියෙන්නෙ. Belly dance කියන්නෙ සංගීත රිද්මයට අනුව උඩුකය සහ ඉඟ ප්‍රදේශය නර්තනයේ යෙදවීම. Belly dance වෙනස් නර්තන ශෛලියක් නිසා මට ඒ ගැනත් විවිධ විවේචන ලැබිලා තියනවා. හැබැයි විවේචනවලින් වැටෙන්නෙ නැතුව දිගටම නර්තන කටයුතු කරගෙන යනවා.
හැමදේටම එල්ලවෙන විවේචනවලට මුහුණ දෙන්නෙ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා මම හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව ජීවත්වෙන ගෑනු ළමයෙක්. ඉලක්කයක් තියාගෙන නිවැරැදි දේ කරනවා නම් කාගෙවත් විවේචනවලට බයවෙන්න ඕන නැහැ. දිගින් දිගටම එල්ලවෙන විවේචනවලට කලබල වෙන්නෙ නැතුව මුහුණ දෙන හැටි දැකලා දවසක් යාළුවෙක් මට ලස්සන කතාවක් කිව්වා. දළදා මාලිගාවේ ඇතා පිට ධාතු කරඬුව වඩම්මවනකොට දෙපැත්තෙ ඉන්න ඇත්තු දෙන්නා කරදර කරද්දි ධාතු කරඬුව වඩම්මවන ඇතා කලබල වෙන්නෙ නැතුව පරිස්සමින් ධාතු කරඬුව වඩම්මවනවා වගේ මමත් එල්ලවෙන විවේචනවලට කලබල වෙන්නෙ නැතුව ඉලක්කයක් ඇතුව පරිස්සමින් ඉදිරියට යනවා කියලා.
මියෝනාගේ ඉලක්කය මොකක්ද?
ඕනෑම චරිතයක් කරන්න පුළුවන් චාරිතාංග නිළියක් වෙන එක සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික රූ රැජන තරගයට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කිරීම තමයි මගේ ඉලක්කය. ඒ ඉලක්කය ජයගන්න හැදෑරීමකුත් එක්ක හොඳ ආත්ම විශ්වාසයක් මට තියනවා. ඒ නිසා මම මේ ගමන බොහොම පරිස්සමින් යනවා. එන ඕනෑම චෝදනාවකට මුහුණ දීලා ශක්තිමත් කෙනෙක් හැටියට සමාජයට මුහුණ දෙනවා.