අසේනිලා අපේ සමාජය ඇතුළෙ අප්‍රකටව සැරිසරනවා-රෙබෙකා දිල්රුක්ෂි




තම රංගන ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂක සන්තානය කැලඹූ ඇය තම අනන්‍යතාව කලා ක්ෂේත්‍රය තුළ තහවුරු කරගත් කලාකාරිනියක්. තම ශක්‍යතාව විහිදාලමින් එකිනෙකට වෙනස් රංගනයන් තුළ නිරත වෙමින් තම අසහාය රංගනයෙහි  පරාසය ප්‍රේක්ෂකයාට වටහා දෙන අෑ දක්ෂ රංගන ශිල්පිනියක්. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රෙබෙකා දිල්රුක්ෂි. ඔබේ රංගනයේ තිඹිරිගෙය වේදිකාව, මේ ගැන කතා කරමු.


වේදිකාව තමයි මගේ මුල්ම වැඩබිම. දේවල් හොයන්න ආසාවක් ඇති වෙන්නේ, දේවල් ගැන අත්දැකීමක් ලබාගන්නේ. ඒ වගේම රංගනය මොන වගේද කියන එක ආදී දෙය මම  හ¾දුන ගන්නේ වේදිකාවෙන්.


මේ දිනවල විකාශය වන ටේක් කෙයාර්වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මම හිතුවේ නැහැ මට මෙච්චර ආදරේ කරන මිනිස්සු පිරිසක් සිටිනවා කියලා. මට විතරක් නෙවෙයි මිනිසුන්ට දැනෙන දෙයක් කළොත් ඒ කියන්නේ හොඳ නිර්මාණයක් කළොත් ලැබෙන ප්‍රතිචාරත් ඉතාම හොඳයි කියන එක මට මේ නිර්මාණයට සම්බන්ධවීමෙන් වැටහුණා.


ටේක් කෙයාර්වල ඔබට පණපොවන්න ලැබෙන්නේ සාම්ප්‍රදායික ස්ත්‍රියකට. මේ ගැන ඔබේ අදහස


මට මේ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැනුණ දෙයක් තමයි මේ චරිතය වගේ ගොඩක් අය මේ සමාජය ඇතුළේ,  පවුල ඇතුළේ අප්‍රකටව සැරිසරනවා කියන එක. මේ චරිතය ගොඩනඟලා තිබෙන්නෙ අපි මේ කතා කරන සමාජය ඇතුළෙන්මයි.


ඔබ රංගනයෙන් දායක වුණ සිහින සමීකරණ මේ දිනවල තිරගත වෙනවා. ඒ ගැන කියනවා නම්


සිහින සමීකරණ චිත්‍රපටයට මට ආරාධනා ලැබෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ශෂික හේරත්ගෙන්. මටත් වඩා ඔහු මාව විශ්වාස කරලා මේ චරිතය මට කරන්න දෙනවා. ඉතින් මම බොහොම සතුටින් මේක භාර ගන්නවා.  මෙය තමයි  මම  ප්‍රධාන චරිතයක් කරන පළමු වැනි  චිත්‍රපටය. මේ චිත්‍රපටය මීට අවුරුදු හතරකට පහකට කලින් තමයි නිර්මාණය වෙන්නේ. ඒත් මේ චිත්‍රපටය තුළ කතා කරන මාතෘකාව අදටත් වලංගුයි.


අද ලෝකයේ බිහිවෙන බොහෝ චිත්‍රපටවල පෙර පැවැති සරාගී ළඳ බොළඳ ස්ත්‍රී මොඩලය දකින්න නැහැ. ඔබ මේ විපරිනාමය දකින්නේ කොහොමද?


තාක්ෂණය දියුණුවත් එක්ක මීට අවුරුදු 10කට කලින් තිබුණ  මයින්ඩ් සෙට් එක නෙවෙයි දැන් තිබෙන්නේ. ඒ වෙනස්වීමත් එක්ක ප්‍රේක්ෂකයෝ නිර්මාණවලදීත් යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ හේතුව නිසාම ඔය කියන සරාගී ළද බොළඳ මොඩලය වෙනස්වීමකට භාජනය වෙලා තිබෙනවා.


රෙබෙකා කෙටි චිත්‍රපට රාශියකට රංගනයෙන් දායකත්වය සැපයුවා. කෙටි චිත්‍රපට කියන කලා ප්‍රවර්ගය  පිළිබඳ ඔබේ අදහස?


කෙටි චිත්‍රපට කියන්නෙත් දිගු චිත්‍රපට වගේම මහන්සි වෙන්න ඕන ප්‍රපංචයක්. කාලය කෙටි වුණාට එහි අදහස කෙටිත් නැහැ. සරලත් නැහැ. සමහර වෙලාවට අනිත් දේවල්වලට වඩා කෙටි චිත්‍රපටයකට මහන්සි වෙන්න වෙනවා. ඒ සීමාසහිත කාලය ඇතුළේ හරිම අදහස ප්‍රේක්ෂකයාට දෙන්න ඕන නිසා. මම කෙටි චිත්‍රපටවලට නිර්මාණයෙන් දායක වුණෙත් ඒක කෙටි චිත්‍රපටයක් කියලා හෝ අත්හදා බැලීමක්   කියලා හිතාගෙන නෙවෙයි.


ස්ත්‍රීවාදය පිළිබඳව ඔබේ අදහස?


ස්ත්‍රීවාදය බිහි වෙන්්නෙ දහනවය විස්ස සියවසේ බටහිර ලෝකය කේන්ද්‍රකර ගනිමින්.


ලංකාව ඇතුළේ මේ වෙනකොට ස්ත්‍රීවාදය ගැන අදහස් දක්වන්නේ ලිබරල් අදහස් තිබෙන එහෙම නැත්නම් නිරාගමිකයි කියලා කියන  කොට්ඨාසයක්. ඔවුන් ලාංකේය සංස්කෘතිය ප්‍රශ්න කරන පිරිසක් නිසාම ස්ත්‍රීවාදය ගැන කතා කරන එක  අනෙක් අයට විහිළුවක් බවට පත්වෙලා. හැබැයි එහෙම කියලා කොන්දේසි විරහිතව ඒක භාරගන්නත් බැහැ. අයින් කරන්නත් බැහැ.


වත්මන් ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියන් රැඩිකල්කාමී රංගනයන් සිදු කරනවා.


ඔබ මෙය දකින්නේ කෙසේද?


රැඩිකල් කියන්නේ යමක් පවතින විධිය මුලින්ම ගලවලා දාලා නැවතත් සකස් කිරීමක් වගේ දෙයක්. රැඩිකල්  සිනමාකරුවෙක් හෝ රංගන ශිල්පිනියක් හෝ කවුරු හෝ වේවා තම නිර්මාණය ඇතුළේ උඩුගං බලා යනවා වගේම කලාව වෙනුවෙන් අලුත් යමක් කරනවා නම් මම හිතන්නේ නැහැ රැඩිකල් වීම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


ක්‍රියාකාරී දේශපාලනය ගැන මං කිසිම අදහසක් දක්වන්නේ නැහැ. කලාකරුවෙක් කියන්නේ සමාජයේ  සංසිද්ධීන් විනිවිද දකින්න පුළුවන් කෙනෙක්. එතකොට කලාකරුවාගේ කාර්ය කලා නිර්මාණයක් කරලා ජනතාව තෘප්තිමත් කිරීම පමණක්ම නෙවෙයි. සමාජ-දේශපාලන අර්බුද ඉදිරියේදී කලාකරුවා නිහඬ වීම මං අනුමත කරන්නෙත් නැහැ. වත්මන් සමාජයේ පවතින සමාජ-දේශපාලනික-ආර්ථික පැවැත්ම ගැන හොඳ අවබෝධයක් කලාකරුවන්ට තිබීම  අවශ්‍යයි.


ඔබ කැමැතිම අධ්‍යක්ෂවරිය සහ නිර්මාණය ගැන කියනවා නම්?


Anatomy of a fall තමයි මම කැමැතිම නිර්මාණය. එය  අධ්‍යක්ෂණය කරේ ජස්ටින් ට්‍රයට් (Justine Triet). මම දකින විධියට මෙහි පිටපත බොහොම දරුණු පිටපතක්. ඒත් මෙහි රූප පෙළගැස්වීම අලංකාරව කරලා තිබෙනවා.


ඔබ කැමැතිම කතුවරිය හෝ කතුවරයා කවුද?


මං කැමැතිම කතුවරයා මංජුල සේනාරත්න.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


ඉදිරියේදී චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ප්‍රියන්ත ෆර්නෑන්ඩොගේ නාට්‍ය දෙකක රූපගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. ඒ වගේම සේනාන් විමලවීරගේ අලුත් නාට්‍යයේ රූපගත කිරීම් සිද්ධ වෙනවා.


ගිහාන් සචින්ත






Previous Post Next Post