රංගනය කියන්නෙ අම්මා වෙනුවෙන් දීපු බෝනස් එකක් - විරාජ් ධනූෂ




සිනමාව හරහා සිය කුලුඳුල් රංගන අත්දැකීම ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය. ඒ රොහාන් පෙරේරාගේ A ලෙවල් සිනමාපටයේ කල්ප ලෙසිනි. අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අමුතු රසිකයා හරහා ලබාගත් පුංචි තිරයේ අත්දැකීම, නාඩගම්කාරයෝහි සුද්දා දක්වා එ්මට පන්නරයක් විය. එය ඔහුගේ දිවියේ අමතක නොවන සංධිස්ථානයක් සනිටුහන් කළේය. ත්‍රෛලෝක, තාදී, අහස් මාළිගා වැනි ටෙලි නිර්මාණ ද ඒ ඔහු වෙත තව තවත් අත්දැකීම් එක් කළේය. මේ දිනවල සෙල්ලක්කාරයකු ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු විරාජ් ධනූෂ විතානගේය.


විරාජ් මේ දවස්වල සෙල්ලක්කාරයෙක්. ෂෙහාන් ගැන මොකද හිතෙන්නේ?


මං මේ දවස්වල ජනප්‍රිය වෙලා ඉන්න චරිත දෙකම ටිකක් සෙල්ලක්කාරයි. ෂෙහාන් ඉන්නෙ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නාට්‍යයේ. ඔහු හරිම සැහැල්ලුවෙන්, සෙල්ලක්කාර දිවියක් ගෙවන සාමාන්‍ය පවුලක බාල පුතා. අම්මගෙ ආදරයටවත්, අයියගේ ලෝයර් උපදෙස්වලටවත් නැමුණෙ නැති ෂෙහාන් කෙල්ලෙක් නිසා මේ දවස්වල සයිලන්ට් වෙලා. ෂෙහාන්ටත් මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ප්‍රේක්ෂකයන් තවමත් ඔබව මතක තියාගෙන ඉන්නේ නාඩගම්කාරයෝහි සුද්දා විදිහට. ඒ ගැන මොකද හිතෙන්නේ?


මං ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ අමුතු රසිකයා ටෙලි නිර්මාණයෙන්. ඔහුගේම නාඩගම්කාරයෝ හරහා මට විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා. සුද්දා කියන්නේ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. අදටත් බොහෝ දෙනා සුද්දට ආදරෙයි. හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝත් ඉතාම කෙටි කාලයකින් ජනප්‍රිය වූණා. එහි ෂැගීටත් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. නාඩගම්කාරයෝ හරහා ප්‍රතිනිර්මාණය වුණේ මේ සමාජයේම පවතින අමු චරිත. ඒ නිසාම ඒ චරිත සමාජයේ සන්නාම බවට පත්වුණා.


පසිඳු නූපේආරච්චි කියන්නේ නවක අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ආයාචනා අත්දැකීම ගැන කතා කළොත්?‍


ඇත්තටම ඔහු ගැන විශේෂයෙන්ම කිව යුතුයි. වැඩේ වෙනුවෙන් ඕනම කට්ටක් කාවි. තමන්ගේ පළමු අධ්‍යක්ෂණය අයි.ටී.එන්. වගේ ප්‍රධාන නාළිකාවක පීක් ටයිම් එකකට දාගන්නව කියන්නෙම අභියෝගයක්. ඔහුගේ උනන්දුව නිසාම තමයි ඒ දේ කරගත්තේ. මනුස්සයෙක් විදිහටත් හරිම සුන්දර චරිතයක්. අපේ තියෙන හැකියාව එළියට එන්න දීල ඒක හැඩකරන අධ්‍යක්ෂවරයෙක්. වැඩ කරන්න හරිම පහසුයි. ෂෙහාන් කියන චරිතයත් මට ගොඩක්ම සමීප වුණා. ෂෙහාන් මගේ පුංචි කාලෙට සමානයි. ආයෙම ඒ කාලෙට ගියා වගේ දැනුණා. හරිම කැමැත්තෙන් සම්බන්ධ වෙන නිර්මාණයක්.


දැන් රංගන ශිල්පියෙක් වුණාට විරාජ් කියන්නෙ හොඳ නර්තන ශිල්පියෙක් කියලත් ආරංචියි?


ඔව්. මං අවුරුදු 15ක් විතර නර්තනය හදාරලා තරග ජයග්‍රහණ ලබාගත්තා. චන්දන චන්ද්‍රරත්න සර් වගේම අනූෂා මිස් තමයි මගේ ගුරුවරු. රංගන ශිල්පියෙක් විදිහට අද මං යම් තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමි විය වෙන්න ඕන සද්ධා මංගල සූරියබණ්ඩාර සර් සහ චේතනී මිස්ට. ඒ වගේම ප්‍රසන්න මහගමගේ සර් ඇතුළු ඉම්පාස් ආයතනය මට ලොකු සහායක් දුන්නා. අද මං යම් තැනක ඉන්නවා නම් ඒ මගේ අම්මගෙ උත්සාහයෙන්. ඇයත් නැටුම්වලට දස්කම් දක්වපු කෙනෙක්. පොඩි කාලෙ තරග ජයග්‍රහණ කොතෙක් ගත්තත් ලොකු වෙද්දි නර්තනයෙන් ඉදිරියට යනවට ගෙදරින් කැමැති වෙලා නෑ. අම්ම දැකපු හීනෙ තමයි එයා මගෙන් ඉටුකර ගත්තේ. ඇයට දෙන බෝනස් එකක් විදිහට මං රංගනය පැත්තෙනුත් යම්කිසි මට්ටමක ඉන්නවා. රංගනයයි, නර්තනයයි දෙකම එක්තැන් වුණු නිර්මාණයකට සම්බන්ධ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ජනප්‍රිය වෙනවටත් වඩා රංගනය පැත්තට දක්ෂ කියන කෑල්ලත් එකතු වෙනව නම් තමයි මං ගොඩක් කැමැති. කවදහරි ඒ හීනෙට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.


විරාජ් කියන්නෙ ආදරවන්තයෙක් ද කියල ඇහුවොත්?


ආදරය කියන්නෙ මෙහෙමයි කියල මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ට හරියන කෙනා හමුවෙනකල් හොයාගෙන යන්න ඕන. මමත් ඒ ආදරය විඳින කෙනෙක්. ඒත් පෙම්වතෙක් කියන එක ප්‍රසිද්ධ කරන්න ඕන නෑ කියලයි මට හි‍ෙතන්නේ.


නාමලී ගමගේ



Previous Post Next Post