ඩිස්නි හදිසියේම ලංකාවෙන් ගිය හේතුව මෙන්න



පසුගිය කාලයේ රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පෑ ඩිස්නි රාජපක්‍ෂ හදිසියේම විදෙස්ගත වුණා. ඔන්න දැන් ඇය ආයෙමත් ලංකාවට ඇවිත්. මෙදාපාර ඩිස්නි ලංකාවට ආවත් එක්කම ඇය රංගනයෙන් දායක වුණු සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ “සීරුවෙන්” සිනමා නිර්මාණයත් පසුගිය 12 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළා. ඉතිං ඩිස්නි සමග මේ කතාබහ “සීරුවෙන්” සහ වෙනත් තොරතුරු ගැනය.

ඩිස්නි රංගනයෙන් දායක වුණු ‘සීරුවෙන්’ සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කළා?


චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹූ ප්‍රවීණ කලාකරුවන් වගේම ක්‍ෂේත්‍රයේ විවිධ අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. මේක මගේ ජීවිතයේ මම ලබපු වටිනාම අවස්ථාවක්.


සීරුවෙන් ඔබේ පළමු සිනමා නිර්මාණයද?


ප්‍රධාන චරිතයකින් දායකවුණු පළමු සිනමා නිර්මාණය තමයි සීරුවෙන්.


සීරුවෙන් සිනමා නිර්මාණයේදී ජැක්සන් ඇන්තනී රංගධරයා සමගත් රඟපාන්න ලැබුණා. මොකද හිතෙන්නේ?


ඒක මගේ ජීවිතයේ ලබපු වටිනාම අවස්ථාවක්. මොකද ජැක්සන් ඇන්තනී කියන්නේ නිහතමානී කලාකරුවෙක්. අපි ඔහුත් සමග කතාබහ කරන වචනයක් පාසා මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා. මම ජැක්සන් ඇන්තනී මහත්මයා ගොඩක් ළඟින් ඇසුරු කරලා තිබුණේ නැහැ. ඉතිං එවැනි රංගධරයෙක් සමග වැඩ කරද්දි ලොකු පරතරයක් තිබේවි කියලත් හිතුවා. අනික මගේ රංගනය කොයි වගේද දියුණු කරගන්න ඕනෑ කියලත් හිතුවා. නමුත් හිතේ තිබුණ බය අධ්‍යක්‍ෂවරයාටවත් අනෙක් රංගන ශිල්පීන්ටවත් කිව්වේ නැහැ. මේ වෙලාවේ මම අධ්‍යක්‍ෂ සුදේෂ් වසන්ත මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මොකද මුලින් ජැක්සන් ඇන්තනී මහත්මයා සමග මේ ගැන සාකච්ඡා කළා. ඔහුත් සමග කළ සාකච්ඡාවෙන් පසුව මට ලොකු දැනුම් සම්භාරයක් ලැබුණා. ඒ හින්දම මගේ චරිතය කරගන්න පුළුවන් වුණා.


අද වෙනකොට ජැක්සන් ඇන්තනී රංගධරයා අපව හැරගිහිල්ලා. ඔහුත් සමග රඟපෑ රංගන ශිල්පිනියක් විදිහට ඒ ගැන කතා කළොත්?


මම තවමත් ජැක්සන් ඇන්තනී සර් නැති වෙලා කියන දේ පිළිගන්න බැරි මානසිකත්වයක ඉන්නේ. ඔය සිද්ධිය වෙනකොට මම හිටියේ ඔස්ට්‍රේලියාවේ. මේ සිද්ධිය ආරංචි වුණහම මම දවස් ගණනාවක් හයියෙන් කෑගහලා ඇඬුවා. සර් නැතිවෙලා කියලා පිළිගන්න බැරි මානසිකත්වයක තමයි අදටත් මම ඉන්නේ. මාධ්‍ය දර්ශනය දවසෙත් සර් රෝහල් ගතවෙලා හිටියේ. ඉතිං එදත් ජැක්සන් සර් තිරයේ දකින දකින වාරයක් ගානේ මට වගේම අනෙක් හැමෝටමත් ඇඬුණා. අදටත් පුළුල් තිරයේ සර් දකිනකොට ඇති වෙන වේදනාව දරාගන්න බැහැ. හැබැයි සර් අපි ළඟ නැහැ කියන එක මගේ හිත පිළිගන්නේ නැහැ.


ජැක්සන් ඇන්තනීගේ අවමඟුල් උත්සවයට සහභාගි වෙන්න බැරි වුණාද?


ඔව්. මට සහභාගි වෙන්න බැරි වුණා. මම ඒ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඒ ෂොක් එක මට සෑහෙන කාලයක් තිබුණා. මම අවසන් අවස්ථාවට සහභාගි වුණා නම් ඒ කම්පනය තව ටිකක් හරි අඩුවෙන්න තිබුණා කියලා මට හිතෙන වාර අනන්තයි. මම ගොඩක් ආදරය කරන චරිතයක්. සර් මට ගොඩක් වටිනා කෙනෙක්.


ඔහු නොමැතිව චිත්‍රපටය තිරගත වීම ගැන මොකද හිතන්නේ?


ඒ ගැන හරි දුකයි. මොකද ජැක්සන් සර් ඔය චරිතයට මහන්සි වෙච්ච හැටි මම දැක්කා. ඔහු අනතුරට ලක්වුණ වාහනයේම තමයි “සීරුවෙන්” චිත්‍රපටයේ රූගත කිරීම්වලට ඇවිත් හිටියේ. බාහිරවත් අභ්‍යන්තරවත් ඒ චරිතයට පුදුම විදිහට ජැක්සන් සර් කැපවුණා. ඒ වගේම ඔහු හරි ආසාවෙන් සහ කැමැත්තෙන් තමයි රඟපෑවේ. සීරුවෙන් කියන්නේ ජැක්සන් සර් හරි ආසාවෙන් වැඩ කරපු චිත්‍රපටයක්.


අනතුර සිද්ධවෙලා රෝහලට ඇතුළත් කරනකොටත් අධ්‍යක්‍ෂ සුදේෂ් මහත්මයට කියලා තිබුණා “මාධ්‍ය දර්ශනය ලෑස්ති කරන්න, මම ඒකට සහභාගි වෙනවා” කියලත්. ජැක්සන් සර් ඉතාම ආසාවෙන් බලන්න හිටපු චිත්‍රපටයක්.


ජැක්සන් සර් නොමැතිව චිත්‍රපටය තිරගත වීමේ දුක වචනවලින් කියා ගන්න බැහැ. හරිම දුකක්. මම හිතන්නේ ඔහුට දක්වන ගෞරවයක් හැටියට ඔහුට ආදරය කරන අය ඇවිත් ‘සීරුවෙන්’ නරඹන්න කියල ආරාධනා කරනවා.


රූගත කිරීම්වලදී මුහුණ දුන් අභියෝග එහෙම තියෙනවාද?


ඕනෑ තරම් අනතුරු වුණා. මට ඒවා හොඳට පුරුදුයි. එක දර්ශනයක් තිබුණා උඩ සිවිලිමේ ඉඳලා බිමට ඇදලා පොළොවේ ගහන දර්ශනයක්. ඒක කරන්නේ මෙට්ට්‍රස් එකක් උඩට. ඒත් ඉතිං හරි අමාරු රූගත කිරීම්. බල්ල පන්නාගෙන එන දර්ශන රූගත කරද්දිත් වැටිලා තියෙනවා. සාමාන්‍යයෙන් මට කොහොමටත් හම්බ වෙන්නේ අභියෝගාත්මක චරිත ටිකක්. ඒවා දැන් මතක් වෙද්දි හරි සුන්දරයි.


ඩිස්නි කවද්ද ලංකාවට ආවේ?


‘සීරුවෙන්’ චිත්‍රපටයේ මංගල දර්ශනයට දින කිහිපයකට කලින් තමයි ලංකාවට ආවේ.


හදිසියේම ලංකාව දාලා ගියේ ඇයි?


ගොඩක් කාලයක ඉඳලා විදෙස්ගත වෙන්න සැලසුම් කරලයි තිබුණේ. නමුත් එක එක හේතු නිසා ප්‍රමාද වුණා. මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය, චිත්‍රපට, නර්තන තරගාවලියක ඉදිරිපත් වීම, පසුව එහිම විනිසුරුවරයෙක් වීම වැනි කරුණු කාරණා හින්දා උසස් අධ්‍යාපන කටයුතු මඟ නතර වුණා. ඊට පසුව මට ටෙලිනාට්‍යවලින් ඈත්වෙලා චිත්‍රපට අංශයට වැඩි නැඹුරුවක් දක්වන්න සිද්ධ වුණා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, ලංකාවෙන් යන්න තීරණය කරපු නිසයි. මම ලංකාවෙන් ගියේ මගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර ගන්නකම් විතරයි. ඊට පසුව මම පුරුදු විදිහට රංගනයේ නියැළෙනවා.මම කොතැනකවත් රඟපෑම නවත්වලා නැහැ. ඉඩ ලැබෙන හැම වෙලාවකම ලංකාවට ඇවිත් රංගනයෙන් දායක වෙනවා.


කොච්චර කාලයකට පසුව ද ලංකාවට ආවේ?


මම මීට මාස දෙක තුනකට කලිනුත් චිත්‍රපටයක රූගත කිරීම් වැඩකටයුත්තකට ලංකාවට ආවා. ඉතිං මම එහේ වැඩි හරියක් හිටියට ෂූටින්වලට ලංකාවට එනවා. ඒ නිසා කොතැනකදිවත් මගේ වෘත්තීය අතපසු කරගත්තා කියලා මට හිතෙන්නේ නැහැ. හැබැයි ටෙලිනාට්‍යවලට දායක වෙන්න බැරි වුණා. නමුත් චිත්‍රපටවලට මට පුළුවන් හැම අවස්ථාවකදීම රංගනයෙන් දායක වුණා.


ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත් වෙලාද?


මම නැවත ලංකාවට ආපු කාලයක අනිවාර්යයෙන් ටෙලිනාට්‍යවල රඟපානවා. මම රඟපෑ වැඩ අවසන් නොකළ ටෙලිනාට්‍ය දෙක තුනක්ම තියෙනවා. නැවත ලංකාවට ආපු කාලයක හෝ එම නාට්‍ය විකාශය වෙන්න පටන් ගත්තට පසුව හරි ඒවායේ ඉතිරි කොටස් ටිකට රංගනයෙන් දායක වෙනවා.


ලංකාවෙන් ගිය එක ගැන මොකද හිතෙන්නේ?


දුකක් නැහැ. දුකක් ඇති වෙනවා නම් ඇතිවෙන්න තියෙන්නේ කලාවෙන් ඈත් වුණා කියන කාරණාව හින්දයි. කලාවෙන් ඈත් නොවුණ හින්දා මට ඒ ප්‍රශ්නය නැහැ. කොහොමත් මම ඉන්න කැමැති ලංකාවේ. නමුත් අපිට ජීවිතයේ සමහර අවස්ථාවලදී තමන්ගේ අරමුණු කරා යෑමේදී යම් යම් කැප කිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් මම ඉන්න කැමැති ලංකාවේ කලාවත් සමගයි.


මෙවර ලංකාවට ආ පසු ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?


ලංකාවට ආවට පස්සේ ප්‍රේක්‍ෂකයෝ එහෙම අපිට දක්වන ආදරයට හරි ආදරේ හිතෙනවා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරය හින්දනේ අපි මෙතැන රුඳිලා ඉන්නේ. හැම ක්‍ෂේත්‍රයක වගේම කලාවෙත් පිරිහීමක් තිබෙනවා. ඉතිං අපි හැම තිස්සේම හිතන්න ඕනෑ කලා ක්‍ෂේත්‍රය පිරිහෙන්න නොදී ඉහළට ඔසවා තබන්න. මම හැම තිස්සේම හිතන්නේ අපේ සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව දියුණු වෙන්න ඕනෑ කියලයි.


ඇත්තටම ලංකාව දාලා ගියේ කලකිරීම් ඇති වෙලා නෙමෙයිද?


මෙහෙමයි, කලකිරීම් නැතිවාම නෙමෙයි. නමුත් ඒක නෙමෙයි ලංකාවෙන් යන්න හේතුව. මම දන්නවා අපේ ක්‍ෂේත්‍රයේ ගොඩක් කලාකරුවන් ඉන්නවා ඒ කලකිරීම තියෙන. එහෙමයි කියලා හැමෝම ලංකාව දාලා යන්නේ නෑ. ඒ හැම කලාකරුවෙක්ම මම වගේ මේ ක්‍ෂේත්‍රයට ආදරෙයි. ඒ හින්දයි අපි හැමෝම මේ කලාවත් එක්ක ඉන්නේ. හැබැයි කලකිරුණා කියලා මේ ක්‍ෂේත්‍රය දාලා ගිය කෙනෙක් නැහැ. මේ අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකටයි. එතකොට එහෙව් කෙනෙක් මේක දාලා යන්නේ නැහැ. මේකට තියෙන ආදරය හින්දම මෙතැන රැඳිල ඉන්නවා. මමත් එහෙම කෙනෙක්.


නර්තන හැකියාවන්වලට මොකද වෙන්නේ?


නර්තන හැකියාව එහෙම්ම තියෙනවා. ඒක මගේ ඇඟ ඇතුළේ තියෙන දෙයක්නේ. ඒ වගේම මම ඔස්ට්‍රේලියාවේදිත් බටහිර නර්තන ශෛලියන් ගැන වැඩිදුරටත් ඉගෙනීම් කටයුතු සිදුකරනු ලබනවා.


රඟපෑමට අලුත් ආරාධනා ලැබුණාද?


රංගනයට අලුතින් ආරාධනා ලැබෙනවා, ලැබෙමින් පවතිනවා. ඉතින් ඒවා භාර අරගෙන කටයුතු කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා.


ලංකාවෙන් ගියේ භාරගත්තු වැඩ සියල්ලම අවසන් කරලාද?


ඔව්. මම දායක වුණු වැඩ සියල්ලම වගේ අවසන් කරලයි ගියේ. හැබැයි සමහර ටෙලිනාට්‍ය තිබෙනවා රූගත කිරීම් අවසන් නොකරපු. ඒක මගේ වරදක් නිසා නෙමෙයි. මම විදෙස්ගත වුණෙත් අනුරාධපුරයේ ටෙලිනාට්‍යයක රූගත කිරීම් සිදු කරලා දර්ශන තලයේ ඉඳලා මගේ බඩු පැක් කරගෙනයි ගියේ. මම එදා එයාර්පෝර්ට් ගියෙත් අනුරාධපුරයේ නාට්‍යයක ෂූටින් ඉවර වෙලයි. අන්තිම මොහොත වෙනකම් මම ඒ හැම නිර්මාණයකටම සාධාරණයක් ඉෂ්ට කරලයි ගියේ.


දැන් දිගටම ලංකාවේ ඉන්නවාද?


තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරලා තියෙන හින්දා මම මාසයක වගේ කාලයක් ලංකාවේ රැඳිලා ඉන්නවා.


ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට වගේම විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය එහෙමත් තියෙනවාද?


ඔව්. ගොඩක් තියෙනවා. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට පහක් විතර තිරගත වීමට නියමිතයි. ඒ වගේම ටෙලිනාට්‍ය හතරක් විතර විකාශය වෙන්න තියෙනවා.


ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් සිදු කළොත්?


සතුටුයි. ඉතාම කෙටි කාලයක් තුළදී ගොඩක් ලොකු අවස්ථාවන් මට මගේ ජීවිතයේදී මුණ ගැසුණා. කිසිම කලා පවුල් පසුබිමකින් නෙමෙයි මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ. ඉතිං ඒවත් එක්ක මම අද සෑහෙන ලොකු තැනකට ඇවිත් තියෙනවා. ඒ වගේම ලයිෆ් එකේ ගොඩක් කැප කිරීම් සිදු කළා වගේම ගොඩක් මහන්සි වෙලා තිබෙනවා. ඒවාට හොඳ අවස්ථාවක් මුණගැසිලා තිබෙනවා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.


ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන කාගෙන්වත් වැඩ ඉල්ලගෙන ගිහිල්ලා නැද්ද?


නැහැ. මම කිසිම වේලාවක මේ ක්‍ෂේත්‍රයේ මහන්සි වෙලා වැඩ කරනවා වගේම නිර්මාණයකට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්න බලනවා. හැබැයි කොතැනකදීවත් මම කිසිම නිර්මාණයක් පස්සේවත් කිසිම අධ්‍යක්‍ෂවරයෙක් පස්සෙවත් කිසිම දෙයක් පසුපස හඹාගෙන ගිහිල්ලා නැහැ. අධ්‍යක්‍ෂවරු පස්සේවත් නිෂ්පාදකවරු පස්සේ ගිහිල්ලා වැඩ ඉල්ලලා නැහැ. මට හොඳ නිර්මාණ හම්බවෙලා තිබෙනවා. ඒ හින්දා මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා. මම කිසිම දෙයක් පස්සේ පන්නන්නේ නැතිව මට හම්බ වෙනවා. මම විශ්වාස කරන්නෙත් එහෙම. නිකන් දේවල් ලැබෙනවා කියලා ඉඳලා හරියන්නෙත් නැහැ. ලැබෙන නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කළොත් අපිට අනෙක් දේවල් හම්බ වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.


ඩිස්නි කියන්නේ මොනවගේ චරිතයක්ද?


මම හරිම සංවේදී චරිතයක්. මම කරන වැඩේ හරියටම කරන්න මහන්සි වෙන චරිතයක්.


රංගනයට ඇවිත් ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


ඒකත් මම හිතන්නේ වාසනාවක් තමයි. රංගනයත් මට ඉබේ හම්බවුණු දෙයක්. ඒකටත් මම අමුතුවෙන් දෙයක් කරලා නැහැ. සමාජ මාධ්‍යවල කිසිම දෙයක් බලෙන් අරගෙන නැහැ. මම බොහොම සාමාන්‍ය විදිහට තමයි මගේ වැඩ කරගෙන යන්නේ. මම මූලිකත්වය ලබාදෙන්නේ මගේ නිර්මාණ හොඳටම කරන්නේ කොහොමද කියන එකට විතරයි. නිර්මාණයට පෙනුම පවත්වාගන්න ගොඩක් මහන්සි වෙනවා. මම හිතනවා මම ඒවාට සාධාරණයක් ඉෂ්ට කරනවා ඇති කියලා. නැතිනම් මට මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැහැනේ. ජනප්‍රියත්වය මට ලොකු ගෞරවයක්. ප්‍රේක්‍ෂකයන් හැමෝටම මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


පෙනුම හැඩට තියාගන්න ගොඩක් මහන්සි වෙනවා කියන්නේ ඇත්තද?


මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගොඩක් ක්‍රීඩා කරපු කෙනෙක්. ව්‍යායාම කිරීම කියන එක මට නැතිවම බැහැ. හැම තිස්සේම ෂූටින් නැතිනම් මම ජිම් එකට යනවා. ඒක මගේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් වෙලා. ඒ හින්දා ඒ ඒ චරිතවලට අවශ්‍ය විදිහට මම ඇඟ හදලා තියෙනවා.


ඩිස්නි පෙම්වතියක් කියන්නේ?


ඔව්. මම පෙම්වතියක්. මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. එහෙම ආදර සම්බන්ධතාවයක් තියෙනකොටත් ආදර යෝජනා එනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post