එදා ජනප්‍රියත්වය මට අදටත් තියෙනවා – ඉෂාන් මෙන්ඩිස්



රංගන ශිල්පී ඉෂාන් මෙන්ඩිස් මේ දිනවල ටෙලි නාට්‍ය දෙකකින් ඔබට දැකගන්නට පුළුවන්. ඒ වගේම අවුරුදු පහළොවකට පස්සෙ ‘කතරගම ප්‍රේමා’ එක්ක වේදිකාවටත් ගොඩවෙලා. මීවිත සමග කතාබහකදි, ඉෂාන් වැඩිදුර තොරතුරු මේ විදිහට කිව්වා.

ඉෂාන්, මේ දවස්වල මොකද වෙන්නෙ?


මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනව. ඒ වගේම චිත්‍රපටයක් එන්න තියෙනව. තව අලුත් චිත්‍රපටයක රූගතකිරීම් පටන්ගත්තා. ඒ වගේම වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


ටෙලි නාට්‍ය දෙක, වේදිකා නාට්‍ය මොකක්ද කියල කියමු?


ටෙලි නාට්‍ය දෙක වෙන්නෙ, දෙරණ නාළිකාවේ විකාශය වන පාලින්ද රත්නායකගෙ ‘ඉස්කෝලේ’, මොනරා ටීවී නාළිකාවේ විකාශය වසන්ත සුදේශ් පීරිස්ගේ ‘කවිතා’. වේදිකා නාට්‍ය, සරත් දික්කුඹුරගෙ ‘කතරගම ප්‍රේමා’.


වේදිකාවට සම්බන්ධ වෙන්නෙ දිගු කාලෙකට පස්සෙ?


ඔව්, මම විශ්ව විද්‍යාලෙ යන කාලෙ සම්බන්ධවෙලා හිටියා. එයින් අවුරුදු පහළොවකට පස්සෙ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ. මට මේ ආරාධනය කරන්නෙ ශාලිකා එදිරිසිංහ. බලහත්කාරයෙන් වගේ කතාකරල ඇහුවෙ, මෙහෙම වැඩක් තියෙනව කරමුද කියල. මෙහි ප්‍රධාන චරිතය වන ගාමිණී බාස්, එහෙ නැත්නම් විප්ලවකාරී පෙම්වතාගෙ චරිතය කළේ යශ් වීරසිංහ. ඔහුට තනියම කරන්න බැරි නිසා අපි දෙන්න මාරුවෙන් මාරුවට දර්ශනවලට සහභාගි වෙනවා.


කතරගම ගියාද?


ඔව්, පෙරහැරට කලින් කතරගම ගිහින් ප්‍රේමා පෙන්නල ආවා. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණ නාට්‍යයක්.


කොහොමද මේ අත්දැකීම?


ඇත්තටම වේදිකා නාට්‍ය තමයි හොඳ. මොකද ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අපිට ඒ මොහොතෙම සජීවීව දැකගන්න පුළුවන්. ඒ වගේම වේදිකා නාට්‍යයකදි ලැබෙන ප්‍රතිචාරය තමයි නළුවෙක් විදිහට තෘප්තිමත් වෙන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය.


කතරගමදි මොකද වුණේ?


අපි කතරගම නාට්‍ය ප්‍රදර්ශනය කරන්න යද්දි පොඩි විරෝධයක් ආවා. මොකද මේ කතාව ගමට ශෝකී දෙයක්නෙ. නමුත් පොලිසියේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳගත්තා. 10.30 දර්ශනවාරය 12.30ට වේදිකාගත කළා. ඒ වගේම එදා දර්ශනවාර තුනම අපි කළා. විශ්වාස කරන්නත් බැහැ, ඒ ෂෝ තුනම හවුස් ෆුල්.


ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. මේක විප්ලවකාරී වගේම වර්තමාන අරගලයත් එක්ක සම්බන්ධ වෙලා යන කතාවක්. මේ කතාව ඇතුළෙ ඒ කාලෙ තිබුණ අරගලයයි, වර්තමානයේ ඇති වුණ අරගලයයි සංසන්දනය කරල මික්ස් කරගෙන යන්නෙ. තාරුණ්‍යයේ තියෙන අර්බුදකාරිත්වයත් එක්ක ගළපගෙන යන නිසා වෙනස්ම චරිතයක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නෙ.


ටෙලිනාට්‍ය දෙකේ චරිතවලට ප්‍රේක්‍ෂකයන් මොකද කියන්නෙ?


ඉස්කෝලේ ටෙලි නාට්‍ය මේ වන විට අපේ රටේ බොහෝ පිරිසක් නරඹනවා වගේම කැමති, අකමැති දෙවර්ගයෙන්ම ප්‍රතිචාර ලැබෙනව. ඇමැතිවරුනම් කැමැති නැහැ මේ චරිතයට.


මුණගැහුණාම කියනව උඹ කරන වැඩේ වැරදියි, එහෙම හරි නැහැ කියල.


කවිතා ටෙලියට ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් හොඳ මට්ටමක තියෙනව. නමුත් අලුත් නාළිකාවක් නිසා බහුතරයක් ප්‍රේක්‍ෂකයන් අතරට තවම ගිහින් නැහැ.


චිත්‍රපටය ගැන කතා කළොත්?


සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කරන ‘රූම් නම්බර් 106’ ටෙලියට තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ. මේකත් සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිර්මාණය වෙන්නෙ. පසුගිය දිනවල අපි කොළඹ අවට රූගතකිරීම් සිදු කළා. මට ලැබිල තියෙන්නෙ මාධ්‍යවේදියකුගේ චරිතයක්.


මේ චරිතය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


මේක අපි දන්න කියන මාධ්‍යවේදියකුගේ චරිතයක් තමයි මට නිරූපණය කරන්න ලැබුණෙ. නමුත් මේක ප්‍රතිනිර්මාණයක් නිසා එයාවම කොපි කළේ නැහැ. මම හිතනව මේ චරිතය සමාජයේ කතාබහට ලක්වෙයි කියල.


ඉෂාන් තුළ ඉන්න ගායකයාට මොකද වුණේ?


කොරෝනා කාලෙත් එක්ක ඒ ගායකයා ටීවී ප්‍රෝගෑම්වලට විතරක් සීමා වුණා. දැන් ඉඳහිට මියුසිකල් දෙකතුනකට යනව.


ගායනයට වැඩි කැමැත්තක් නැද්ද?


එහෙම දෙයක් නැහැ. නමුත් ගායනයට වඩා රංගනයට තමයි වැඩිපුර කැමති.


ඉෂාන් නළුවෙක් නොවුණා නම්?


මම නළුවෙක් නොවුණා නම් ගොඩක් දුරට ගුරුවරයෙක් වෙයි.


රංගනය වෘත්තිය නොවෙයිද?


ලංකාවෙ වෘත්තියක් විදිහට රංගනය කරන්න හරි අමාරුයි. ඒ නිසා කලාව දැන් කලාවක් විදිහටම තමයි ගොඩක් අය කරන්නෙ. මම රජයට සම්බන්ධ වෘත්තියක් කරනව.


ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?


ජනප්‍රියත්වය කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනව. අලුත් ශිල්පීන් ක්‍ෂේත්‍රයට එනකොට එක එක විදිහට රැල්ලක් හැදෙනව. මම එදා පටන්ගත්ත තැන ඉඳන් තියාගත්ත ජනප්‍රියත්වය අදටත් ඒ විදිහටම තියාගත්ත කියල මම හිතනව.


වෘත්තියත් එක්ක රංගනය කරගෙන යන්න පුළුවන්ද?


ඇත්තටම ඒක ගැටලුවක් නැහැ. ටෙලි නාට්‍ය හයක් විතර කරන්න පුළුවන්. එක නාට්‍යයකට එක දවසයි දෙන්න ඕන. අපිට තියෙන නිවාඩුවලිනුත් ප්‍රයෝජන අරගෙන කාලය හදාගන්නව.


අද වන විට ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?


ක්‍ෂේත්‍රය දැන් තාක්‍ෂණයත් එක්ක වෙනස් වෙලා. හොඳ ප්‍රවණතාවක් තිබුණත් මැද මොකක්දෝ හිස් ගතියක් තියෙනව වගේ දැනෙනව. ඒක නිෂ්පාදන පැත්තෙන් වෙන දෙයක්ද, නාළිකා පැත්තෙන් වෙන දෙයක්ද කියල හිතාගන්න බැහැ. මේ අතර දක්‍ෂ පරපුරක් වගේම රැල්ලට යන පරපුරකුත් ඉන්නව.


අලුත් අය නිසා ඉෂාන්ලට තියෙන අවස්ථා ගිලිහිලාද?


එහෙම දෙයක් නැහැ. අපි එන්න එන්න වයසට යනව. හැමදාම එක විදිහට ඉන්න බැහැ. අලුත් පරපුරක් එන්න ඕන. එයාල මේක රැකගෙන ඉදිරියට යන්න ඕන. අපිටත් එහෙම කාලයක් තිබුණනෙ.


ඔබ රඟපාන්නෙ සම්මාන බලාගෙනද?


මම රඟපාන්නෙ සම්මාන බලාගෙන නෙමෙයි. මොකද ලංකාවෙ සම්මාන තෝරන්නෙ පොඩි පිරිසක්නෙ. ඒක කරන්නෙ එයාලගෙ පුද්ගලික තේරීමට. නමුත් සම්මාන කියන දේ ලැබෙන්න ඕන ජනතාවගෙන්.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post