මම තාත්තාට උපහාර ප්‍රසංගයක් පවත්වනවා- අමන්ද්‍යා උත්පලී





 

ඔහුගේ ලෝකය මිහිරිය. සැබැවින්ම සුන්දරය. මෙලෙසින් ඔහුගේ ලෝකය මිහිරියාවෙන් පිරි සුන්දර ලෝකයක් බවට පත් වන්නේ සුන්දර කලාකරුවෙකු ලෙසිනි. මේ සොඳුරු කලාකරුවාගේ ලෝකය තව තවත් හැඩවූයේ ඔහුගේම ලෙයින් උපන් දියණියගේ හැකියාවෙන් ලොවක් බබළවන අයුරු දැකීමෙනි.


 

මෙලෙසින් ලොවක් සනසවන දියණියක් ලබන්නට පියෙකුට සැබෑම වාසනාවක් තිබිය යුතුමය. එලෙසින්ම එවන් උපන් හපන් හැකියාවන් හිමිවන්නට ඇයට තම පියාගේ ආශීර්වාදය හා මඟපෙන්වීම නිබඳවම උරුම විය යුතුය. එවැනි පිය සෙනෙහසක මහිමය දියණියකට උරුම වූ විට එයින් ලැබෙන ආශීර්වාදය ඇයගේ මුළු ජීවිතයටම ආලෝකයකි. මෙවන් පිය සෙනෙහසක උරුමයෙන් ලෝකයක් හැඩ කරන ඇය කවුරුත් දන්නේ නන්දා ලෙසිනි. රැජිනට ඇන්දා... රජ කුමරිට ඇන්දා.. ලෙන්චිනාට, දික්තලාට ඇන්දා, ඇය අන්දරේගේ පවුලට ඇන්දා ඇය ගිරිරාජ් කෞෂල්‍ය නම් විශිෂ්ට රංගධරයාගේ දියණිය විශාරද අමන්ද්‍යා උත්පලීය.


 


තම පිය උරුමයෙන් වේදිකාවට ප්‍රවිශ්ට වූ ඇය තම දක්ෂතාව තුළින් එක් ගීතයකින් මුළු රටක් ආදරය කරන නිළියක් හා ගායිකාවක් බවට පත් වූයේ කිසිවෙකුටත් සිතා ගන්නටවත් බැරි ලෙසිනි. වසර දෙකක් පුරාවට සමාජ මාධ්‍ය තුළ විශාලම ප්‍රතිචාර හිමි වූ ගීතය බවට එම ගීතය ද පත්වූයේ ඇයගේ ගීතය වෙනස්ම ආරයක ගීතයක් ලෙසිනි. අවර ගණයේ ගීත රාශියක් ඇසෙන ගැයෙන කාලයක අපගේ වේදිකා නාට්‍ය කලාවට නව පණක් එක් කළ ගීතයක් බවට පත් වූ මේ ගීතයේ ජනප්‍රියත්වයත් සමඟ ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ මහත් උනන්දුවෙනි.


 


තම පියාගේ අඩි පාරේ යමින් ඔහුගේ අරුමැසිය ගැන මහත් ආඩම්බරයෙන් පවසන්නට අප ඇයගෙන් ඉල්ලීමක් කළේ දින ගණනාවකට පෙරය. ඒ ඉල්ලීම මහත් සතුටින් පිළිගත් ඇය තමාගේ අලුත්ම නිර්මාණාත්මක කටයුත්ත ගැන හා හා පුරා කියන්නට කල් ගත්තේ එම දිනය අත ළඟටම පැමිණෙන තෙක්ය. තම ආදරණීය තාත්තාට උපහාරයක් ලෙසින් තිළිණ කරන ප්‍රසංගය ගැන ඇය මුලින්ම අපට හෙළි කළේ මෙලෙසිනි.


 


‘මාව දැන් මුළු රටම දැනගෙන ඉන්නේ අමන්ද්‍යා උත්පලී කියන නමට වඩා නන්දා කියලා. එහෙම වුණෙත් රැජිනට ඇන්දා ගීතය නිසා. ඒ ගීතයම කේන්ද්‍ර කරගෙන මගේ දෙවැනි ප්‍රසංගය රැජිනට ඇන්දා ජූලි 19 වැනිදා පවත්වනවා. කොළඹ කාසල් වීදියේ ‘ද තැප්‍රොබේන් ශාලාවේදී රාත්‍රී 7.30ට පවත්වන මේ ප්‍රසංගය වෙනස්ම ආරක ප්‍රසංගයක්. රැජිනට ඇන්දා පසුබිම් කරගෙන නිර්මාණය වූ මේ ප්‍රසංගයේ ගීත, නාට්‍ය, නැටුම්, හින්දි තනු ඇතුළු සියලුම කලාවන්ගේ එකතුවක් ලෙස තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගය විශේෂම සිදුවීම තමයි මගේ තාත්තාගේ නිර්මාණ අධ්‍යක්ෂණය කළ ගීත 3ක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව මගේ ප්‍රසංග වේදිකාවේ ගුරුතුමාවන සහන් රන්වල සර්ගේ ගීත දෙකක් මුලින්ම වේදිකාගත වෙනවා. මම හිතනවා මේ ප්‍රසංගය අපේ ලාංකික ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලැබෙන ප්‍රසංගයක් වෙයි කියලා. ඇත්තටම මගේ රැජිනට ඇන්ද ගීතයට දැන් අවුරුදු 2ක් වෙනවා. තවමත් මිනිස්සු ඒ ගීතයට ආදරය කරනවා. මේ ගීතයේ තනු නිර්මාණය ක‍ෙළ් සහන් රන්වල සර්. සංගීතය සංගීත් වික්‍රමසිංහ, රූප රාමු නිර්මාණය කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා.


 


මම ‘රැජිනට ඇන්දා‘ ගීතයෙන් ජනප්‍රිය වුණාට පුංචි කාලේ පටන්ම සංගීතය ඉගෙන ගත්තා. ඒ ආසාව ඇති වුණේ තාත්තා නිසයි. මම මුලින්ම පොඩි කාලේ විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගෙන් තමයි සංගීතය ඉගෙන ගැනීම පටන් ගත්තේ. ඊට පස්සේ විශාරද එඩ්වඩ් ජයකොඩි සර්ගෙන් සංගීතය හැදෑරුවා. ඒ කාලේ පටන්ම මට ගායනයට වගේම නර්තනයටත් හැකියාව තිබුණා. මම මුලින්ම පාසල් ගියේ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයට. ඉන් පසුව උසස් පෙළ කළේ දේවි බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලයේ මම වේදිකා නාට්‍යවල පිරිමි චරිත රඟපෑවේ.


ඊට පස්සේ 2007 දී මම රන්වල පදනමට බැඳුණා. 2011 සිට මට රංවල බලකායත් සමඟ වේදිකාවට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ 2021 දී ‘නාඩගම්කාරයෝ‘ ටෙලි නාට්‍යයෙන්. ඒ නාට්‍යයෙන් පස්සේ ඇතුල්වීම තහනම්, Key නාට්‍ය දෙකේ රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ නාට්‍යවල රඟපෑමටත්, ගීත ගායනයටත් මට අවස්ථාව ලැබුණේ තාත්තාගේ අාභාසයෙන් වුණාට කිසිම දවසක අපේ තාත්තා කිසිම දෙයකට බලපෑමක් කළේ නැහැ.


 


අක්කා කාවින්ද්‍රා නිලුපුලී. එයා කලාවට සම්බන්ධ වුණේ නැති වුණාට අපි පොඩි කාලේ පවුලේ හතර දෙනාම තාත්තා රඟපාන නාට්‍ය බලන්න යනවා.


 


අම්මා මංගලිකා ප්‍රනාන්දු. අම්මාගෙයි, තාත්තාගෙයි හමුවීම සිද්ධ වෙලා තියෙන්නේ තාත්තා මහවැලියේ වැඩ කරන කාලයේ. දැන් මම විවාහකයි. මගේ සැමියා සුරංග කළුවෙලගේ. අපි කලා පවුලක් ලෙස ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. ඒ ජීවිතයට අපේ තාත්තා හරිම කැමැතියි. තාත්තා හුඟක් වෙලාවට විකට චරිතවල රඟපෑම නිසා තමයි ජනප්‍රිය වුණේ. ඇත්තටම තාත්්තාට ගැළපෙන්නේ ප්‍රහසනාත්මක චරිත තමයි. නමුත් තාත්තාගේ රංගනය තුළ සමාජයට යම් පණිවුඩයක් හෝ පාඩමක් කියා දෙනවා. ඔහුගෙන් ලැබුණු ආභාසය නිසා තමයි මටත් මේ වගේ නිර්මාණාත්මක ගීතයකින් ජනප්‍රිය වෙන්න අවස්ථාව ලැබුණේ. මම හිතන්නේ මෑත කාලයේ තරුණ පරපුර අතර මේ ගීතය තමයි වැඩිම කාලයක් ජනප්‍රිය වෙලා තිබුණේ. එහෙම වෙන්න හේතුව මට ඒ හැකියාව ලැබුණේ තාත්තාගේ රංගන කුසලතාවය නිසා කියලා තමයි මම විශ්වාස කරන්නේ.‘


 


ඇයගේ එම හැකියාවේ නියම හිමිකරුවා වන්නේ ගිරිරාජ් කෞෂලය නම් අතිවිශිෂ්ට රංගන ශිල්පියා බව මුළු රටම පිළිගනියි. ඒ වෙනුවෙන් ඇය ඔහුට උපහාර පිදීම වටිනා කටයුත්තකි.


 


වේදිකාව මත අලුත්ම ප්‍රසංග අත්දැකීමත් සමඟ ගිරිරාජ්ගේ ලෙයින් උපන් දියණියගේ හඬින් ඇසෙන ගීත හා රංගනයන් දකින්නට එදිනට බොහෝ රසික පිරිසක් එක්වනු නියතය.





Previous Post Next Post