මට නම් වැරැදිලා නෑ මම ආතල් එකේ ඉන්නවා - පියුමි හංසමාලි




Unedited අද අපේ කතා නායිකාව කටකාර, දඟකාර, හැඩකාර, සල්ලිකාර පියුමි හංසමාලි.  තරම් කතා පුවත් මවන්නියක් නම් අපේ සිරිලංකාදීපයේ තවත් නැතිව ඇති. දවසින් දවස අලුත් අලුත් පුවත් මවන පියුමි හංසමාලි මේ දවස්වල අවධානයට ලක්වෙන්නෙ ඇගේ මුදල් ඉපැයීම් හා දේපළ සම්බන්ධයෙන්. ඔබ දැනටමත් මේ කතාව දන්නවා ඇති. මොකද මේක, මේ දවස්වල නිතරම ඇසෙන කතාවක් නිසා. නමුත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැනගන්නත් එක්ක මේ කතාව කෙටියෙන් කියන්නම්.


අපි දන්නවානෙ පියුමි කියන්නෙ ගොඩක් ආර්ථික අපහසුතා තිබුණ පවුල් පසුබිමකින් පැමිණි තැනැත්තියක්. නමුත් පසුගිය වසර කිහිපය ඇතුළත ඇගේ ආර්ථික තත්ත්වය කැපීපෙනෙන ලෙස ඉහළ ගියා. ඇය අඳින පලඳින විධිය, කන බොන විධිය, ඇය ජීවත්වන නිවෙස ගැන පවා බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිරන්තරයෙන් ඇගේ සුඛෝපභෝගී ජීවන රටාව ප්‍රශ්න කළා. දැන් මේක කියවන ඔබට හිතෙන්න පුළුවන් දුප්පත් පවුලකින් ආව කෙනකුට දියුණු වෙන්න බැරිද කියලා. අපෝ පුළුවන්. හැබැයි ක්‍රමිකව මිසක් එක පාරට, ඒ කියන්නෙ හතු පිපෙනවා වගේ නම් නෙවෙයි. ඉතින් මෙන්න මේ කියන පියුමිගෙ ශීඝ්‍රගාමී දියුණුව තමයි බොහෝදෙනකුගේ උකුසු ඇස්වලට හසුවෙන්නෙ.


පියුමි හංසමාලි දැන් ජීවත් වෙන්නෙ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්වල. අෑ පදවන රේන්ජ් රෝවර් රථය රුපියල් ලක්ෂ 800ක් වටිනවා. මේ වාහනය මීට පෙර පරිහරණය කරලා තියෙන්නෙ හිටපු ජනාධිපතිවරයෙක්ලු. මෑතකදී අෑ කොළඹ 7 වෝර්ඩ් පෙදෙසේ ප්‍රකට නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148කට නිවෙසකුත් මිලදී ගෙන තිබෙනවා. මීට අමතරව ඇය තමන්ගේ සමීපතමයන්ගේ ජාතික හැ¾දුනුම්පත් අංකවලට බැංකු ගිණුම් 19ක් පවත්වාගෙන යනවා කියලත් තොරතුරු ලැබී තිබෙනවා. මෙන්න මේ කියපු කාරණා නිසා තමයි ඇගේ ඉපැයීම් සම්බන්ධයෙන් සැකයක් එල්ල වෙලා තියෙන්නෙ.


කොහොම නමුත් අෑ සම්බන්ධයෙන් කරලා තිබෙන පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත් යටතේ විමර්ශන සිදුවෙමින් පවතිනවා. ඉතින් ඇගේ ඉපැයීම් නීති විරෝධීද නැද්ද කියලා හරියටම දැනගන්න නම් අපිට විමර්ශන ඉවර වෙනකන්ම ඉන්න වෙනවා. මේක නීතිය අතේ තියෙන කාරණාවක් ගැන පූර්ව විනිශ්චයන්ට එන්න අමාරු නිසා වැඩිදුර ඒ ගැන කතා නොකර ඉමු.


ඉතින් මේ කැලඹිලි සහගත ප්‍රවෘත්තිය සංසරණය වීමත් සමඟ පියුමි හංසමාලිගෙ ෆෑන් බේස් එක තව තවත් වැඩි වෙලාලු. මොකද මේ දවස්වල හැමෝම හොයන්නෙ පියුමි මේ ගැන මොනවද කියන්නෙ කියලයි. ඉතින් අපිත් පොඩ්ඩක් ඇගේ ප්‍රතිචාර ගැන සොයා බැලුවා. කිසි වෙනසක් නෑ වෙනදා වගේම වීඩියෝස් අප්ලෝඩ් කරමින් සතුටෙන් ඉන්නවා.


රෝස පාට කෙටි කලිසමක් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු පියුමි හංසමාලි ඇගේ නිවෙසේ ඩේ‍රසිං ටේබල් එක ළඟට ගිහින් කරපු මිරර් වීඩියෝ එකක් ඇගේ instagram සහ tiktok ගිණුම්වලට මුදාහැරලා තිබුණා. එහි මෙන්න මෙහෙම සටහනකුත් යොදලා තිබුණා.


“bank account 19ක් තියන් ඉන්න මම දන්නෙ නැති හින්දා අහන්නෙ ලංකාවේ එච්චර bank තියෙනවද?


මේ වීඩියෝවට ඇගේ ෆෑන්ස්ලගෙන් විවිධ ප්‍රතිචාර ලැබී තිබුණා. හැබැයි ගොඩක් අය පියුමිට පක්ෂව තමයි කතා කරලා තිබුණේ.


“දැන් එතකොට එක මනුස්සයෙක්ට එක bank account එකක් විතරද තියෙන්න ඕනා දන්නෙ නැති නිසයි අහන්නෙ එහෙම එකකුත් තියේද”


මේ එයට එක්කොට තිබූ පුද්ගල ප්‍රතිචාරයක්.


“රටේ දේශපාළුවන් මහජනතාවගේ සල්ලි හොරකම් කරලා ලෝකෙ වටේ ගෙවල් අරන් සවාරි යමින් මහත් සේ සුරසැප විඳිනවා සහ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය තාම හොයලා ඉවර කරලා ඒ අහිංසක මිනිසුන්ට සාධාරණයක් කරන්න බැරි වුණා. මහ කුඩු බිස්නස්කාරයො කොච්චර ඉන්න්වද මේවගේ දේවල් හොයන්න පෙර ඒවා හොයන්න”


මේ තවත් ප්‍රතිචාරයක්.


 මාධ්‍යයන්වලින් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවන විට පියුමි ඒවා හාස්‍යයට ගෙන ස්ටෝරීස් දමමින් සිටින බවක් තමයි පෙනුණේ. එක්තරා ප්‍රවෘත්ති වෙබ් අඩවියක “පියුමි හංසමාලිට වැඩ වරදින ලකුණු” නමින් සිරස්තලයක් යොදා තිබුණා. ඇය එයට ප්‍රතිචාර දක්වා තිබුණේ .


“මම නම් හොඳට ඉන්නවා. මට නම් වැරදිලා නෑ. මම ආතල් එකේ ඉන්නවා අනේ” යනුවෙන්.


කොහොම නමුත් මේ පුවතත් සමඟ ඇගේ සිතේ මොන වගේ හැඟීමක් තියෙනවද කියන්න නම් අපි දන්නෙ නෑ. නමුත් ඇගේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝර්ම් තුළ නම් ඇය සුපුරුදු චර්යාවන් අනුව දිවි ගෙවන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.


පියුමි හංසමාලි ඇත්තටම වරදක් කරලා තියෙනවා නම් ඒක නීති ප්‍රකාරව රටට හෙළිවෙයි. ඒ කොහොම වුණත් පියුමි හංසමාලි කියන්නෙ වීදි සුනඛයන් සහ අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් සමාජ සත්කාර රැසක් කරන සංවේදී කෙනෙක්. අන්න ඒ නිසා පියුමිට අපේ රටේ ගොඩක් අය ආදරේ කරන්න පෙලඹිලා තියෙන්නේ. හැබැයි පියුමි වංචාසහගත ඉපැයීම් කරපු තැනැත්තියක් කියලා ඔප්පු වුණොත් ඒ ආදරේ දෙපිටින් යන්න වැඩි කාලයක් ගත වෙන එකක් නෑ. ඒත් ඉතින් මේක ලංකාවනේ. ඕනෑම දෙයක් කාටවත් සති දෙකකට වඩා මතක තියෙන එකකුත් නෑ.



Previous Post Next Post