ගරාජ් එකක් කළත් කමක් නෑ හොඳ මිනිහෙක් වෙන්න කියලයි අම්මා කියන්නේ-දමිතු ඩියුක් ෆර්නැන්ඩෝ



සුන්දර ළමා ලෝකය අපූරුවට විඳිමින් දස්කම් විස්කම් දක්වන පුංචි හපනෙක්. මවුබිමේ නාමය ලොව පුරා බැබළ වූ දිදුලන තාරකාවක්. ඉසව් ගණනාවක් ඔස්සේ සිය කුසලතා විදහා දැක්වූ ළමා නළුවෙක් පිළිබඳව පාඨක ඔබ වෙත තොරතුරු ගෙන ඒමටයි අද සූදානම. ඉකුත්දා. “ලොව හොඳම ළමා නළුවා”ට හිමි සම්මානය දිනාගත් දමිතු ඩියුක් ෆර්නැන්ඩෝ මෙවර අප සමඟ එක්වුණා. 


1. ඉතින් දමිතු කොහොමද පුතේ මේ දවස්වල වැඩකටයුතු?


 හොඳින් මේ දවස්වල වැඩකටයුතු කරගෙන යනවා. මේ දවස්වල ගොඩක්ම කෙරෙන්නේ වෙළෙඳ දැන්වීම්. ඒ වගේම ඩබිං ගොඩක් කරනවා. භූත බංගලාවේ (සීසන් 3) රොකීල් කියන ප්‍රධාන චරිතයට මම තමයි දැන් හඬ කවන්නෙ. සිරස එෆ්.එම්. එකේ සති පාසලෙත් මං මේ දවස්වල වැඩ කරනවා.


2. ලොව හොඳම ළමා නළුවාට හිමි සම්මානය මෑතකදී ඔබට හිමි වුණා. ඉතින් එදා දැනුණ හැඟීම විස්තර කළොත්?


 මට ගොඩක් සතුටු හිතුණා. ඒ වුණාට මට ඉන්දියාවට යන්න හම්බවුණේ නෑ. ඉන්දියාවේ තමයි උත්සවය තිබුණේ. සහතිකය මට එව්වා. ඉතින් මට ගොඩක් සතුටු හිතුණා. ලෝකෙන්ම හොඳම ළමා නළුවා වුණාම.


3. සම්මානයට නිර්දේශ වූ “our love is forever” කෙටි චිත්‍රපටයේ පුතා රඟදැක්වූ චරිතය පිළිබඳ විස්තර ටිකක් කියමුකෝ?


මම ඒකෙ ඉන්නෙ හොල්මනකට. ඒ කතාවෙ මම ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. ඊට පස්සෙ මගෙ අම්මට මාව පෙනෙන්න පටන් අරන් එයත් අමුතු විධියට ලෙඩ වෙනවා. ඒක දැකලා තාත්තටත් පිස්සු හැදෙනවා. පස්සෙ අම්මත් මැරිලා හොල්මනක් වෙනවා. තාත්තව පොලිසියෙන් අරන් යනවා. ඔහොම දේවල් ටිකක් තමයි ඒ කතාවෙ සිද්ධ වෙන්නේ ඒක ඇත්තට අද්භූත කතාවක්.


4. ඉතින් දමිතුට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මට හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඉස්කෝලෙන් එහෙම මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ටීචර්ස්ලා මට හරි ආදරෙයි. යාළුවොත් එහෙමයි. එතකොට මම රඟපාපු ඒවා දැකලා අපි මොනරාගල, කුරුණෑගල පැතිවලට යනකොට එහෙම ආච්චිලා සීයලා මං දිහා බලාගෙන හිනාවෙනවා. ඒ විතරක් නෙවෙයි මං අඬන ඒවා දැකලා සතුට වැඩිකමට අඬනවා. එයාලා මං එනකොට මට ගෙදරින් කෑම ගේනවා. අළුවා හදන් එනවා. මොනරාගල ඩොංකා කියලා පලතුරක් තියෙනවා. මම ඒවට ආසයි. ඒවා ගෙනල්ලා දෙනවා. දවසක් ඩොංකා ගෝනියක්ම ගෙදරටත් ගෙනල්ලා දුන්නා. ඉතින් හැමෝම මට ගොඩක් ආදරෙයි.


5. රංගනයට අමතරව දමිතුට තිබෙන වෙනත් දක්ෂතා මොනවාද?


මට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩ්ඩක් ගායනය කරන්න පුළුවන්. නටන්න පුළුවන්. හොඳට ගිටාර් ගහන්නත් පුළුවන්. ඩබින් කරන්න පුළුවන්. බැට්මින්ටන් ගහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මට නිවේදනය කරන්නත් පුළුවන්. කථික පුළුවන්. මම හත ශේ‍ර්ණියේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් කරපු තර්ක සමස්ත ලංකා තරගාවලියෙන් හොඳම කථිකයා වුණා. ලස්සනට කතන්දර ලියන්නත් මට පුළුවන්.


6. දමිතු අංගම්පොර සටන් කලාවටත් දක්ෂයි නේද? යොමුවුණේ කොහොමද?


මම යොමුවුණේ අපේ තාත්තගෙන්. තාත්තා අංගම්පොර සටන් කලා ගුරුවරයෙක්. ඒ වගේම සටන් අධ්‍යක්ෂවරයෙක්. දැනට ඉන්න ලංකාවෙන්ම හොඳම සටන් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් තාත්තා මට පොඩි කාලෙ ඉඳන්ම උගන්නනවා. අපේ අම්මා නම් කියනවා මං බඩේ ඉද්දිත් අංගම්පොර කරලා පයින් ගැහුවා කියලා.


7. දමිතුගේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පවුලෙන් ගොඩක් සහයෝගයක් ලබා දෙනවා. තාත්තා තමයි මට ගොඩක් දේවල් කියලා දෙන්නේ. නිවේදනය, කථික, රංගනය, නැටුම් මේ වගේ ගොඩක් දේවල් අපේ තාත්තා තමයි මට කියලා දෙන්නේ. එයා තමයි මගේ කලා දිවියේ මේ වෙනකල් උදවු කළේ. ෂූටින් යන්න අම්මා එනවා. අම්මා තමයි රස රස කෑම හදලා දෙන්නේ. හැමදාම රස රස කෑම හදනවා. හැමදාම මට පොත්වල වැඩවලට, ඉස්කෝලේ වැඩවලට උදවු කරනවා. අපි ෂූටින් යනකොටත් ඉගෙනගන්න වැඩ ටිකත් බැලන්ස් කරගෙන පොත් අරන් ගිහිල්ලා වැඩ කරනවා. අම්මා මාත් එක්ක පස්සෙන්ම ඉන්නවා. අපේ අයියා තමයි ගොඩක් මගේ ඉගෙන ගන්න දේවල්වලට උදවු කරන්නේ. අයියා මට ගොඩක් අමාරු දේවල් කියලා දෙනවා. විද්‍යාව එහෙම කියලා දෙනවා. මං පන්තියේ පළමු වැනියා. සෙක්ෂන් එකෙත් පළමු වැනියා. ඒවටත් මට අපේ අයියා ගොඩක් උදවු කරනවා. අයියා දැන් ඉන්නේ එකොළහේ. මගේ අයියත් තරගයකින් ලෝකෙන්ම පළමුවැනියා වෙලා තියෙනවා.


8. දමිතුගේ පෞද්ගලික තොරතුරු බිඳක් කිව්වොත්?


මගේ නම දමිතු ෆර්නැන්ඩෝ. ඒ වුණාට  මට දිග නමක් තියෙනවා. ඒ තමයි වන්නකුවත්ත වඩුගේ දමිතු ඩියුක් රක්දිත ෆර්නැන්ඩෝ. මට වයස අවුරුදු ‍ෙදාළහයි. මම හත වසරේ ඉගෙන ගන්නේ. වේල්ස් කුමර විද්‍යාලයේ තමයි මම ඉගෙන ගන්නේ. මම ඉන්නේ මොරටුවේ. අම්මයි, තාත්තයි, අයියයි තමයි මගේ පවුලේ ඉන්නේ.


9. පුතා මේ දවස්වල රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද?


ගොඩක් වෙළෙඳ දැන්වීම්වල ඉන්නවා. නාට්‍ය තුනක් තියෙනවා. තාම එකක භාගයයි ෂූට් කරලා තියෙන්නේ. තාම ටෙලිකාස්ට් වුණේ නැහැ. දුම්කොළ මහත්තයා, වෛතාලේ, ධවල දෙගිරාවෙත් ඉන්නවා. දුම්කොළ මහත්තයා එකේ මම ඉන්නේ උක්කුන්ට, වෛතාලේ එකේ මම අකිලට ඉන්නවා, ධවල දෙගිරාවේ ඉන්නේ ගංගු කියලා තනිකරම ගොළු ළමයෙක්ට. ඒ කතාව හරි ලස්සනයි. අන්ධ ගම්මානෙක ඉන්න එකම ඇස් පෙනෙන කෙනා මම ඒත් මම ගොළුයි.


10. දමිතු මුලින්ම රංගනයෙන් දායක වූ නිර්මාණය ගැනත් මතක් කරමුද?


අරුණි නැන්දා එක්ක විෂුවල් එකක රඟපෑවා. ඒක තමා මගේ පළමු වැනි නිර්මාණය. ඊට පස්සේ පෝය ඩ්‍රාමාවල රඟපෑවා. පස්සේ අකුරු මැකී නෑ, මහපොළොව වගේ ගොඩක් නිර්මාණවල රඟපෑවා. ලොකු චරිතයක් විදිහට මෙගා නාට්‍යයක් කළේ අකුරු මැකී නෑ එකේ. මගේ අයියා, අප්පච්චි, පාට හොයන කුරුල්ලෝ, රැහැන්, ඉරිතැළුණු මල් පෙති වගේ ගොඩක් නිර්මාණවලට මම සම්බන්ධ වුණා.


11. රූගත කිරීම් අතරතුර සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙමත් දමිතුට ඇති නේද මතක් කරමුද?


ගොඩාක් තියෙනවා. අකුරු මැකී නෑ එකේ ගෙම්බෙක්ව අතේ තියාගෙන ෂූට් කරන්න තිබ්බා. ඒ ගෙම්බා අතේ තියං ඉන්නකොට දැනුණු විදිහ හරි අමුතුයි. හරි සොෆ්ට්. ලොකු ගෙම්බෙක්. තව කුරුල්ලෙක් අතේ තියං කූඩුවකට දාන්න තිබ්බා. කුරුල්ලා මගේ අතේ වෙව්ලනවා. ඊළඟ දවසේ එයා මැරුණා. අපි එයාට පූජාවකුත් තියල එතැන පැළේකුත් හිටෙව්වා. ඉතින් පව් කියලා හිතුණා. මාළුවෙක් කටේ තියාගෙන ජෝග්ගුවකට දාන්න තිබ්බා. ඇත්තටම මම මාළුවෙක් කටේ තියන් හිටියේ. ඒ සාරිගප්පියෙක්. හැමෝම ඉතින් එදා මට අත්පුඩි ගැහුවා.


12. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා දමිතුට දක්වන සහයෝගය කොහොමද?


ලොකු සහයෝගයක් දක්වනවා. තේරෙන්නේ නැති ගොඩක් තැන් මට කියලා දෙනවා. තේ හදන එක පවා මට කියලා දෙනවා ගොඩක් ආදරෙන්.


13. දමිතුගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ අනාගත බලාපොරොත්තුව තමයි ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වෙන්න. ඒක ලොකු බලාපොරොත්තුවක්. මම කැමැතියි පඩිපෙළ නඟිනවා වගේ යටි පඩියේ ඉඳන් උඩට නිහතමානීව නැඟගෙන යන්න. අපේ අම්මා නම් කියන්නේ ගරාජ් එකක් දාගත්තත් කමක් නෑ රටට හොඳ මිනිහෙක් වෙන්න කියලා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post