අපි දෙන්නා ගත්තොත් එකිනෙකාට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්-ෆේනු




මේ දිනවල සමාජ මාධ්‍යය තුළ හුවමාරු වෙන සටහනක් නිසා අක්කා නගෝ දෙන්නෙක් ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. අක්කා තමයි මුලින්ම කලාවට එන්නේ. නමුත් අක්කා කලාවෙන් ඉක්මනින්ම සමුගෙන යද්දී නංගි කලා ක්ෂේත්‍රයට එනවා. නංගි නම් කලාවෙන් අක්කට වඩා ලොකු දුරක් යනවා. මේ අක්කා සහ නංගි තමයි ධනුෂිකා වීරප්පෙරුම සහ ඩිලුක්ෂි කාවින්ද්‍යා වීරප්පෙරුම. එහෙම කිව්වට අක්කා නම් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණේ ෆේනු වීරප්පෙරුම නමින්. ඇය දැන් ෆේනු රණතුංග නමින් වෙනස් වෙලා. ඒ ඇය විවාහ වී සිටින්නේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අර්ජුන රණතුංගයන්ගේ පුතු වූ ධ්‍යාන් රණතුංග සමඟ නිසා. අද වෙද්දී ඇ‍ෙමරිකාවේ ජිවතවෙන ෆේනු ගැන සහ ඇගේ සොයුරිය ගැන සමාජ මාධ්‍යය තුළ කතාබහක් ඇතිවෙලා තියෙන නිසාත් ඒ ගැන දැනෙන හැඟෙන දේ දැනගන්න අපි ෆේනුට කතා කළා.


කොහොමද ජීවිතේ,මේ කාලයේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ මොනවටද?


මේ දවස්වල වැඩි කාලයක් ගත වෙන්නේ මගේ පුතා සහස් එක්ක. සහස් ඉපදිලා එයාට අවුරුද්දක් ලැබුවා විතරයි. එයා හරිම දඟයි. එක තැනක ඉන්නත් බැහැ. ඇවිදින්න ඕනේ. එයත් එක්ක දවස තිස්සේ එහෙට මෙහෙට දුව දුව කෑම කවන එක තමයි මේ දවස්වල ජීවිතේ වැඩි හරියක්ම වෙන්නේ.


කාලෙකට පස්සෙ අක්කා නගෝ ගැන සමාජ මාධ්‍යය තුළ කතාබහක් ඇතිවෙලා. ඒ දේවල් දකිද්දි මොකද හිතුණේ?


ඔව්. කාලෙකට පස්සේ සමාජ මාධ්‍යය ඔස්සේ දැක්කම චුට්ටක් ලැජ්ජත් හිතුණා. හැබැයි හරිම ලස්සනට මුහුණුපොතට නංගියි මමයි ගැන සටහන ලියලා තිබ්බා. ඒ සටහන තබපු කෙනාටත් ස්තුතියි කියන්න ඕනේ.


අද නංගි රටේ ජනප්‍රිය චරිතයක්. එ් ගැන මොකද හිතෙන්නෙ?


නංගි නම් සෑහෙන ජනප්‍රියයි. එයා මේ තැනට එන්න සෑහෙන කාලයක් මහන්සි වෙලා වැඩ කළා. එයා ආව ගමන දිහා සහ අද එයා ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි. එයාගේ රඟපෑම ගැන වචනවලින් කියන්න දෙයක් නැහැ. හරිම තාත්වික විදිහට එයාට ලැබෙන නිර්මාණවලට එයා එයාගේ උපරිම කැපවීම කරනවා. මම හිතනවා ඉදිරියටත් තව තවත් එයා ජනප්‍රිය වෙයි. එයා කරන දේ වෙනුවෙන් මහන්සි වෙන කැපවෙන චරිතයක්.


ෆේනු තමයි කලාවට මුලින්ම එන්නෙ. අද වෙද්දී කලාවෙන් ඈත්ව ගත කරන ජීවිතේ කොහොමද?


මම තමයි මුලින්ම කලාවට ආවේ. මම ආවෙත් උදයකාන්ත වර්ණසූරිය මහතාගේ චැලෙන්ජර්ස් ෆිල්ම් එකෙන්. එතැනින් පස්සේ ගොඩක්ම මම කළේ ප්‍රවෘත්ති නිවේදනය සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම්. ඊට පස්සේ ටෙලි නාට්‍ය තුන හතරකට සහ වෙළඳ දැන්වීම් වගේම මියුසික් වීඩියෝ කළා. ඊට පස්සේ මම ගුවන් සේවිකාවක් වුණා. ඒකත් එක්ක මට රඟපාන්න කාලයක් තිබ්බේ නැහැ.


හිතෙන්නෙ නැද්ද ආයේ රඟපාන්න?


එහෙම අදහසක් නැහැ. දැන් ඉතින් නංගි ඉන්නවනේ. නංගි අපේ මුළු පවුලටම ඇති වෙන්න රඟපානවා. ආයේ අපි කවුරුත් ආසාවකටවත් රංගනයට එන්න ඕනේ නැහැ. නංගි රංගනය කියන දේ හොඳින්ම කරනවා.


අක්කටයි නංගිටයි එකම නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද?


මම හිතන්නේ නැහැ එහෙම අපි දෙන්නටම එකම නිර්මාණයකට ආරාධනා ලැබෙයි කියලා. අපි දෙන්නා ගත්තොත් එකිනෙකාට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. එහෙම ඇරියුමක් ලැබුණත් මම දන්නේ නැහැ මම කරයිද කියලා. මම ඇත්තටම දැන් රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ගොඩක් කල්. මට ආයේ එතැනට එන්න අමාරුයි. රඟපාන එක ලේසි නැහැ. සෑහෙන අමාරු වැඩක්. මිනිස්සුන්ට ටීවී එක බලද්දී හිතෙනවා මේක හරි ලේසි දෙයක්නේ කියලා. අම්මෝ ඒක පොඩ්ඩක්වත් ලේසි දෙයක් නෙවෙයි. ඉස්සර මට චරිතයක් ලැබුණාම ඒක කියවලා කියවලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මුහුණේ ඉරියව් ගන්නේ කොහොමද වොයිස් එක ගන්නේ කොහොමද කියන එක හිතලා තමයි ඒ චරිතය භාර ගන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ මට ඒක ආයේ කරන්න පුළුවන් කියලා.


පවුලේ ඉන්නෙ ඔය දෙන්න විතරයි ද?


ඔව්. අම්මයි තාත්තයි මායි නංගියි. නංගි මට වඩා අවුරුදු හතක් බාලයි.


කොහොමද දෙන්නගෙ ළමා කාලයේ මතක?


නංගි කොහොමත් මම කරන දේ බලලා කරන්නේ. ඒ දවස්වල නම් තරහත් යනවා. මොකද අම්මා මට තමයි බණින්නේ ඔයා ඔහොම කරනකොට තමයි නංගිත් ඒ දේ බලාගෙන කරන්නේ කියලා. අවුරුදු හතක පරතරයක් නිසා ඒ කාලේ මම කරන දේවල් නංගිට ගැළපුණේ නැහැ. නංගි එක්ක ලොකුවට රණ්ඩු වෙලත් නැහැ. සාමාන්‍ය රණ්ඩු තිබ්බා. නංගි මට චුට්ටක් විතර බයයි. මම හිතන්නේ මට විතරයි එයා බය. ඕනේ නැති වැඩ කරලා මගෙන් නම් ඇති වෙන්න ගුටි කාලා තියෙනවා. හැබැයි කියන්නම ඕනේ මගේ නංගි කියන්නේ හරිම ආදරණීය චරිතයක්. එයා ගෙදර නැත්නම් මුළු ගේම පාළුයි. එයා ඉන්න වෙලාවට කෑගහලා දඟලලා හිනා වෙලා ඉන්න නිසා දවස ගතවෙනවා දැනෙන්නේ නැහැ. අපි දෙන්නගේ ළමා කාලය හරිම සුන්දරයි. මම හරියට එන්ජෝයි කරනවා අපි දෙන්නගේ මතක. මම ඇ‍ෙමරිකාවේ ඉන්න නිසා නංගි ළඟ නැති පාළුව ගොඩක් දැනෙනවා.


දෙන්නගෙන් සැර කවුද?


දෙන්නගෙන් සැර නම් නංගි තමයි. පොඩ්ඩක් නෙවෙයි එයා හොඳටම සැරයි. මම හිතන්නේ එයා ගොඩක් සංවේදී කෙනෙක්. ඒ නිසාම තමයි මම හිතන්නේ ඉක්මනින් දුක් වෙනවා වගේම සැරත් වෙනවා. ඒකයි මම කිව්වේ මට විතරයි බය කියලා. මට විතරයි එයා පවුලේ සැර වෙන්නේ නැත්තේ. සැර වගේම හරි හොඳයි.


ෆෙනුගේ ළමා කාලයේ සුන්දර මතක ඇති?


සුන්දර මතක ගොඩක් තියෙනවා. මට අද කිව්වොත් ආයේ ඉස්කෝලේ යන්න කියලා මම යනවා. එච්චරටම ආසයි. තාම මගේ ඉන්නේ පාසලේ එක වසරේ ඉඳන් හිටපු යාලුවෝ. දැන් වගේ නෙවෙයි අපි ඒ කාලේ ක්‍රීඩාවට සහ බාහිර ක්‍රියාකාරකමවලට තමයි ගොඩක් කාලය වෙන් කළේ. සමහර වෙලාවට මට හිතෙනවා ආයෙම අවුරුදු දෙක තුනකට හරි ළමා කාලයට යන්න තියෙනවා නම් මම පැනලා යනවා කියලා.


ෆේනුගේ දැන් පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත්?


මගේ මහත්තයා ධ්‍යාන් රණතුංග. එයා ඇ‍ෙමරිකාවේ වැඩ කරන්නේ. ඒ නිසා එයාව බැන්දම ඇ‍ෙමරිකාවට ආවා. අපි දෙන්නා දැන් විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. අපිට අවුරුද්දක පුතෙක් ඉන්නවා. සහස් රණතුංග. එයා තමයි අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. අපේ මුළු වෙලාවම එයාට තමයි දෙන්නේ. මගේ හස්බන්ඩ් මට ලොකු සහයෝගයක් දෙන කෙනෙක්. ඒ නිසා මම ඇත්තටම ඉන්නේ සැහැල්ලුවෙන්. එයා තමයි ගොඩක් වෙලාවට ගෙදර උයන්නේ සහ බබාගේ කෑම ටික හදන්නේ. කොයිතරම් සහයෝගයක් දෙනවද කියනවා නම් එයා දැක්කා බබා ලැබුණු මුල් මාස තුනේම මම සැරින් සැරේ නැඟිට නැඟිට බබාට කිරි දෙන එකට කොච්චර මහන්සි වුණාද කියලා. ඒ කාලයේ අපි දෙන්නම මහන්සි වුණා. මම සාමාන්‍යයෙන් රෑ 9 වෙද්දී නිදා ගන්න කෙනෙක්. එයා මට කිව්වා ඔයා නවය වෙනකොට නිදා ගන්න මම නවයේ ඉඳන් උදේ වෙනකම් බබා බලා ගන්නම් කියලා. මම ඉතින් ආයේ උදේ හයට නැඟිටින්නේ. එතකොට මට මාර ෆ්‍රෙෂ් පිට දවස පටන් ගන්න පුළුවන්. ඒ තරම් එයා සපෝටිව්. මම ඉල්ලන ඕනෙම දෙයක් ඒ වෙලාවේම මට අරන් දෙනවා. පෞද්ගලික ජීවිතේ මම සතුටින් ඉන්නේ මගේ හස්බන්ඩ් සහ මගේ දරුවා නිසා.


ධ්‍යාන් කියන්නෙ අර්ජුන රණතුංගගෙ පුතානේ, කොහොමද මේ ෆේනු – ධ්‍යාන් ආදර කතාව පටන් ගත්තේ


2018 දී ධ්‍යාන් සහ මම හම්බෙන්නේ අපි දෙන්නගෙම යාලුවෙක් හරහා. එයා තමයි අමේෂ. අමේෂ කියන්නේ එයාර් ලංකා එකේ මගේ කණ්ඩායමේ යාළුවෙක් වගේම ධ්‍යාන්ගේ ස්කොලේ යාළුවෙක්. එයාගේ වෙඩින් එකේ දී තමයි අපි දෙන්නා මුලින්ම දැක්කේ. ඒ 2018 ජනවාරි මාසයේ. එතකොට අපි අතර මුකුත් ඇති වුණේ නැහැ. මටත් ඒ වෙද්දී ආදරයක් සහ ධ්‍යාන්ටත් වෙනම ආදරයක් තිබ්බා. කොහොම හරි ඒක නැති වුණාට පස්සේ ධ්‍යාන් අමේෂගෙන් අහලා තිබ්බා එදා වෙඩින් එකේ දැක්ක මගේ ගැන. එතකොට මමත් මගේ ආදර කතාව නතර කරලා හිටියේ. අමේෂ ඒකත් කියලා තිබුණා ධ්‍යාන්ට. අමේෂ මගේ නම්බර් එක දීලා කියලා තියෙනවා එයාට කෙළින්ම කතා කරන්න එපා ෆේස්බුක් එකේ හරි ඉන්ස්ටග්‍රෑම් හරි මැසේජ් එකක් දාන්න, එයා රිප්ලයි කළොත් කතා කරන්න කියලා. කොහොමහරි මැසෙන්ජර් හරහා තමයි අපි කතා කරන්න ගත්තේ. අපි අවුරුදු දෙකක් වගේ කාලයක් මැසේජ් කළා. ඒ වෙද්දීත් එයා හිටියේ රට. එයා කියනවා මම තමයි ඉස්සෙල්ලම එයාගෙන් ඇහුවේ කියලා. ටෙක්නිකලි ඔව්. එයා නිවාඩුවට ලංකාවට ආව වෙලාවේ මට හම්බුණේ. ඒකත් ලංකාවෙන් යන්න ඔන්න මෙන්න තියලා. එයාට මම තැන් දෙක තුනක් කිව්වා එන්න කියලා. ඒ කිව්වේ මම මගේ යාළුවෝ ඉන්න තැන්. ඒ නිසා එයා ඒ තැන්වලට එන්නේ නැතුව මඟහැරියා. තුන්වෙනි පාර මම කිව්වා මෙහෙමයි මට ෆෝන් එකෙන් කතා කරලා රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ඕනේ නැහැ. මම යාළුවෙනවා නම් දැන් යාළුවෙන්නේ ලයිෆ් එකේ සෙට්ල් වෙන්න බලාගෙන. එහෙම නැතුව ෆන් එකට කා එක්කවත් මැසේජ් කරන්නේ නැහැ. අද එනවා නම් එන්න කියලා කිව්වා. එහෙම තමයි අපි මුලින්ම හම්බුණේ.


එතකොට දැනගෙන හිටියද ධ්‍යාන් කියන්නෙ අර්ජුන රණතුංගගෙ පුතා කියලා.


නැහැ. ඒක දැනගත්තම ඒක පොඩි නෙගටිව් පොයින්ට් එකක් වුණේ. මොකද මම කැමති වුණේ නැහැ එච්චර ලොකු පවුලකට යන්න. මොකද මම ලොකු ලොකු පවුල් ගැන අහලා සහ දැකලා තිබ්බේ හොඳ දේවල් නොවන නිසා. හැබැයි ධ්‍යාන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා හරිම යටහත් පහත් නිහතමානී කෙනෙක්. එයා කොතැනකදීවත් කියන්නේ නැහැ එයා කාගේ කවුද කියලා. මම ඒකට තමයි එයාගේ වැඩියෙන්ම කැමති වුණේ. එයා ගොඩක් අහිංසක ගොඩක් මිනිසුන්ට උදව් කරන ආදරේ කරන මනුස්සයෙක්. 2020දී අපි කසාද බැන්දා. කොවිඩ් ප්‍රශ්න එක්ක මට ඒ අවුරුද්දෙම ඇ‍ෙමරිකාවට යන්න බැරි වුණා. 2022 ඉඳන් තමයි අපි දෙන්නා හරියටම එකට ජීවත් වෙන්න පටන් ගත්තේ.


ෆේනු කියන්නෙ දැන් හොඳ ව්‍යවසායිකාවක්නේ. ඉදිරි ඉලක්ක අරමුණු මොනවද?


මේ ටිකේ නම් මම ගෙදර ඉන්නේ. ලොකුවට වැඩ ගැන හිතලා නැහැ. සහස් වෙනුවෙන්ම වැඩි කාලයක් දීලා ඉන්න නිසා. නමුත් ධ්‍යාන් සහ මගේ අදහසක් අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න. ලබන අවුරුද්දේ වගේ ඒක පටන් ගන්න ඉඩ තියෙනවා. පටන් ගත්තම ඒ ගැන විස්තර කියන්නම්.


ෆේනුව තාමත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙන එක ගැන මොකද හිතෙන්නෙ?


මාව තාම මතක තියෙන එක ගැන සතුටුයි. මම හිතන්නේ මාව මතක තියෙන්නේ මම හිටපු දිගු දෑස මියුසික් වීඩියෝ එක නිසා සහ චැලෙන්ජර්ස් ෆිල්ම් එකත් හැම අවුරුද්දකටම සැරයක් වගේ තාම රූපවාහිනියේ පෙන්වන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ආයෙම මා ගැන මතක් වෙන්නේ ඩිලු හින්දා. එයා යන හැම ප්‍රෝග්‍රෑම් එකකම මගේ ගැන කතා වෙනවා. මාව පොඩියට හරි මිනිසුන්ගේ මතක අතර ඉන්න එක ගැන නිහතමානිව සතුටු වෙනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post