ඒ විෂ් එක දුරදිග ගිහින් තමයි ආදරයක් බවට පෙරළුණේ-ගීත්මා බණ්ඩාර




පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතිය ඇයයි. සංගීතේ අසෙනි, සංසාරිණීහි අනගි මෙන්ම සැබෑ ජීවිතයේ ගීත්මා ද ආදරණීය පෙම්වතියකි. අසෙනි – මහී, අනගී – තිහස්වර මෙන්ම ගීත්මා – රමිත් ආදර කතාව ද බාධක හමුවේ නොසැලෙමින් හෙමින් හෙමින් ඉදිරියට ගලා යන්නකි. රමිත් ඇගේ සෙවණැල්ල මෙන් ඇය පසුපස සිටින බව ද රහසක් නොවේ. අද අපේ කතාබහට එක්වන්නේ ගීත්මා බණ්ඩාර සහ රමිත් ජයසූරියයි. ඇය ප්‍රේක්ෂක හදවත් තදින් බැඳගත් දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියකි. ඔහු වාහන සම්බන්ධ ව්‍යාපාර ආයතනයක අධ්‍යක්ෂවරයෙකි. දෙදෙනාම එක්ව තම ආදර කතාව පුවත්පතකට පැවසූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. පළමුව ගීත්මා බණ්ඩාර අප හා කතාබහට එක්වූයේ මේ දිනවල පුංචි තිරයේ සිදුවන වෙනස්කම් ගැන ද කතාබහට ලක්කරමිනි.


අසෙනි – මහී ආදර කතාව බිඳවැටීමත් එක්ක ප්‍රේක්ෂකයන් ගොඩක් කලබල වුණා නේද?


සංගීතේ ටෙලි නිර්මාණයේ අසෙනියි මහීයි දැන් දුරස් වෙලා. අපි නොහිතන විදිහට නොහිතන තැන්වලදි ජීවිතය වෙනස් වෙනවා. අසෙනි – මහී ආදර කතාවට ප්‍රේක්ෂකයන් කොතරම් බැඳිල ද කියනවා නම් ඔවුන් හිතන්නේ සැබෑ ජීවිතේදිත් අපි ආදරවන්තයන් කියලා. මේ දවස්වල සමාජ මාධ්‍යවල ලොකු කැම්පේන් එකකුත් යනවා අසෙනියි මහීයි ආයෙම එකතු කරන්න ඕන කියලා. අපි කවදාවත් හිතුවෙ නෑ කතාව පටන් ගනිද්දි මේ වගේ යුගයක් බිහි වේවි කියලා. ඇත්තටම සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාරවලට.


අනගි කියන්නෙත් පහුගිය කාලෙ ගොඩක් කරදරවලට මුහුණ දුන්න කෙනෙක්?


ඔව්. සංසාරිණී ටෙලි නිර්මාණයේ අනගිගෙ චරිතය තුළින් මට කාන්තාවකගේ ජීවිතේ විවිධ අවස්ථා පිළිබිඹු කරන්න අවස්ථාව ලැබුණා. කැරැක්ටර් එකේ අඩු වෙන්න ඕන තැන්, වැඩි වෙන්න ඕන තැන් හොඳින් පැහැදිලි කරල දීලා අධ්‍යක්ෂ දිල්ෂාන් අමරතුංග අනගි ගොඩනඟා ගන්න මට ලොකු සහායක් දුන්නා. අනගි සාර්ථකව ගොඩනැඟුවේ ඔහු. කාන්තාවකගේ ජීවිතේ වෙන්න පුළුවන් හැමදේකටම වගේ අනගිගෙ චරිතය ඇතුළෙ මං මුහුණ දුන්නා. මේ වගේ දෙයක් කරද්දි කාන්තාවක් විදිහට සමහර වෙලාවට මගෙත් හිත හෙළවුණා.  


ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


අනගිට මුල ඉඳන්ම ඉහළ ප්‍රතිචාර ලැබුණා. තාත්තත් නැතුව ගේ ඇතුළෙම හැදුණු දරුවෙක් නිසා අනගි මුලදි නපුරුයි. පොඩි පොඩි මුරණ්ඩුකම් තිබුණා. ඒ නිසා ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම සංගීතේ අසෙනිගෙ චරිතෙටත් හැමදාම ප්‍රතිචාර ලැබුණා. මේ දවස්වල අසෙනි මහී තරහ වෙලා නිසා විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා.


ගීත්මා කියන්නෙ දැන් වසර ගණනක සිට ජනප්‍රියත්වය ස්ථාවරව පවත්වාගෙන යන කෙනෙක්. කොහොමද එහෙම වෙන්නෙ?


තමන්ට ගැළපෙන, කලාවටත් යමක් කරන්න පුළුවන්, ප්‍රේක්ෂකයාටත් දැනෙන නිර්මාණ තෝරගත්තොත් මං හිතන්නෙ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. මං දන්නවා මගේ කැපෑසිටි එක. ඒ කැපෑසිටි එක ඇතුළෙ මට යමක් කරන්න පුළුවන්. සමාජයටත් බලපෑමක් තියෙන මගේ පෞද්ගලික ජීවිතේටත් හානියක් නොවෙන චරිතයක් නම් මං ඒක භාර ගන්නවා. මට සුදුසු නිර්මාණ මං තෝරගත්ත නිසා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්නත් භාග්‍යවන්ත වුණා.


මෙගා නාට්‍යවලට කොටුවීම ගැන මොකද හිතෙන්නෙ? මෙගා නාට්‍ය ජනප්‍රියත්වයට හේතුවක් කියලද හිතන්නේ?


අනිවාර්යයෙන්ම. මෙගා නාට්‍ය හරහා ජනප්‍රියත්වය ලැබෙනවා. ඒක කොටුවීමක් විදිහට මං නම් දකින්නෙ නෑ. කවුරු කොහොම කිව්වත් ගොඩක් දෙනෙක් කැමැතියි මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ඒක ආර්ථික වශයෙනුත් කලාකරුවෙක්ට වැදගත්. මමත් සීමිත කොටස් සහිත නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා තාම විකාශය වෙලා නෑ. විකාශය වන කාලය ගැන දැනුම්වත් වෙලා ඒවට සම්බන්ධ වෙනව නම් වටිනවා කියලයි මට හිතෙන්නේ.


ගීත්මා දැන් චැම්පියන් ස්ටාර්වල දකින්න නැත්තෙ ඇයි?


මං මෙගා නාට්‍ය දෙකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා ඒවල ෂූටින් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. සමහර දවස්වල චැම්පියන් ස්ටාර් රෙකෝඩිනුත් එදාටම වැටිලා සම්බන්ධ වෙන්න බැරි අවස්ථා උදාවුණා. එහෙම වුණහම ඒ වැඩසටහනට අසාධාරණයක් වේවි කියලා හිතුණ නිසා මං ඒකෙන් ඉල්ලා අස්වුණා.


ගීත්මා – රමිත් ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නෑනේ. මොකක්ද මේ විවාහ උත්සවය කන්දක් උඩ ගන්නවා කියන කතාව?


අනේ, ඒක මං විහිළුවට කියපු කතාවක්. දැන් ඒක දුර දිග ගිහින් කවුරුත් හිතන්නෙ මං කන්දක් උඩ වෙඩින් එක ගනීවි කියලා. අපි අර යාළු වුණු මුල් දවස්වල නිකන් කීමට කියනවනේ කන්දක් උඩ පැලක් හදාගෙන සම්බෝලයි බතුයි කකා ඉන්නයි ප්ලෑන් කළේ දැන් ඒ වගේ ලොකු ලොකු ප්ලෑන් නෑ කියලා. එහෙම විහිළුවට කියපු කතාවක් තමයි ඔය කියන්නෙ.


ගීත්මා – රමිත් ආදර කතාව පටන් ගන්නෙත් ටෙලි නාට්‍යයක් වගේ නේද?


ඔව්, ඔව්, ඒක ටිකක් දිග කතාවක්. මං පුංචි කාලෙ ඉඳන්ම පාසල් නිවාඩුවට ෆැමිලි එකත් එක්ක නුවරඑළියේ යනවා. හැමදාම නවතින්නේ එකම විලා එකක. රමිත් එක්ක යාළු වුණු අවුරුද්දෙ ඔය ට්‍රිප් එක යද්දි අපේ පුංචිලා පුදුම උනන්දුවෙන් මාව අරන් ගියා. යද්දි කිව්වා මේ විලා එක පිට අයටත් දැන් රෙන්ට් අවුට් කරන්න යන්නේ. ඒ නිසා පොඩි මාකටින් පාරක් දෙමු කියලා. සාමාන්‍යයෙන් මං ඕන තැනක ගියහම ෆොටෝ එකක් එක්ක පොඩි ස්ටෝරියක් දානවනේ. එහේට ගියහම තමයි දැනගත්තෙ මෙයාල මට හොරෙන් ෆොටෝ ෂූට් එකක් කරන්න ලෑස්ති කරලා කියලා. එතැනට රමිත් එයාගෙ අයියත් එක්ක ඇවිත් හිටියා. එයාලා තමයි ඒකෙ ඕනර්ස්ලා. එදාම තමයි මං දැක්කෙත්. එදා ගත්ත ෆොටෝ මට නොකියා පබ්ලිෂ් කරන්න එපා කියන්න තමයි මුලින්ම මං එයාට කතා කළේ. පස්සෙ ටික ටික කතාබහ කරලා දන්නෙම නැතුව ආදරයක් බවට පත්වුණා.


ගීත්මා රමිත්ගේ උපන්දිනේට රෑ 12ට විෂ් කළා කියන කතාව?


ඔව්. මං සාමාන්‍ය යෙන් ගෙදර කෙනෙකුටවත් එහෙම කරලා නෑ. එදා මට හිතුණා මුල්ම කෝල් එක දීලා විෂ් කරන්න. අදටත් මං දන්නෑ ඇයි එහෙම හිතුණෙ කියලා. කොහොම හරි ඒ විෂ් එක දුර දිග ගිහින් තමයි ආදරයක් බවට පෙරළුණේ.


කලා කටයුතුවලට රමිත්ගෙන් ලැබෙන සහාය ගැන කතා කළොත්?


මුලින් නම් එයාට මේ ෆීල්ඩ් එක ගැන කිසි අවබෝධයක් තිබුණෙ නැහැ. රංගන ශිල්පිනියක් කිව්වම පොදුවේ එන චෝදනා ටිකක් තියෙනවනේ. ඒවත් එක්ක එයත් බය වුණා මටත් කටකතා හැදෙයි. ප්‍රශ්න ඇතිවෙයි කියලා. නමුත් කාලෙත් එක්ක තේරුම් ගැනීමත් එක්ක දැන් එයාගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඒත් එක්කම කියන්න ඕන දැන් ෆීල්ඩ් එකේ මට වඩා යාළුවො ඉන්නෙ එයාට. යන යන තැන හැමෝම ආදරේ මට නෙවෙයි එයාට. කෝල් එකක් වුණත් එන්නෙ එයාට. මාව හොයන්නෙත් එයාට කතා කරලා. එයාගෙන් තමයි අහන්නෙ ගීත්මා ඉන්නවද කියලා.


සමහර ශිල්පිනියන් ජනප්‍රියත්වයට හානි වෙයි කියන බයට තමන්ගෙ ආදර කතාව හංගනවා. ඒත් ගීත්මා හරි ඉක්මනට ඒක එළියට දැම්මා?


එකදිගටම ෂූටින් තියෙද්දි, මං මානසිකව වැටෙද්දි එයා මට ලොකු ශක්තියක් වුණා. ඒ ලැබෙන සපෝට් එකත් එක්ක, අවබෝධයත් එක්ක මට හිතුණා තවදුරටත් එයාව හංගගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා. එයාට ලැබෙන්න ඕන ගෞරවය ලැබිය යුතුයි කියලා. ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනේ. ඉතින් මං කියලා දැම්මා.


බොහෝ දෙනෙක් හිතුවේ අසෙනි- මහී පෙම් යුවළ සැබෑ ජිවිතේදිත් පෙම්වතුන් කියලා. ගීත්මා රමිත් ගැන කිව්වම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය කොහොමද?


බොහෝ දෙනෙක් හිතුවේ ලවනුයි මායි ඇත්තටම පෙම්වතුන් කියලා. ඒ වගේ දේවල් කලින් වෙලත් තියෙනවනේ. ලවන් එයාට ගැළපෙන කෙනා තෝරගත්තා. මං මට ගැළපෙන කෙනා හොයාගත්තා. ලවන්ට ඒක විවාහය දක්වා හංගගෙන ඉන්න පුළුවන් වුණා. මං තමයි මුලින්ම මගේ ආදර කතාව එළියට දැම්මේ. අපි අතර එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා හිතපු ප්‍රේක්ෂකයෝ මට චෝදනා කරන්න පටන් ගත්තා ඇයි ඔයා එහෙම කළේ කියලා. හිතුවෙ නැති තරම් ඒක මට බලපෑවා. මම ගොඩක් අඬපු තැන් තිබුණා.


ඒ වෙලාවෙ රමිත්ගෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක් ද?


එයා ගොඩක් වෙලාවට මොළෙන් කල්පනා කරලා ටිකක් සද්ද නැතුව ඉඳලා තමයි ප්‍රතිචාර දක්වන්නේ. අපි බලාපොරොත්තු වුණේ නෑ ඔය තරම් කම් බැක් එකක් තියේවි කියලා. කෝකටත් මං එයාව දැනුවත් කරලයි තිබුණෙ ඔහොම වෙන්න පුළුවන් කියලා. ඔයාට අනිවාර්යයෙන්ම බණීවි කියලා. පෙර සූදානමක් ඇතුව තමයි ඒක එළියට දැම්මේ. රමිත් නිහඬව, හිනාවෙලා හරිම සැහැල්ලුවෙන් ඒ දේ විඳගත්තා. එයා සතුටු වුණා මට ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන එක ගැන.


මේ වෙද්දි කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන රමිත් අද අපේ කතාබහට එක්වුණේ පළමු වතාවට පුවත්පතකට අදහස් දක්වමින්.


ගීත්මා – රමිත් ආදර කතාව දැන් රහසක් නෙවෙයිනේ. ගීත්මා අඳුන ගනිද්දි ඇය රංගන ශිල්පිනියක් කියල දැනගෙන හිටිය ද?


මං කලින් ඉඳන්ම ගී බණ්ඩාර කියල කෙනෙක්ව ෆලෝ කරලා තිබුණා. ඒත් ඒ ගී බණ්ඩාරයි ගීත්මා බණ්ඩාරයි එක්කෙනෙක් කියලා දැනගත්තේ පස්සේ. කලින් මං යාළුවොත් එක්කත් කියල තියෙනවා සංගීතේ ටෙලි නාට්‍යයේ මෙහෙම ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා. එදා විලා එකේදි දැකලා හඳුනගත්තට පස්සේ තමයි දැනගත්තේ ගී බණ්ඩාර නමින් හිටියෙත් මෙයා කියලා. අපි හමුවෙලත් මාසයක් විතර ගිහින් තමයි කතා බහ කළේ. මුලින්ම එයාගෙ ෆොටෝ එයාට නොදන්වා පබ්ලිෂ් කරන්න එපා කියන්න තමයි එයා කතා කළේ. ඒ කතාව පැයක් විතර ඇදුණා. මගේ උපන්දිනේට එයා රෑ දොළහට විෂ් කරපු එක තමයි ගොඩක් දුරදිග ගියේ.


ගීත්මගෙ කැමතිම ගතිගුණය මොකක්ද කියල ඇහුවොත්?


ගීත්මා කියන්නේ පුදුම ඉවසීමක් තියෙන කෙනෙක්. පොඩ්ඩක් තරහ ගියත් සෝඩා බෝතලේ වගේ හරි ඉක්මනින් නිවෙනවා. අපි දෙන්නට සෑහෙන ප්‍රශ්නවලට මුහුණදෙන්න වුණා. ඒ තැන්වලදි එයා පුදුම විදිහට ඉවසුවා. ඒ නිසා තමයි මං හිතන්නේ අවුරුදු තුනහමාරක් විතර දුරක් අපි මේ විදිහට ආවේ.


රමිත්ගෙ ගෙදරින් කැමැති වුණා ද නිළියක් සහකාරිය විදිහට තෝරගන්නවට?


අම්මා, තාත්තා, අයියාගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් නෑදෑයෝ සමහර යාළුවෝ මේක කරන්න එපාම කියන තැන හිටියා. ප්‍රසිද්ධ චරිත පවා කතා කරලා එක එක කතන්දර කිව්වා. එයාටත් ඒ වගේම කියලා තිබුණා. කලාවෙ ඉද්දි විවිධ කතන්දර හැදෙනවා. අනික මං යාළු වුණේ එයා නිළියක් බව දැනගෙන. මට එයාව විශ්වාසයි. ඕනෙම තැනක බයක් නැතුව එයා තියල යන්න පුළුවන්. එයා හරිම ස්වාධීන කාටවත් කරදරයක් නැති එයාගෙ වැඩ එයාම කරගන්න කෙනෙක්. සමහරු කිව්වා එයා මගේ සල්ලිවලට යාළු වුණා කියලා. නෑ ඒක අමූලික බොරුවක්. එයා මගෙන් කිසිම දෙයක් ඉල්ලල නෑ. එයා ඉල්ලන්නෙ ආස කෑමක් විතරයි. ස්ට්‍රෝබෙරි, දූරියන්, චීස් ඔය තුන තියේනම් එයාගෙ ජීවිත කාලෙටම ඇති.


නිළියක් එක්ක සම්බන්ධයක් තියෙද්දි නිදහසට බාධාවක් නෙවේද?


ගීත්මා කියන්නේ හරිම සරල චරිතයක්. මගේ පස්සෙන්මයි. මං පොඩි සිල්ලර කඩයකට ගියත් එයා මගේ පස්සෙන් එනවා. ඕනම කෙනෙක් එක්ක කතා කරනවා. කොයි වෙලාවකවත් එයා නිළියක් විදිහට හැසිරෙන්නෙ නෑ. ඒ නිසා මට හිතෙන්නෙ එයා සාමාන්‍ය කෙල්ලෙක් කියලා.


රමිත් – ගීත්මා විවාහය කවදා විතර වෙයිද?


එයා තාම පෙම්වතියගේ චරිතය රඟපාන නිසා එයාට තව ටිකක් ඉඩ දෙන්න හිතුවා. නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩු වුණොත්. ඒ නිසා තව ටික කාලයක් ඉඳලම විවාහය ගැන හිතනවා.


නාමලී ගමගේ



Previous Post Next Post