එයාට ගරු කිරීමක් විදිහටයි මම එයා එක්ක විවාහ වු‍ණේ චිලී තිවංක




චිලී තිවංක කියන්නේ ගායකයින් අතර මුරණ්ඩු ආඩම්බර චරිතයක් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ප්‍රතිචාර දක්වා තියෙනවා. තාරුණ්‍යයේ හදවත්වලට ආදර ගීතයෙන් ආමන්ත්‍රණය කළ චිලී දැන් වෙනස්ම චරිතයක් බවට පත් වෙලා. ඒ ආදරණීය දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙක් වූ නිසා. කාලයක් නිහඬව හිටපු චිලිව ළඟදීම සිනමාවෙනුත් දකින්න ලැබෙනවා. ඒ නිසා චිලිගේ පුංචි පවුල හා ඔහු ගැන කතා කරන්නයි මෙවර සූදානම.


චිලීව දැන් අලුත් නිර්මාණ එක්ක දකින්න ලැබෙන්නෙ නැහැ. ඇයි ඒ..?


මගේ ජනප්‍රිය වූ ගීත දහයක් විතර තියෙනවා. අලුත් ගීත කරන්න කලින් ඒ ගීතවලින් කිහිපයක් කවර් සෝංග්ස් විදිහට කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. අලුත් ගීත කරන්න ලොකු වියදමක් දරන්න ඕන. පසුගිය කාලයේ ඒ වගේ වියදමක් දරලා ගීත කරන්න පුළුවන් මට්ටමක් තිබ්බේ නැහැ. දැන් නම් අලුත් ගීතයක් කරන්න කාලේ හරි කියලා හිතනවා.


ඉස්සර ප්‍රසංග වේදිකාවට තිබුණු ඉල්ලුම දැන් නැද්ද ..?


ඇත්තටම කිව්වොත් මම ජනප්‍රිය වූ කාලේ ඒ තරම් ප්‍රසංග වේදිකාවට ඉල්ලුමක් තිබ්බේ නැහැ කිව්වොත් හරි. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ මම ගැන වෙනම ප්‍රතිරූපයක් මවාගෙන හිටියේ. මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙන එකක් නැහැ. මගේ අය කිරිම් ඉහළයි වගේ අදහසක්. ඒ වගේම මම රසිකයින්ට කිට්ටු නැහැ ඒ කියන්නේ මම ෆැමිලියර් නැහැ වගේ අදහසක්. ඒත් දැන් ඒ අදහස් රසිකයින් තුළත් නැහැ කියලා මට ලැබෙන ආදරෙන් තේරෙනවා. ඉස්සරට වඩා දැන් මට ඉල්ලුම වැඩියි. දුර පළාත්වලිනුත් මට දැන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මමත් හරි කැමැත්තෙන් සම්බන්ධ වෙනවා.


බොහෝ දෙනෙක් ඔබව දකින්නෙ මුරණ්ඩු හිතුවක්කාර චරිතයක් හැටියට ..?


ඔව්. බොහෝ දෙනෙක් මම hyperactive කෙනෙක් විදිහට දකින්නේ, හරි මුරණ්ඩු චරිතයක් විදිහට. මම කාලයක් එහෙම කෙනෙක් තමයි. නමුත් දැන් මම එහෙම නැහැ. කතාබහ කරන විදිහ තවම වෙනස් වෙලා නැති නිසා එහෙම හිතන අය ඉන්නවා. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම් ඊයේ පෙරේදා දවසක වුණු. දමිත් අසංක මට සංගීත ප්‍රසංගයක් සඳහා ආරාධනා කළා. ඔහු කිව්වා ප්‍රචාරණ කටයුතු සඳහා මට වීඩියෝ එකක් එවන්න කියලා මම යැව්වා. එයා මට කතා කරලා කිව්වා මචං මම දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා. හරිම සපෝටිව් අපි ආරාධනා කළාම ගණන්වත් කතා නොකර වැඩේට එන්නම් කිව්වා. ඒත් මචං මේ වීඩියෝ එක දැක්කොත් උඹ ගැන වැරදියට හිතයි කියලා. මම කතා කරන විලාශයේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා මම දැන් තේරුම් අරන් හරි සංයමයකින් කතා කරන්න මම දැන් උත්සාහ කරනවා,


ඔය නොකියා කියන්නේ විවාහයෙන් පස්සේ චිලීගේ හිතුවක්කාර මුරණ්ඩු ජීවිතේ විවාහයේ වගකීම් එක්ක වෙනස් වුණා කියලද..?


අදටත් මට තරහා යන අවස්ථා නැතුව නෙමෙයි. නමුත් ඉස්සර වගේ හිතුණු දේවල් කරන්නෙ නැහැ. මම ඉස්සර යාළුවෝ හරියට ආශ්‍රය කරපු කෙනෙක්. ඒත් දැන් යන වැඩේ කරගෙන ගෙදර දුවලා එන්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙලා. ඒකට හේතුව පවුලට දැන් තියෙන බැඳීම් වැඩි නිසා තමයි.


ඒ වගේම තමයි මම ඉස්සර ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න හිතපු නැති කාලෙක තමයි රීනී මගේ ජීවිතේට එන්නේ. ඒත් එක්ක එයා මුල් කාලේ මට නිදහසේ ජීවත් වෙන්න දුන්නා. කල් යද්දී මට නීතිරීති දාන්න පටන් ගත්තා, ඒත් එක්ක රිලේෂන්ෂිප් කියන්නේ කරදරයක් කියලා හිතුවත් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එක ඒ නීතිරීති එක්ක අඩු වෙලා ගියා. ඒ නිසා රීනී මගේ ජීවිතේ හරි පැත්තට වෙනස් කළා කියන්න පුළුවන්. මට ආදරේ කරන රසිකයින් දැන් මගේ වෙනසක් දකිනවා. ඉස්සර වලියට බර වෙලා වගේ හිටපු මම වෙනස් වෙලා කියලා හරි ආදරේන් කතා කරනවා.


ඔබේ ජීවිතේම වෙනස් කළ රීනී ඔබට මුණගැහෙන්නේ අහම්බයකින්. ඇය ඔබ වෙනුවෙන් කැපකිරිම් කළ කෙනෙක් කියලා ආරංචියි?


අපි දෙන්නට දෙන්නා දන්නේ අද ඊයෙක නෙමෙයි. අවුරුදු 14ට කලින්. මම ජනප්‍රියම කාලේ. මට ෆේස්බුක් රික්වෙස්ට් මැසේජ් ගොඩක් එන කාලේ ගැහැනු ළමයින්ගෙන් එයත් මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා. ඒ රික්වෙස්ට් එකත් එක්ක ඒ මුහුණ මට අනිත් අය අතරින් විශේෂ විදිහට පෙනුණා වගේම මතක හිටින මුහුණක් වගේ දැනුණා. ඒ නිසා ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා මම එයාට හායි කියලා මැසේජ් එකක් දැම්මා. එයා රිප්ලයි කළා. එතැනින් තමයි කතාව පටන් ගන්නේ. එතකොට එයා ජීවත් වුණේ යුරෝපීය රටක. ලංකාවට ඇවිත් මාව මුණගැහුනා. ආයෙමත් එයා ගියා. ඊට පස්සේ තමයි අපි ආදරේ කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ එයා මම වෙනුවෙන් ලංකාවට ඇවිත් සෙට්ල් වෙනවා. එයාට ගරු කිරිමක් විදිහට එයාව අත නොහැර එයා එක්ක විවාහ වුණා. මොකද එයා ඒ වගේ කැප කිරීමක් කරේ මාව විශ්වාස කරලා. මාව විශ්වාස නිසයි එයා එන්නේ. මම හිතුවා කාලයක් දන්න එයාව මට ගැළපෙනවා කියලා. එයා හරි ස්මාට් වගේම ක්ලෙවර්. ඒ වගේ කෙනෙක් විවාහ ජීවිතේට එකතු කර ගන්න එක හොඳයි කියලා හිතුවා. ඒ විදිහට තමයි අපි අවුරුදු තුනකට කලින් විවාහ වෙන්නේ. දැන් දුක සැප බෙදාගෙන ජීවත් වෙනවා


දරුවෝ බලා ගන්න පුුළුවන් මානසික මට්ටමක හිටපු නැති චිලී දැන් දරුවෝ දෙන්නෙකුටම ආදරණීය තාත්තා කෙනෙක් වෙලා..?


මගේ වයිෆ් වුණත් පුදුම වුණා දරුවෝ එක්ක මම වෙනස් වුණු විදිහ ගැන. අපේ පුතා ලිනිල් ලියෝන්. එයාගේ වයස අවුරුද්දයි මාස දහයයි. දුව ජෝර්ජා ලිවේනා. එයාට තවම මාස අටයි. මම ගෙදර හිටියොත් පුතාට ඕන මාත් එක්ක ගැවසෙන්න. පුතා පොඩි කාලේ මගේ ළඟට එන්න දුව තරම් පොර කෑවේ නැහැ. ඒත් දුවට මාස අටක් වුණත් එයා මගේ ළඟට එන්න දඟලනවා. දරුවෝ එක්ක ජීවත් වෙද්දී හරි ආදරණීයයි .


ඇත්තටම සමාජය කියන තරම් ඔබ ආඩම්බර චරිතයක් නෙමෙයි ද..?


මම මුලින්ම කිව්වා වගේ මගේ කතා ශෛලියේ වෙනසක් තියෙන්නේ. මම ආඩම්බර නැහැ. ඉස්සරත් පෙනුම එක්ක මම ආඩම්බරයි කිව්වා. දැනුත් එහෙම කියන අය ඇති. ඒත් ඉස්සර තරම් එහෙම හිතන්නේ නැහැ. මාව තේරුම් අරන් ඉන්න රසිකයින් පිරිසක් මට ඉන්නවා කියන්න පුළුවන් .


ඉස්සර වගේ ගැහැනු ළමයින්ගෙන් තවම කෙටි පණිවිඩ එනවද ..?


ඉස්සර නම් මට ආදරේට යෝජනා ගෙනා අයත් හිටියා. දැන් එන මැසේජ්වල අඩුවක් තියෙනවා. දැන් ආදරේ ප්‍රකාශ කරන්නේ රසිකයින් විදිහට විතරයි. බබාලාගේ ෆොටෝස් ලස්සනයි කියනවා. ඒ වගේ ප්‍රතිචාර තමයි තියෙන්නේ. විවාහය එක්ක ඒවත් වෙනස් වුණා


දැන් චිලී ආයෙමත් රඟපාන්න අවතීර්ණ වෙලා නේද? ඒ ගැනත් කියලම අපි කතාබහ ට සමු දෙමු..?


මාව ටෙලිනාට්‍යවලින් දැක්කා. ළඟදීම මාව ෆිල්ම් එකකින් දකින්න ලැබෙයි. ඒ ජයන්ත මහතාගේ කුසුමාසන දේවි සිනමා පටයෙන්. මම එහි රඟපාන්නේ ගැස්පර් නම් පෘතුගීසි නායකයාගේ චරිතය. ඒ චරිතයට මාව තෝරා ගත්තා කියලා ජයන්ත මහතා කතා කරලා කියපු දවසේ ඒ සතුටට මට නින්ද ගියෙත් නැහැ, එතුමා මගේ රංගනය විශ්වාස කරලා චරිතයක් දුන්නා. මම එය හොඳින් කළා කියලා එතුමා මාව අගය කළා. ඔහු වැනි සිනමාවේ දක්ෂයෙක් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. මාව වෙනස්ම විදිහට මගේ රසිකයින්ට දකින්න පුළුවන්. ඒ වගේම ආයෙමත් පුංචි තිරයට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post