කෑම ලෑස්තියි ටේක් කෙයාර් වුණු විදිහ ගැන සාරංග කියපු අමුතුම කතාව




ඔහු ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කරගත් රංගන ශිල්පියෙක්. විටෙක නිවේදකයෙක්, විටෙක නිෂ්පාදකයෙක් ලෙසත් කලා ලෝකය තුළ කටයුතු කරන ඔහු ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් විශිෂ්ටයෙක්. මේ දිනවල විකාශය වන ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ වාසලගේ චරිතයට පණ පොවමින් එහි නිෂ්පාදන කටයුතුද සිදු කරන නිසා ඔහු පිළිබඳව ක්ෂේත්‍රයේ විසල් කතාබහක් ඇති වෙලා. අද  එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකර. 

මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම පිරිමින්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය මේ දිනවල දිවයිනේ සෙසු පළාත්වල වේදිකා ගත වෙනවා. ඉතින් මේ කලා කටයුතු එක්ක කාලය ගෙවී යනවා.


ඔබේ නිෂ්පාදක භූමිකාව ගැන කතා කරනවා නම්,


ටේක් කෙයා කියන්නේ මගේ දෙවැනි නිෂ්පාදනය. මීට වසර දෙකකට කලින් මම ලංසු පතිනියෝ කියන ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු සිදු කළා. ඊට පස්සෙ තමයි මම ටේක් කෙයා‍ර් නිෂ්පාදනය කරන්නේ. මම අනුෂ්ක රසාංජන එක්ක  මීට කලින් වෙබ් සීරීස් එකක වැඩ කළා. එහෙම තමයි අපි මුණගැහුණේ. ඊට පස්සෙ අනුෂ්ක මට සහ දිනක්ෂිට ටේක් කෙයා‍ර් එකේ රඟපාන්න ආරාධනා කළා. එම නිර්මාණයේ නිෂ්පාදන කටයුතුවල තිබුණු යම් යම් ගැටලු නිසා අපි මේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු භාර ගත්තා. මම හැම වෙලාවෙම හිතෙනවා මේ ක්ෂේත්‍රයේ සිටින මගේ සහෝදර කලාකරුවන් නිෂ්පාදකයන් වුණොත් හොඳයි කියලා. මොකද ඔවුන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව සහ අනෙක් ශිල්පීන් සමඟ ගනුදෙනු කිරීමට අවබෝධයක් තිබෙනවා. ඔවුන් දන්නවා අනෙක් ශිල්පීන්ට සලකන්න අවශ්‍ය කොහොමද කියලා.  අපේ ක්ෂේත්‍රය තුළ සිටින අයම මේ කාර්යය සිදු කළොත් නිර්මාණයකට වගේම මේ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියටත් එය විශාල බලපෑමක් කරයි කියලා මට සිතෙනවා.


වෙබ් සීරීස්, මිනි සීරීස් වැනි ආ‍ර්ට් ෆෝම් සමඟ දැන් නිර්මාණකරුවන් ඉස්සරට වඩා වැඩ කරනවා. රංගන ශිල්පියෙක් ලෙස ඔබ මෙය දකින්නේ කෙසේද?


මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවක්. ඉස්සර ටෙලි නාට්‍ය හදන්න කැමැති නිර්මාණකරුවෙක් නම් ඒකාංගික ටෙලි නාට්‍යයක් හදනවා. එහෙම නැත්නම් පෝය නාට්‍යයක් හදනවා. චිත්‍රපටයක් කරන්න කැමැති කෙනෙක් නම් කෙටි චිත්‍රපටයක් කරනවා. වේදිකා නාට්‍ය කරන්න කැමැති කෙනෙක් නම් කෙටි නාට්‍යයක් හදනවා. ඉස්සර තිබුණෙ එහෙම. අද මාධ්‍යයේ වපසරිය වැඩි වීමත් සමඟ ක්ෂේත්‍රයට බොහෝ දෙනෙක්ට පැමිණෙන්න තිබෙන මාර්ග වැඩියි. ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම නවකයන්ට ටෙලි නාට්‍යයක් කළත් ඒක පෙන්වා ගැනීමට බැරි වෙන්න පුළුවන්. නවකයන්ට මෙවැනි ප්ලැට් ෆෝම්ස් තිබීම ඉතා හොඳයි. ඔවුන් නිර්මාණයක් කරන්නේ ගෙදර තබා ගන්න නෙවෙයිනේ. නිර්මාණයක් කරහම ඒක ප්‍රේක්ෂකයෝ නරඹන්න ඕන, අදහස් දක්වන්න ඕන. එතකොට තමයි ක්ෂේත්‍රයට වාසිදායක තත්ත්වයක් උදා වෙන්නේ. ඉතින් මම කැමැතියි. මෙවැනි ප්ලැට් ෆෝම්ස් සහ ආට් ෆෝම්ස් ඇති වෙනවට. මේ දේවල් හරහා අවබෝධයකින් යුතුව රංගනයට සහ නිර්මාණකරණයට නවකයන් යොමු වීම පිළිබඳව මට තිබෙන්නේ ප්‍රසාදයක්.


කෑම ලෑස්තියි ටේක් කෙයා‍ර් වුණේ කොහොමද?


මම මේක කියනවට අනුෂ්ක කැමැති වෙයිද දන්නෙත් නැහැ. කෑම ලෑස්තියි කියන එක තමයි ටේක් කෙයාර් එකේ වර්කින් ටයිට්ල් එක වුණේ. රචකයා කුමක් හෝ ලියන්න ගත්ත ගමන්ම නමක් දාන්නෙ නැහැ. පස්සෙ තමයි ගැළපෙන නමක් දාන්නේ. එහෙම පස්සෙ නම වෙනස් කරපු චිත්‍රපටත් මට හමුවෙලා තිබෙනවා. මේ කතාවෙ එන අසේනි කියන චරිතය කෑම හදලා කරලා දෙන හින්දා ඔය නම දාන්න ඇති. මම රඟපාන්න ආපු වෙලේ ඉඳන්ම මේ නමට කැමැති නැහැ කියලා අනුෂ්කට කිව්වා. පස්සේ මේ කතාවෙදී ටේක් කෙයාර් කියන වචනය මේනකාගෙන් අසේනිට කියවෙනවා. ඒ හරහා තමයි අසේනි මේ රහස් සම්බන්ධය ගැන දැන ගන්නේ. එතැන මේ කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඊට පස්සේ අපි ටේක් කෙයා‍ර් කියලා දාමු කියලා කිව්වා. ටේක් කෙයා‍ර් විකාශය වුණේ රාත්‍රි නවයට. ඒකත් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වුණා. අපි මුලින්ම මේක කළේ වෙබ් සීරීස් එකට. ඒ නිසා තමයි අපි මේ විධියට නිදහස්ව මේ නිර්මාණය කළේ.


වත්මන් ලාංකේය ටෙලිවිෂනය මේ වන විට රැඩිකල් ලෙස ක්‍රියා කිරීම ඔබ දකින්නේ කෙසේද?


මේක ඉතා හොඳ තත්ත්වයක්. මේකට ස්තුතිවන්ත වෙන්න  ඕන ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාට. ඔහු වෙනත් වෘත්තියකින් එන කෙනෙක්. ඔහු නව පරපුර සමඟ යාවත්කාලීන වෙන කෙනෙක්. ඔහු විවෘත මනසකින් කලාකරුවාගේ නිර්මාණශීලීත්වය මොට නොවෙන අයුරින් කටයුතු කරනවා. අපි වාරණ දාන්න – දාන්න නිර්මාණශීලීත්වය මොට වෙනවා. ඊට පස්සේ ඒකාකාරී නිර්මාණ ටිකකට කොටු වෙනවා. බොහෝ අය නිර්මාණකරුවන්ට බනිනවා. මේ මොනවද නෙට්ෆ්ලික්ස්වල තිබෙන නිර්මාණ සමඟ සසඳලා බලද්දි කියලා. අපිට නිර්මාණ කරන්න දෙන්නෙ නැතුව කරපු නිර්මාණ පෙන්නන්න දෙන්නෙ නැතුව ඒ චෝදනාව කරලා වැඩක් නැහැනේ. මේක ඉතා හොඳ දෙයක්. මේ සෑම නිර්මාණයක්ම ඉතා නිර්මාණශීලී සහ සමාජයට යමක් ලබා දෙනවා. ඒ නිර්මාණවලට අපිව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න පුළුවන්.


සමාජ මාධ්‍යයේ ආගමනයත් සමඟ නිර්මාණ විවේචනය සහ විචාරය සිදු වීම ශීඝ්‍රයෙන් සිදුවෙනවා මේ පිළිබඳ ඔබේ අදහස?


මේ තුළ හොඳ වගේම නරකත් තිබෙනවා. ටේක් කෙයාර් පූර්ව ප්‍රචාරක පටය විකාශය වුණු විගසම බොහෝ දෙනෙක් කැලඹුණා. මෙහි පූර්ව ප්‍රචාරක පටය දැකපු ගමන්ම මොනාද මේ ජරාව, මේවා මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් කෑගහන්න ගත්තා. ඒ තුළින් අපේ නිර්මාණය ගැන ගොඩක් දෙනා කතාබහ කරන්න ගත්තා. බලන්න ඕන නැහැ කියලා හිතෙන අයට වුණත් ටේක් කෙයාර් බලන්න හිතුනේ මේ වැඩේ නෙගටිව් විධියට මාකට් වුණ නිසා.


අපි නිර්මාණකරුවො විධියට ඒක ගත්තේ ධනාත්මක විධියට. වෙන පිරිසක් නම් සමහර විට නැවත නිර්මාණයක් නොකරන්නත් මේ ‍ෙදා්ෂාරෝපණ බලපාන්න තිබුණා. දැන් සමහර සමාජ මාධ්‍ය හරහා මෙය සජීවීව විකාශය වන මොහොතෙම අදහස් දක්වනවා. මේක අපේ වැඩේ සුබ සිද්ධියට අපි යොදා ගන්න ඕන. ගොඩක් අය ටේක් කෙයා‍ර් ගැන කතා බහ කරනවා. අපේ ටේක් කෙයා‍ර් ගෘෘප් එකේ බොහෝ අය මේ නිර්මාණය ගැන විවිධ අයුරින් සංවාද පවා කරනවා. මේකට එන නෙගටිව් කමෙන්ට්ස් වගේම පොසිටිව් කමෙන්ට්ස් පවා තිබෙනවා. ඒ අය ඒ දේවල් ගැන කතා කරනවා. කලාකරුවෙක් ලෙස මේ දේවල්  අපේ ප්‍රගමනයට යොදා ගත හැකි දේවල් කියලා කියන්න පුළුවන්.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?


මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. මේ දිනවල එහි වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේම  මමයි, දිනක්ෂියි  එකතු වෙලා කරපු තවත් නිර්මාණයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. එය ලංකාවේ අසහාය ගායන ශිල්පියෙක්ගේ ජීවිතය පිළිබඳව කතා කරන නිර්මාණයක්. බොහෝ විට මේ වසරේ අග එය තිරගත වේවි.


ගිහාන් සචින්ත



Previous Post Next Post