Tiktok වලින් ආපු දක්ෂයොත් ෆීල්ඩ් එකේ ඉන්නවා-ධනංජි තාරුකා




ධනංජි තාරුකා කියන්නේ මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන දක්ෂ රංගන ශිල්පිනියක්. සික්ස් පැක්ස් සහ සංසාරිණී වැනි ටෙලිනාට්‍ය නිසාම ඇය මේ දිනවල ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන දැනගන්නත් එක්ක හදගැස්මේ අපි ධනංජිට කතා කළා. තුෂීට ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කතා කරල ඉමු නේද?


මම දකින විදිහට තුෂීට මිනිස්සු ගොඩාක් ආදරේ කරනවා. ඒ ආදරේ නිසාම ධනංජිට ප්‍රේක්ෂකයෝ කරපු ආදරය තවත් වැඩිවෙලා. විශේෂයෙන් ගොඩාක් දෙනා මට කතා කරලා ස්තුති කරලත් තිබෙනවා තුෂී වගේ චරිතයක් භාරගත්තට. ඉතිං හරිම සතුටුයි. සංසාරිණි කණ්ඩායමට ඒ වෙනුවෙන් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.


සමාජයේ ගැරහුම් ලබන තුෂී වැනි චරිතයක් භාරගැනීමම රංගන ශිල්පිනියකට අභියෝගයක්. ඉතින් ධනංජි කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?


තුෂී කියන චරිතය ගත්තම සමාජය පුරාම කතාබහට ලක්වෙන කාන්තාවක්. ඒ චරිතෙන් කියවෙන දේවල්, සමාජයට දෙන පණිවුඩය වගේම සමාජය ඒ චරිතය දකින විදිහත් සුවිශේෂියි. ඉතින් මේ චරිතේ ඇතුළේ හොඳ වගේම නරකත් තිබෙනවා. නමුත් වැඩිපුරම නිර්වචනය වෙන්නේ මේක ඇතුළේ තියෙන නරක. ඒ කියන්නේ කළු ලක්ෂණ. තුෂී කියන්නේ ගණිකාවක් ලෙස සමාජ ගැරහුමට ලක්වෙන චරිතයක්. ඉතින් ඇයව මාධ්‍ය මඟින් ප්‍රතිනිරූපණය කරන කොට සමාජ විවේචන එල්ල වෙන්න පුළුවන්. සමහර දර්ශනවලට බනින්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ වගේ ගැටලු කිහිපයක්ම මේ චරිතේ භාර ගන්නකොට මටත් තිබුණා.


නමුත් සංසාරිණි අධ්‍යක්ෂ දිල්ෂාන් සහ මේක ලියපු තිමිර අයියා එක්ක මම මේ ගැන කතා කළාම එයාලා හරිම ලස්සනට මේ චරිතේ නිර්මාණය කරලා තිබුණා. ඉතින් මම මේ චරිතේ අභියෝගාත්මකව භාරගත්තේ හොඳ සහ නරක ප්‍රතිචාර කියන ප්‍රතිචාර අතරින් දෙපැත්තෙන් කොයි ප්‍රතිචාර ආවත් භාරගන්න ලැහැස්ති වෙලා.


අපට මුලදි කොහොමත් චරිතයක් ගත්තම ඒ චරිතේ ලියවිලා තිබෙන විදිහේ මුල විතරයි දන්නේ. මේක මෙගා ටෙලිනාට්‍යයක් නිසා චරිතේ මුල ටික දැනගන්න පුළුවන් වුණාට අවසානය මොකක් වෙයිද කියලා ලියවිලා තිබුණේ නැහැ.


මොකද අවසානය තාම ලියන්න බැහැ. ඒක තීරණය වෙන්නේ ටෙලිනාට්‍ය යන විදිහත් එක්ක. ඒකේ ලොකුම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ තිමිර අයියට. මොකද එයා හරි පරිස්සමට කරපු චරිතයක් මේක. ඉතින් මේ චරිතේ නිසා මේ වෙනකොට මට ලැබිලා තියෙන්නෙම හොඳ ප්‍රතිචාර කියන එක නම් කියන්නම ඕනේ. මම එළියට ගියාමත් ගොඩක් අය ආ තුෂී කියලා ළඟට ඇවිත් කතා කරනවා. මම දකින්නේ හැමෝම තුෂී කියන චරිතයට ගොඩාක් අය ආදරේ කරනවා.


ධනංජි මීට කලින් රඟපෑ චරිත අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ චරිතය තුෂී කියලා කිව්වොත්?


ඔව් ඇත්තටම මෑත කාලයේ චරිත ගත්තම මට ඇත්තටම සෑහෙන්න ප්‍රතිචාර ලැබුණ සහ ලැබෙන චරිතයක් තමයි තුෂී කියන්නේ. මීට කලින් මම වත්තේ ඒ කියන්නේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශවල චරිත කරලා තියෙනවා. වත්තේ චරිත කළත් ගණිකාවකගේ චරිතයක් මම කරන්නේ පළමු වැනි වතාවට.


තුෂීගේ චරිතේ මේ තරම් සාර්ථකව කරන්න ධනංජිට පිටිවහලක් වුණේ පිටපත විතරක්මද?


ඇත්තටම පිටපත මට ලොකු සපෝර්ට් එකක් වුණා. මීට අමතරව විශේෂයෙන් කියන්න ඕනේ මගේ තාත්තා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කළේ. ඉතින් මම හැදුණේ වැඩුණේ බන්ධනාගාර නිල නිවාසවල. ඉතින් උසස් පෙළට මං මගේ ප්‍රොජෙක්ට් එක විදියට කළෙත් බන්ධනාගාර රැදවියන්. ඉතින් මම ඒ අය එක්ක කතා කරලා තිබෙනවා. ඒ අත්දැකීමුත් මට තුෂීට සාධාරණයක් කරන්න හේතු වුණා කියන එක නම් අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ.


ධනංජිගේ රංගන හැකියාවට සම්මාන හිමි විය යුතුයි කියලා ගොඩාක් ප්‍රේක්ෂකයෝ කියනවා. ඉතින් ධනංජිට ඒ ගැන මොකද හිතෙන්නේ?


ඔව් ඇත්තටම ඒ ගැන අහන්නත් සතුටුයි. සම්මානයක් ලැබුණා වගේම තමයි. ගොඩාක් අය කියපු දෙයක් තමයි ඒක. ඒත් මම දන්නේ නම් නැහැ සම්මානයක් ලැබෙයිද නැත්ද කියන එක. ඒත් මේ ලැබෙන ප්‍රතිචාර ගැන නම් කියලා නිම කරන්න බැහැ. ඇත්තටම යම් කිසි සම්මානයකට මම කරපු චරිතයක් නිර්දේශ වුණත් මට නම් ගොඩාක් සතුටු හිතේවි සම්මාන ලැබුණත් නැතත්.


ධනංජි ගොඩාක් වෙලාවට භාරගන්නේ මේ වගේ ටිකක් වෙනස් සමාජ අභියෝගයට ලක්වෙන චරිත නේද?


ඔව් ඇත්තටම මම හරිම ආසයි ඒ වගේ චරිතවලට අහිංසක පෙම්වතිය කියන චරිතයට වඩා. මොකද මට ඒ චරිත ඇතුළේ අපූරු දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මට ගොඩාක් ආරාධනා ලැබෙන්නෙත් එවැනි චරිතවලට. ඒත් මම විවිධ චරිත කරන්නත් කැමතියි.


 දැන් ඉන්නේ ටික්ටොක් නළු නිළියෝ කියලා ඇතැම් ප්‍රවීණ කලාකරුවන් කියනව. ධනංජිට මේ ගැන මොකද හිතන්නේ?


අපිට ඇත්තටම ලෝකේ යන විදිහට තමයි යන්න වෙලා තිබෙන්නේ. සමහර තැන්වලදි ඒවා වළක්වන්න අමාරුයි. හැබැයි අපිට වළක්වන්න බැරි වුණත් අපිට සටන් කරන්න පුළුවන්නේ. හැබැයි ඇත්තටම ටික්ටොක්වලින් ආපු දක්ෂ කට්ටියත් අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මම දකින විදිහට ඕනෑම දෙයක හොඳ සහ නරක තියෙනවා. ඒක තමා යථාර්ථය. අපි හොඳ නරක එක්ක තමා ඉස්සරහට යන්න ඕනේ. ඒත් මම දකින විදියට අපි කලාව ඇතුළේ හරියට ඉගෙන ගෙන හරි දේ කරගෙන ගමනක් ගියේ නැත්තම් පැවැත්මක් නැහැ.


මීට අමතරව මේ දවස්වල ධනංජිව දකින්න ලැබෙන්නේ මොන නිර්මාණවලද?


සික්ස්පැක් ටෙලිනාට්‍යත් මේ දවස්වල විකාශනය වෙනවා. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රංගනයෙන් දායක වුණු වැලිපවුර, සීමා  නෑ ආකාසේ, නිහඬ සෙවණැලි කියන චිත්‍රපට තිරගත වුණා. ඉස්සරහට භ්‍රමණය කියලා තව චිත්‍රපටයක් එන්න තිබෙනවා. ඒ ගැන ඉදිරියෙදි කියන්නම්.


සිනමාව සහ ටෙලිනාට්‍ය අතරින් ධනංජි වැඩිපුරම කැමැති ටෙලිනාට්‍යවල රඟපාන්නද?


ඔව් හරියටම හරි. සිනමාව සහ ටෙලිනාට්‍ය අතරින් මම වැඩියෙන්ම කැමැති නම් ටෙලිනාට්‍යයට. ඒත් ටෙලිනාට්‍යවලටත් වඩා මම කැමැතියි වේදිකාවට පොඩි කාලේ ඉඳන්ම. මොකද වේදිකා නාට්‍යවලින් ගන්න පුළුවන් ඒ සජීවී අත්දැකීම අපිට සිනමාවෙන් සහ ටෙලිනාට්‍යවලින් කවදාවත් ගන්න බැහැ. ඉස්සර නම් මං ගොඩාක් වේදිකා නාට්‍යවල හිටියා. දැන් පොඩ්ඩක් විතර දුරස් වෙලා ඉන්නවා කාර්යබහුල නිසා. ඒත් මට පුළුවන් හැම වෙලාවේම වේදිකාවට සම්බන්ධ වෙන්න නම් අමතක කරන්නේ නැහැ.


දුලී සමන්මලී නැලිගම



Previous Post Next Post