සුරංජි ශ්‍යාමලී ගේ “සප්ත සුරාගී“ ප්‍රසංගය ජූලි මස 07 දා සවස නෙළුම් පොකුණ රඟහලේදී



ගායන ශිල්පිනි, හින්දි භාෂා කථිකාචාරිනි විශාරද සුරංජි ශ්‍යාමලී ගේ “සප්ත සුරාගී“ ප්‍රසංගය ජූලි මස 07 දා සවස නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. වසර විස්සකට වැඩ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නිරතව සිටින ඇය සිංහල, හින්දි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම ගී ගයන්නීය. ඇය විසින් මෙවර පවත්වන්නේ හත්වැනි ගීත ප්‍රසංගයයි.


මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීයාවේ සංගීත ක්ෂේත්‍රය තුළ “දෙවැනි මොහොමඩ් රෆි“ ලෙස හඳුන්වන ප්‍රවිණ ගායන ශිල්පී රාජේෂ් පංවාර් සහභාගි වෙයි. මෙහිදි සුරංජි ශ්‍යාමලී රාජේෂ් පංවාර් සමඟ හින්දී ගීත කිහිපයක්ම ගැයීමට නියමිතය. ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ, පූර්ණ සචින්ත, හේමාල් වාහලතන්ත්‍රි යුග ගායනයෙන් එක්වන අතර මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ ප්‍රියන්ත ගමගේ ප්‍රමුඛ වාද්‍ය ශිල්පීන් ය. නර්තන දායකත්වය මල්මී තිලංගා රංගායතනයෙන් වන අතර එදින ප්‍රසංගයේ නිවේදන කටයුතු කරනුයේ ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි විසිනි.


1998 වසරේ භාත්ඛාණ්ඩේ විද්‍යාපීඨයෙන් සංගීත විශාරද උපාධිය ලැබු ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් හින්දී භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගන්නීය. 2012-2014 දී ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් හින්දී භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව සමත් වන ඇය බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් හින්දී භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.



Previous Post Next Post