නළුවෙක් වීම මට මාර ආතල් එකක්- ඉසුරු ලොකුහෙට්ටිආරච්චි




ඔහු කලා ක්ෂේත්‍රය තුළ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වන රංගන ශිල්පියෙක්. එසේම හඬ නළුවෙක් ලෙස මේ ක්ෂේත්‍රයට අඩිය තබනා ඔහු විවිධ පරාසයන් ඔස්සේ ගලායන චරිතවලට පණපොවමින් තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ රංගන ශිල්පියෙක්. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.


 මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු සමඟ කාලය ගෙවී ගියා. ඒ වගේම මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ සූර්යා චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක් වුණා. ඒ වගේම මාවෝ ලක්ෂිත කරුණාතිලක අධ්‍යක්ෂණය කළ රූපවාහිනි සංස්ථාව කාලයකට පස්සේ නිර්මාණය කළ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට එක් වුණා. ඒ වගේම මගේ හවුස් ෆුල් වැඩසටහනත් කරගෙන යනවා. තව සිහින ගෙනෙන කුමාරියේ වගේම අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යවලටත් සහභාගි වෙමින් කාලය ගෙවී යනවා.


බෝගහවත්තේ ලකීගේ ආගමනයත් එක්ක ප්‍රේක්ෂකයා කැලැඹිලා. මේ ගැන මොකද හිතෙන්නේ.


බෝගහවත්තේ ලකී කියන්නේ දේශපාලනයේ එක්තරා අ¾දුරු යුගයක් නියෝජනය කරපු චරිතයක්. මේ චිත්‍රපටය ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ දෙවන දිගහැරුම විධියට තමයි නිර්මාණය වෙන්නේ. අසූව දශකයේ අග සහ අනූව දශකයේ මුල පැවැති දේශපාලන වාතාවරණය තුළ දේශපාලකයන්ගේ ආශීර්වාදය, අනුදැනුම සහ පිහිට මත ගොඩනැඟුණු දැවැන්ත චරිතයක් තමයි බෝගහවත්තේ ලකී කියන්නේ. හැබැයි ඉතින් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන මූලධර්ම සාක්ෂාත් වීම අපිට චිත්‍රපටයේදී බලාගන්න පුළුවන්. අදටත් අපිට මේවා දකින්න පුළුවන්. මේ ජරාජීර්ණ දේශපාලනය තුළ බෝගහවත්තේ ලකී කියන්නේ එක චරිතයක් පමණයි. වෙලා තිබෙන්නේ නම වෙනස් වීම පමණයි. ඒ යුගය අවනීතිය රජ කළ යුගයක්.  


හිරු නාළිකාව ඔස්සේ විකාශය වන හවුස් ෆුල් වැඩසටහන ගැනත් කතා කරමු.


ඇත්ටටම මේ වැඩසටහනට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම ඇතැමුන්ගේ ‍ෙදා්ෂාරෝපණත් එල්ල වුණා. හවුස් ෆුල් වැඩසටහන විකාශය වීමට පෙර නිකුත් කරන පූර්ව ප්‍රචාරක කොටස් බලලා තමයි ඔවුන් මෙලෙස ‍ෙදාස් කීම සිදු කළේ. හැබැයි මේ වැඩසටහන ආරම්භයේ ඉඳන් අවසානය වෙනකල් බැලුවා නම් සමස්තය තුළ මම කතා කරන දෙය කුමක්ද? දේශපාලනය කුමක්ද? ඒ වගේම කලාකරුවාට දෙන වටිනාකම මොකක්ද යන්න වටහා ගන්න පුළුවන්. වැඩසටහනක සමස්තය බලලා තමයි මේ දෙය තීරණය කරන්න ඕන. පූර්ව ප්‍රචාරක පටයකින් කරන්නේ මේ වැඩසටහන මිනිසුන්ට බලන්න කුතුහලයක් ඇති කරන එක. අපි කිසිම වෙලාවක කලාකරුවාව හෑල්ලුවට ලක් කරලා චරිත ඝාතනය කිරීමක් සිදු කරන්නේ නැහැ. මමත් රංගන ශිල්පියෙක්නේ. අපි  අපේ වැඩසටහනට සහභාගි වන කලාකරුවාට උපරිම ගෞරවය ලබා දෙනවා. මේ නිසාම තමයි මේ වැඩසටහන මේ තරම් දුරක් ආවේ.


රංගන ශිල්පියෙක් වීමට ඇකඩමික හැදෑරීමක් අවශ්‍යද?


මෙහෙමයි, අපි කැමැති විධියකට රංගනයට එන්න පුළුවන්. තාත්තා මේ ක්ෂේත්‍රයේ සිටින නිසා, යාළුවෙක් ඉන්න නිසා, ආශාව නිසා, රියැලිටි ෂෝ එකකින් ඇවිත් වගේ ඕනෑම විධියකට රංගනයට එන්න පුළුවන්. අපි මේ දෙයට පැමිණෙන්නේ මේකට තිබෙන කැමැත්ත නිසා. එතකොට අපිට ලැබෙන පළමු සහ දෙවන  අවස්ථාවලදී අපේ සහජ දක්ෂතා තුළින් මේ දෙය සාර්ථක කරගන්න පුළුවන්. නමුත් රංගන ශිල්පියෙක් විධියට මේ ක්ෂේත්‍රය තුළ සිටින්න නම් මේක හදාරන්නම අවශ්‍යයි. මේක විද්‍යාවක්. මේ විෂයේ ලොකු තාක්ෂණික කාරණා තිබෙනවා. මේක නිතර යාවත්කාලීන වන විෂයක්. මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි රංගනය කියන්නේ හැදෑරිය යුතුම දෙයක්.


හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කිරීම ඔබේ රංගන දිවියට කළ බලපෑම ගැන කියනවා නම්.


මෑතකදී ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිත කිරිල්ලියෝ කියන කොරියානු ටෙලිනාට්‍යයට මම හඬ කැවීමෙන් දායක වුණා. මම හඬ කැවීම අතහැරලා නැහැ. රංගන ශිල්පියෙක්ට හඬ පෞරුෂය ඉතා වැදගත්. රංගන ශිල්පියෙක්ට හඬ පාලනය ගැන හැදෑරීමක් තිබීම ඉතාම වැදගත් දෙයක්. ඉතින් මම හඬ නළුවෙක් විධියට තමයි වෘත්තීය ජීවිත පටන් ගන්නේ. සිරස එෆ්.එම්. නාළිකාවෙන් නිකුත් වුණු සමන් එදිරිමුණි රචනා කළ ආදරෙයි මං සමනලී කියන ගුවන් විදුලි නාට්‍යයෙන් තමයි මම මේ වෘත්තීය ගමන්මඟ අරඹන්නේ. අද මම වෘත්තීය රංගන ශිල්පියෙක් බවට පත් වීමට අඩිතාලම වැටෙන්නේ මගේ හඬ නිසා. මම යුද හමුදාවෙ නිලධාරියෙක් ලෙස ඉඳලා රංගන ක්ෂේත්‍රයට ආව එකෙන් මට ලොකු පන්නරයක් ලැබුණා. ඉන් මම විනය ගැන ඉගෙන ගත්තා. මම මගේ තාත්තා කිහිල්ලෙ ගහන් ආපු නළුවෙක් නෙවෙයි. මම ලොකු හැලහැප්පීම් එක්ක තමයි මේ ක්ෂේත්‍රය තුළ ගමනක් ආවේ. හඬ කැවීම් ශිල්පියෙක් ලෙස මම ලබපු පුහුණුව නිසා ජේ‍යෂ්ඨයන් සමඟ ගනුදෙනු කරන්න වගේම ගෞරව කරන්නත් ඉගෙන ගත්තා. විනය සහ හැදෑරීම කියන්නේ වැදගත් දෙයක්. එය තමයි සාර්ථකත්වයේ මඟ.


ඔබට චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?


මම තවම රඟපෑමත් හරියට දන්නෙ නැතිකොට අධ්‍යක්ෂණයට යන්නේ කොහොමද? මට ඒ ගැන කිසිම අදහසක් නැහැ. නමුත් මම ආසයි කවද හරි දවසක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. මම කවද හරි ඒ දෙය කරයි. මම ආසයි දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් බවට පත් වීමට. ඒ සඳහා අවශ්‍ය හැදෑරීම් සහ  අත්දැකීම් ලබා ගන්න මම සැමවිටම කැපවීමෙන් කටයුතු කරනවා. අධ්‍යක්ෂණය කියන දෙය කරන්න ගියොත් මා අතින් රඟපෑම ගිලිහෙයි කියලා සිතනවා.


ඔබට අවස්ථාවක් ලැබෙනවා ලෝකයේ සිටින ඕනෑම අධ්‍යෂවරයෙක් සමඟ වැඩ කරන්න ඔබේ තෝරා ගැනීම කුමක්ද?


මම මෙන්න මේ අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරනවා කියලා තෝරා ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඒක ලංකාවේ වගේම ලෝකයෙත් එහෙමයි. මට වැදගත් වන්නේ අධ්‍යක්ෂවරයා නෙවෙයි, නිර්මාණය. අධ්‍යක්ෂවරයා හොඳ වුණා කියලා නිර්මාණය ගුණාත්මක නැත්නම් මම ඒ නිර්මාණයට කර තියන්නේ නැහැ. නිර්මාණය ගුණාත්මක නම් තමයි මම වැඩ කරන්නේ. නමුත් මට හිතෙනවා අපේ සිනමාවත් වෙනත් රටවල සිනමාව වගේ තැනකට එනවා නම් හොඳයි කියලා. මම මැරෙන්න කලින් ඒ දෙය දැකගන්න පුළුවන් වුණා නම් මට ඇති.


ඔබට ලැබුණු චරිත ගැන රංගන ශිල්පියෙක් විධියට ඔබ තෘප්තිමත්ද?


ඔව්, මම තෘප්තිමත්. මට මෑතකාලීනව විවිධ පරාසයන්වල චරිත ලැබුණා. සමහර රංගන ශිල්පීන් භාරගන්න අකැමැති චරිත සහ අභියෝග පවා මම නොබියව භාර ගත්තා. මම මගේ රංගනය ගැන ඉතා තෘප්තිමත්. ඇත්තටම නළුවෙක් වීම මට මාර ආතල්.


ගිහාන් සචින්ත



Previous Post Next Post