වසර 7 කට පසු පුංචි තිරයට ආ අසංකි



දක්ෂ, සුරූපී මෝස්තර නිරූපිකාවක් ලෙසින් ්හැමෝම හඳුන්වපු අසංකි ද සිල්වා Rush සිනමා පටය හරහා තවත් ජනප්‍රියත්වයට පත්වුණා. ඊට පසුව ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූයේ රංගන ශිල්පිනියක් ලෙසිනි. ඇයව අප පුංචි තිරයේ මුලින්ම දුටුවේ ඇසිඩ් නමැති ටෙලි නිර්මාණය තුළිනි. ඔන්න ඇය කාලයකට පසුව ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරනු ලබන ‘රොන්’ ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබෙනවා. ඉතිං ඒ හින්දම අපි මේ ඉඩකඩ අසංකි ද සිල්වා වෙනුවෙන් වෙන් කරන්න හිතුවා.

අසංකිව ‘රොන්’ ටෙලිනාට්‍යයෙන් දකින්න ලැබෙනවා?


රොන් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ එහි අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසගේ ආරාධනාවකට අනුවයි. ඉතිං ප්‍රදීප් සමග මම මීට වසර ගණනාවකට ඉහතදී ටෙලිනාට්‍යයක එකට රඟපෑවා. එතැනදී තමයි ප්‍රදීප් ධර්මදාස මාව දැන හඳුනා ගත්තේ. මම ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත්වෙලානේ හිටියේ. ඉතිං වෙනසකටත් එක්ක හොඳ වැඩක් හින්දා ප්‍රදීප්ගේ ‘රොන්’ ටෙලිනාට්‍ය ආරාධනාව භාරගත්තා.


කොච්චර කාලයකට පසුවද ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නේ?


මම හිතන්නේ අඩුම තරමේ අවුරුදු හත අටක් විතර වෙනවා.


කොහොමද අලුත් අත්දැකීම හිතට දැනෙන්නේ?


මම රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ටෙලිනාට්‍ය රංගනය හරහායි. ඊට පසුව Rush සිනමා නිර්මාණය හරහා සිනමාවට සම්බන්ධ වෙනවා. ඊට පසුව සිනමාවට තමයි මුල්තැන ලබාදුන්නේ. නමුත් මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැම කියන තැන හිටියේ නැහැ. හැබැයි මට ලැබුණ ආරාධනා ගොඩකට මම බැහැයි කියලා කිව්වා. හොඳ වැඩක් ආවොත් භාර ගන්නවා කියන තැන තමයි හිටියේ. ඒ අතරතුර කාලයේ තමයි ප්‍රදීප් අයියාගෙන් මේ ආරාධනාව ලැබුණේ. ඒ ආරාධනාවට මම කැමැති වුණා.


රොන් හි නිත්‍යා ගැනත් කතා කළොත්?


අසංකිගේ සැබෑ ජීවිතයේ වගේම නිත්‍යාත් නිරූපිකාවක්. නිත්‍යාගේ ජීවිතය ඇතුළේ කළු සුදු කියන චරිත දෙකම ගලාගෙන යනවා. ඉතිං මම නිත්‍යා ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. මොකද ‘රොන්’ ටෙලිනාට්‍ය පටන් ගත්තා විතරනේ.


නිරූපිකාවකගේ චරිතයත් ලැබුණ හින්දද මේ ආරාධනාව භාරගත්තේ?


එහෙමම නැහැ. පිටපත කියවාගෙන යද්දී මට ඒ චරිතයට ආසා හිතුණා. අනික ප්‍රදීප් අයියා වැඩේ කෙරෙන විදිහ මාත් එක්ක කතාබහ කළා. ඒ කතාව ඇහැව්වට පස්සේ මට හිතුණා මේක වෙන වැඩක් වේවි කියලා.


ප්‍රේක්ෂකයා අතරට යන ලස්සන වැඩක් වෙයි කියලා මට තේරුණා. ඒකයි ආරාධනාව භාර ගත්තේ.


පසුගිය කාලයේ මොනවද කළේ?


පසුගිය කාලයේ මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට තුනක් විතර තිරගත වීමට නියමිතයි. මම තවමත් නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙනවා. ඒ වගේම පසුගිය දවස්වල මුහුරත් උළෙල පවත්වපු සනත් අබේසේකරයන්ගේ ‘මුල්ලේරියා හටන’ සිනමා නිර්මාණයටත් රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබුණා.


අසංකි වැඩිපුර කැමැති සිනමාවටද?


ඔව්. වැඩිපුර කාලය යොදවන්නේ සිනමාවට. ඒ අතරතුර මේ වගේ හොඳ ටෙලි නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා.


දිගු නිහැඬියාවකට පසුව ලැබුණ මේ අත්දැකම දැනෙන්නේ මොනවගේද?


ඒ අත්දැකීම වෙනස් විදිහට දැනෙනවා. පිට ඉඳලා ටෙලිනාට්‍ය නරඹන අයගේ ප්‍රතිචාරත් එක්ක තමයි ඒක වැඩිපුරම දැනෙන්නේ. ගොඩක් අය කතා කරලා කියනවා වගේම පුද්ගලිකව කෙටි පණිවුඩ පවා එවලා තිබෙනවා. “කාලෙකින් ටීවී එකේ දකින්න ලැබෙන්නේ. බලන්නත් ආසයි” කියනකොටත් හරි ආසයි ඒක වෙනම අත්දැකීමක්.


දැන් නිරූපණයෙන් ඈත්වෙලාද?


නිරූපණයෙන් ඈත්වෙලාම නැහැ. හැබැයි ඉස්සර තරම් ෂෝවලට යන්නේ නැහැ. ආරාධනා ලැබෙන්නේ නැතිවත් නෙවෙයි. ගොඩක් දේවල් කරනවා හරි අඩුයි. මුලදී මම නිරූපණය වෘත්තීය විදිහට සිදු කළාට දැන් මම නිරූපණය කරන්නේ වෘත්තීය විදිහට නෙමෙයි. මම දැන් නිරූපණයේ නියැළෙන්නේ විනෝදාංශයක් විදිහට.


සිනමා අත්දැකීම් මොනවගේද?


මගේ පළමු සිනමා නිර්මාණය Rush. ඒ සඳහා මට සෑහෙන ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. අදටත් ඒ ගැන සමහරු කතා බහට ලක් කරනවා. ඒ වගේම චන්න පෙරේරාගේ යුගාත්‍රාටත් ඒ වගේ හොඳ ප්‍රතිචාර ලැබුණා.


රංගන ශිල්පිනියක්වීම ගැන මොකද හිතෙන්නේ?


මට සතුටුයි. මොකද මම රංගන ශිල්පිනියක් වෙන්න ආසාවෙන් හිටියේ. මම පාසල් කාලයේදී හිතාගෙන හිටියේ ගුවන් සේවිකාවක් වෙනවා කියලා. ඊට පසුව තමයි නිරූපණයට ආවේ.


කොහොමද නිරූපණයට ආවේ?


පත්තරයේ නිරූපණ තරගාවලියක් ගැන දැන්වීමක් පළවුණා. අන්තිමේ ඒකට අයැදුම් කරලා ඒ හරහා ජයග්‍රහණය කරලා පොඩ්ඩ පොඩ්ඩ ටෙලිනාට්‍යවලට ඇවිත් සිනමාවට ඇවිත් තමයි මේ ගමන හදාගත්තේ. මේවා ඉතිං මගේ සිහින අතර තිබුණ කිහිපයක් තමයි.


පුවත්පත් දැන්වීම මේ තරම් දුරක් අරගෙන ඒවි කියලා හිතුවේ නැතිද?


ඇත්තටම හිතුවෙ නැහැ. පත්තරේ පළවුණ කූපන් එක දැක්කෙත් හරි අහම්බයෙන්. මොකද ඔය වයසේදී අපි පත්තර කියවන්නෙත් නැහැනේ. අහම්බයෙන් දැකපු දැන්වීමට තමයි අයැදුම් කළේ. මූලික වටයේ තරගයට තරගකරුවන් 200ක් 300ක් විතර ඇවිත් හිටියා. ඒක තමයි ආරම්භය.


අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


අද ඉන්න තැන ගැන මම තෘප්තිමත් වෙනවා. මොකද මම නිරූපණ ක්ෂේත්‍රයේ ලබන්න බැරි සියලුම ජයග්‍රහණ ලැබුවා. මම හිතුවෙවත් නැති කාලයක Rush වැනි දැවැන්ත සිනමා නිර්මාණයකින් සිනමාවට එන්න ලැබුණා.


දිනේෂ් විතාන




Previous Post Next Post