කතරගම ප්‍රේමා එක්ක රට වටා යන ශාලිකා




එක එක කාලෙට දිලිසිලා නිවිල යන තරු අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙනව. ඒ අතර හැමදාමත් දිලිසෙන්න පුළුවන් අතලොස්සක් තරුවලට විතරයි.

ශාලිකා එදිරිසිංහ කියන්නෙත් ඒ වගේ තරුවක්. පුංචි තිරය, රිදී තිරය රංගනයෙන් හැඩ කළත් බොහෝ විට ඇයගෙ ගමන තිබුණෙ වේදිකාවත් එක්ක. ‘කතරගම ප්‍රේමා’ එක්ක රට වටා යන ගමනෙදි මුණගැහුන ශාලිකා එක්ක මීවිත අපි මේ විදිහට කතාබහක යෙදුණා.


ශාලිකා මේ දවස්වල ‘කතරගම ප්‍රේමා’ එක්ක රට වටා යනවලු නේද?


ඔව්, කතරගම ප්‍රේමා දර්ශනවාර එක්ක මේ දවස්වල රට වටා යනව. අපේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් ඉතා හොඳින් කතරගම ප්‍රේමාව වැළඳගෙන තියෙනව.


ප්‍රේමා ගැන රසිකයන්ගෙ අදහස මොන වගේද?


ඇත්තටම ප්‍රේමාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මොකද අපේ රටේ ඉන්නෙ සංවේදී මිනිස්සු. මේක 1971 අවුරුද්දේ කතරගමදි සිදු වුණ ලොකු කතාවක්. හරිම සංවේදී කතාවක්. අවසානයේ අමානුෂික විදිහට ඇය ඝාතනය වෙනව. මේ දේවල් එක්ක හැකි උපරිම විදිහට මම ඒ චරිතය කරනව. එතනදි බොහෝ දෙනෙක් මට කියනව ඔයා ඇත්තටම වගේ චරිතය කළා. හොඳ සාධාරණයක් කරනව වගේම අපිව ඇඬෙව්ව කියල.


ප්‍රේමාට ජීවය දෙන්න ආරාධනය එන්නෙ කාගෙන්ද?


චරිතයට මට ආරාධනා කරන්නෙ මේ නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන සරත් දික්කුඹුර අයියා.


ඒ වෙලාවෙ ඔබට දැණුන හැඟීම මොන වගේද?


ඒ මොහොතෙ මම ලොකු කැමැත්තකින් චරිතය භාර ගත්තා. මොකද රංගන ශිල්පිනියක් විදිහට වේදිකාව හරහා කාන්තාවක් වෙනුවෙන් කතාකරන්න පුළුවන් චරිතයක් නිරූපණය කරන්න ලැබීම රංගන ශිල්පිනියකට ලැබෙන වරප්‍රසාදයක්. මම රංගන ශිල්පිනියක් නොවුණා නම් මට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැනෙ. ඒ නිසා රංගන ශිල්පිනියක් හැටියට මම නිතරම උත්සාහ කරන්නෙ මමත් දෙයක් ඉගෙනගෙන, සමාජයටත් යමක් දෙන්න පුළුවන් නිර්මාණයකට දායක වෙන්න. ඇය වීර කාන්තාවක්. මට ඒ චරිතය නිරූපණය කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනව.


ටෙලි නාට්‍ය වැඩකටයුතු කොහොමද?


අලුත් ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටයක වැඩකටයුතු ළඟදීම පටන්ගන්නයි ඉන්නෙ.


පසුගිය කාලෙ මොකද කළේ?


විශේෂ දෙයක් නැහැ. නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ අතරින් වැඩිපුරම සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට. චිත්‍රපට දෙකකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සිරිසඳකැළුම් මහත්මයාගෙ හදගැස්ම, ලාල් ප්‍රියදේව මහත්මයාගෙ නුහුරු වෑයම, ලුවී වැන්ඩර්ස් මහත්මයාගෙ බුද්ධි සහ රාක්‍ෂා යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව.


ජනප්‍රියත්වය ඔබ දකින්නෙ කොහොමද?


මම ජනප්‍රියත්වය අනිසි ලෙස ගත්ත කෙනෙක් නෙමෙයි. ඒක මගේ ළඟට ලැබුණ දෙයක්. ජනප්‍රියත්වය කියන දේට වඩා ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරය කියන දේට මම හරි කැමතියි. ඒ ආදරය නිසයි මම අද මේ තැන ඉන්නෙ.


අද වන විට ඒ ආදරය මොන වගේ තැනකද තියෙන්නෙ?


ඒක සාපේක්‍ෂයි. සමහර වෙලාවට වඩාත් වැඩිවෙන්න පුළුවන් වගේම සමහර වෙලාවට බොහොම අඩුවෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනව මාව දවසින් දවස ප්‍රේක්‍ෂකයන් හදවතින් වැළඳගත්තා කියල. ඒ වගේම මට තියෙන ජනප්‍රියත්වය අඩු වුණේ නැහැ. නමුත් ලැබෙන චරිතත් එක්ක කතාබහට ලක්වෙන විදිහ වෙනස්.


රංගන ක්‍ෂේත්‍රය තෝරාගැනීම ගැන තෘප්තිමත්ද?


ඔව්, රංගන ක්‍ෂේත්‍රය තෝරාගැනීම ගැන මම ගොඩක් සතුටින් ඉන්නෙ. මගේ ආසාව තිබුණෙ ගුරුවරියක් වෙන්න. නමුත් අවසානයේ මම රංගන ශිල්පිනියක් වුණා. අපි හිතන දේ නෙමෙයි, අපිට ලැබෙන දේයි භාරගන්න වෙන්නෙ. මමත් මට ලැබුණ දේ භාරගත්තා, මට ඒකෙන් වරදක් වුණේ නැහැ. ගුරුවරියක් වුණා නම් එක රාමුවක විතරයි මට ඉන්න වෙන්නෙ. නමුත් රංගන ශිල්පිනියක් වීම හරහා විවිධ වූ චරිත නිරූපණය කරන්න ලැබිල තියෙනව වගේම ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය ලබන්නත් පිං කරල තියෙනව.


වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය අතරින් වැඩිපුරම ඔබේ ආදරය රැඳෙන්නෙ කොතැනද?


මේ තුනටම මම ආදරෙයි. නමුත් වේදිකාවට වැඩිපුර ආදරය කරනව. මොකද වේදිකාව නිසයි අද මම මෙතැන ඉන්නෙ. හිස නමල මම ආචාර කරන්නෙ මම පටන්ගත්ත තැනට.


ක්‍ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?


මම රඟපෑමට යොමු වෙලා දැනට වසර විස්සක් විතර වෙනව. ඒ කියන්නෙ මම පාසල් ගිහින් ගෙදර ඇවිත් රඟපාන්න ගිය කෙනෙක්.


කලකිරුණ අවස්ථා තියෙනවද?


කලකිරීම් කියන දේ ඕනෑම කෙනකුට දැනෙන්න පුළුවන්. මොන ක්‍ෂේත්‍රයක හිටියත් මනුස්සයන්ට බුදුහාමුදුරුවො දේශනා කළ අටලෝදහම පොදුයිනෙ. අපි දැනගන්න ඕන අපිට ලැබුණ ජීවිතය හරි විදිහට ගෙනියන්න. එහෙම වුණොත් වරදින්නෙ නැහැ.


‘කතරගම ප්‍රේමා’ කණ්ඩායම ගැන මතක් කළොත්?


මේ නාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නෙ සරත් දික්කුඹුර මහත්මයා. නිෂ්පාදනය කරන්නෙ ප්‍රේමදාස ජයකොඩි මහත්මයා. රංගන ශිල්පීන් ගත්තොත් ඉතාමත් දක්‍ෂයො ටිකක් එකතුවෙලා ඉන්නෙ. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා අවුරුදු විසිපහකට පස්සෙ ‘කතරගම ප්‍රේමා’ එක්ක වේදිකාවට ගොඩවෙනව. කුමාරි මුණසිංහ, ජීවන් හඳුන්නෙත්ති, යශ් වීරසිංහ, ඉෂාන් මෙන්ඩිස්, දොන් ගයි, අජිත් ලොකුගේ මෙහි රංගනයෙන් දායක වෙනව.


ඔබ සම්බන්ධ වුණ වෙනත් වේදිකා නිර්මාණ ගැන කතා කළොත්?


නෙයිනගෙ සූදුව ට අවුරුදු දහයක් විතර සම්බන්ධ වෙලා හිටියා. හෙක්ටර් කුමාරසිරි මහත්මයාගෙ අලුත්ම නාට්‍යයේ රිහර්සල් කරගෙන යනව.


ශාලිකා විවාහය ගැන මොන වගේ මතයකද ඉන්නෙ?


අද වෙනකොට මම ඉන්නෙ විවාහය ගැන නොහිතන තැනක. මොකද ලොකු බැඳීම් එක්ක යනවාට වඩා මේ ගමන හොඳයි කියල මට හිතෙනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post