මාව චරිතයකට ගන්න කියල තාත්තා කාටවත් කියල නැහැ- ඉෂාරා අතුකෝරළ




ඉෂාරා අතුකෝරළ ගොඩක් දෙනෙක් දන්නෙ නිවේදිකාවක් විදිහට. නමුත් දැන් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව බොහෝ දෙනා හඳුනාගෙන ඉන්නව. පාර දිගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ ‘මේන් කැරැක්ටර්’ ටෙලි නාට්‍යයෙන් මේ දිනවල ඇයගේ රංගනය දැකගන්න පුළුවන්.

ඉෂාරා, සමාධි ගැන ප්‍රේක්‍ෂකයො මොකද කියන්නෙ?


ටෙලි නාට්‍ය පටන් අරගෙන දැන් ටික දවසක් වෙනව. වෙනස් විදිහේ චරිතයක්. මේ වන විට ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි.


අතුරුගිරියෙ සැලෝන් එකේ වීඩියෝ කතාව හරි ජනප්‍රිය වෙලා?


ඇත්තටම මටත් මාළඹේ ප්‍රදේශයේ සැලෝන් එකක් තියෙනව. සමහර අය ඒ ගැනත් අහනව. ඒ වගේම කාලීන මාතෘකාවක් වුණ නිසා මේ දවස්වල ඒක බොහොම ජනප්‍රිය වෙලා. සමාජමාධ්‍යයේත් වෛරල් වෙන්න පටන්ගත්ත නිසා මාව මෙන්ෂන් කර කර වීඩියෝ එක දානව. මේක අපේ ටෙලි නාට්‍යයටත් හොඳ ප්‍රමෝෂන් එකක් කියල මම හිතනව.


සමාධි, ඉෂාරාට සමානයිද?


සමාධි කියන්නෙ ඉෂාරාට සියයට සියයක් සමාන කෙනෙක් නෙමෙයි. නමුත් තරහ ගියාම කියවන ඒවා වගේ දේවල්වලින් මට ටිකක් සමානකම් තියෙනව.


මේ චරිතය ගැන කතා කළොත්?


සමාධි කියන්නෙ සැලෝන් එකක වැඩකරන දුප්පත් ගැහැනු ළමයෙක්. එයාගෙ අම්මා නගර සභාවෙ කුණු එකතුකරන කෙනෙක්. සමාධිට ශේන් ගැන පොඩි ආදරයක් ඇතිවෙනව. ඒ හරහා ගෙතෙන කතාවක් තමයි මේ චරිතයේ තියෙන්නෙ.


කොච්චර කාලෙකට පස්සෙද පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නෙ?


පාරදිගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ ටෙලිනාට්‍යයක හොඳ චරිතයකින් එන්නෙ ‘මේන් කැරැක්ටර්’ ටෙලි නාට්‍යයෙන්. ඒ මාස අටකට නවයකට පස්සෙ. මම එහෙම තෝරාබේරාගෙන රඟපාන්න තරම් අවස්ථා තිබුණ කෙනෙක් නෙමෙයි. මොකද ස්වර්ණවාහිනියෙ මගේ රැකියාවත් එක්ක රංගනයට තිබුණ කාලවේලාව මදි වුණා. නමුත් දැන් ඒ හැමදේම කළමනාකරණය කරගෙන රංගනයටත් වෙලාව හදාගෙන තියෙනව. සමාධි කියන්නෙ පාරදිගේ ටෙලියෙන් පස්සෙ කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් නිවැරදියි.


මේන් කැරැක්ටර්’ ටෙලි නාට්‍යයේදි ඔබේ තාත්තාත් එක්ක රඟපාන්න අවස්ථාව ලැබෙනවා?


ඔව්, මේ නාට්‍යයේ ශේන්ගේ තාත්තාගේ චරිතයට තමයි මගේ තාත්තා රඟපාන්නෙ. පාරදිගේ ඩ්‍රාමා එකෙන් පස්සෙ තාත්තයි මමයි එකම නිර්මාණයක ඉන්න එක ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනව. මගේ තාත්තා කියන්නෙ මේ ක්‍ෂේත්‍රයේ හැමෝම දන්න කියන කෙනෙක්. ඔහුට ලැබෙන ගෞරවයෙන් යම් ප්‍රමාණයක් මටත් ලැබෙනව. ඇත්තටම සතුටුයි ඒ ගැන.


පසුගිය කාලෙ මොකද කළේ?


අපේ බර්ගර් හට් එකේ වැඩෙන් පස්සෙ මම සැලෝන් එකක් පටන්ගත්තා. ඊට අමතරව වෙනද වගේම ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතු කරගෙන ගියා.


බර්ගර් හට් එකේ වැඩ නතර කළේ ඇයි?


ඒක අපි දීර්ඝ කාලීනව කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් අපිට හොඳ පාරිභෝගිකයන් පිරිසක් හිටියා. ඒ වගේම අපි ඒකෙන් හොඳ ලාභයක් ලැබුවා. නමුත් අපේ කාර්යබහුල බවත් එක්ක ඒක කරගෙන යන්න ටිකක් අපහසු වුණා වගේම පුංචි පුංචි ප්‍රශ්න ටිකක් ආවා. මොකද අම්මගෙයි තාත්තගෙයි වයසත් එක්ක දැන් ඒ දෙන්න ටිකක් නිදහසේ ඉන්න ඕන කාලෙ නිසා බර්ගර් හට් එක වහල දාල තාත්ත රඟපාන්න ආස නිසා එයාට ඒක කරගන්න නිදහස දීල අම්මට සුපුරුදු විදිහට නිදහසේ ගෙදර ඉන්න දීලා මං මගේ වැඩ ටික කරගෙන යනව.


ඔබ වෘත්තීයමය නිවේදිකාවක්?


ඔව්, නිවේදනය කියන්නෙ මම පුංචි කාලෙ ඉඳන්ම ආසා කරපු දෙයක්. නමුත් කවදාවත් හිතුවෙ නැහැ මට මං ආස කරන දේ ලැබෙයි කියල. මේ වන විට ස්වර්ණවාහිනිය වගේ හැමෝම දන්නකියන චැනල් එකක වැඩසටහන් තුනක් මම මෙහෙයවනව. ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක් සහ හරි සතුටින් මම ඒ රැකියාව කරනව.


ඉෂාරා මොන වගේ චරිතයක්ද?


ඉෂාරා කියන්නෙ, රාජකාරියක් පැවරුවොත් ඒ කටයුතු හරියට ඉෂ්ට කරන කෙනෙක් වගේම සතුටින්, සැහැල්ලුවෙන් කාගෙවත් හිතක් රිද්දන්නෙ නැතිව පාඩුවේ ඉන්න චරිතයක්.


තාත්තා මොකද දුව ගැන කියන්නෙ?


මට දැනෙන්නෙ තාත්තගෙ ආදරය දවසගානෙ වැඩිවෙනව කියල. තාත්තගෙ සමහර යාළුවො දැන් මං එක්කත් හොඳටම ෆිට්. එහෙම දකිනකොට එයා ගොඩක් සතුටු වෙනව. මම පොඩිකාලෙ ඉඳන් තාත්තා හරි ආසාවෙන් ඉඳල තියෙනව මම රංගන ශිල්පිනියක් වෙයි කියල. නමුත් කිසිම තැනකදි මට බලපෑමක් කළේ නැහැ. තාත්තා හැමදාම වැඩට ගිහින් ඇවිත් රිවයින් කරල මගේ ප්‍රෝග්‍රෑම් ටික බලනව. මම රඟපාපු ටෙලි නාට්‍ය තියෙනව නම් ඒවායේ මගේ කොටස් බලල අඩුපාඩු තියෙනවනම් කියල දෙනව. මගේ මූඩ් එක අවුලෙන් ෂූටිං ගිය වෙලාවට මැසේජ් එකක් හරි දානව, අදාළ දේට හිත යොමු කරන්න කියල.


නීති දාල තියෙනවද?


නැහැ. එයා මට කියන්නෙ ඔයාට පුළුවන් කියල හිතෙනවනම් භාරගන්න කියල. ඒ හැරුණම කිසිම දේකට නීති දාල නැහැ.


තාත්තා නිසාද ඔබට මේ අවස්ථාවන් ලැබන්නෙ?


‘මේන් කැරැක්ටර්’ ටෙලි නාට්‍යයේ ටේ්‍රලර් එක යනකොට මම තාත්තට කිව්වා, දන්නෙ නැති අය හිතන්න පුළුවන් තාත්තා කියල මාව මේ ටෙලියට දාලද දන්නෙ නැහැ කියල. ඇත්තටම එහෙම වුණේ නැහැ. පාර දිගේ ටෙලියෙ සහය අධ්‍යක්‍ෂවරයෙක් විදිහට කටයුතු කළ අමිල ප්‍රේමරත්න අයියා තමයි මාව මේ චරිතයට යෝජනා කළේ. තාත්තා නිසා මට අවස්ථාවන් නොලැබෙනව නෙමෙයි. නමුත් ටෙලියකට ගන්න කියල කවදාවත් කාටවත් කියල නැහැ. මට මේ ගොඩක් දේවල් ලැබුණෙ තාත්තා නිසා.


චිත්‍රපටවලට අවස්ථාව ලැබුණද?


ඔව්, මම චිත්‍රපට තුනක සුළු චරිත රඟපාල තියෙනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post