දස්සා ලංකාවේ ප්‍රේක්ෂකයන් සීරුවෙන් තියන්න ට්‍රයි කරයි




බොහෝ දෙනෙක් මෙයාට ආදරේට කියන්නේ දස්සා කියලා. හැබෑවටම මෙයා රඟපෑමට දක්ෂයා. ලැබෙන හැම චරිතයක් ඇතුළේම ජීවත් වෙලා රඟපාන හින්දම, රසිකයො මෙයාට මාර ආදරයක්, ගෞරවයක් දක්වන්නේ. දස්සා, දක්ෂයා හින්දම තමයි ලංකාවේ සම්මාන උළෙලවලදීත් නිසි ඇගයීමකට පවා ලක්වෙන්නේ. මේ මොහොතේ අපි දස්සා, එහෙමත් නැතිනම් දසුන් පතිරණ එක්ක පොඩි චැට් එකක් දාන්න හිතුවේ සුදේශ් වසන්ත අධ්‍යක්ෂණය කළ ‘සීරුවෙන්’ සිනමා නිර්මාණය තිරගත වීම ආරම්භ කිරීම හේතුවෙනි.


දස්සා, සීරුවෙන් සිනමා නිර්මාණයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


ප්‍රතිචාර ඉතා හොඳයි. මොකද මේ වෙලාවේ සීරුවෙන් වගේ ත්‍රාසජනක සිනමා නිර්මාණයක්, ජැක්සන් අයියාගේ හොඳම රංගනයක් වගේම අනෙක් ශිල්පීන්ගෙත් විශිෂ්ට රංගනයක් දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්. අපේ ලංකාවේ ත්‍රාසජනක සිනමා නිර්මාණ හරි අඩුයි. ඉතිං මේ වගේ ශානරයන්ගේ නිර්මාණවලට ඕනෑ තරම් ඉඩකඩ තිබෙනවා. තවම පටන් ගත්තා විතරයිනේ. අපි ට්‍රයි කරනවා ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ව සීරුවෙන් තියන්න.


ජැක්සන් ඇන්තනී සමග රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඒක ඉතිං මට ලැබුණු භාග්‍යයක්. ඒ වගේම මගේ වාසනාව. කවදාවත් හිතපු නැති විදිහට ඒ විශිෂ්ටයා අපෙන් වෙන්වෙලා ගියා. ඒ වෙන්වීමත් එක්ක මම හිතනවා මේක මට හම්බවෙච්ච මාර වැඩක් කියලා. කවදාවත් අමතක නොවන දවස් විස්සක්. මම මේ චිත්‍රපටය බලන්නේ නැහැ, ජැක්සන් අයියා නැති වුණා කියල හිතාගෙන. ඒක ඇත්තටම දරාගන්න අමාරුයි. එයා අපේ ෆිල්ම් එක ඇතුළේ තවම ජීවමානයි.


ජැක්සන් ඇන්තනී ඔබේ රංගනය ගැන මොනවද කිව්වේ?


ජැක්සන් අයියා මට එක දෙයක් කිව්වා. “උඹත් එක්ක වැඩ කරන්න මාර ලේසියි” කියලා. මට ඒ කමෙන්ට් එක මාර වටිනවා. ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නේ, මම එයත් එක්ක හොඳට බෝලෙ පාස් කරගත්තා කියන එකයි. මොකද මම මීට කලින් ජැක්සන් අයිය එක්ක ඇක්ට් කරලා තිබුණේ නැහැ. ජැක්සන් අයිය මාව අධ්‍යක්ෂණය කළා ඔහුගේ ‘සී රජ’ නිර්මාණයේ.


මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල ටෙලි නාට්‍ය දෙක තුනක වැඩ. ඔය අතරේ මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘Take Care’ නිර්මාණයට රංගනයෙන් සම්බන්ධ වුණා. චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා. ඔය අතරේ. ‘මාරියා’ චිත්‍රපටයත් තිරගත වේවි කියන විශ්වාසයේ ඉන්නවා.


‘මාරියා’ ඔබේ සිනමා ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් නේද?


ඔව්. ඒකත් මම හිතන්නේ හොඳ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ මාතෘකාවත් වෙනස් එකක්. ලංකාවට අලුත් මාතෘකාවක්. ලංකාවෙ ඉන්න හොඳම නළුවො ටිකක් ඒ චිත්‍රපටයෙත් ඉන්නවා.


දස්සා වේදිකාවට බහින්න අදහසක් නැති ද?


වේදිකාවෙ හිටියා, වැඩ කළා. ඒත් ඉතිං මේ වගේ මොහොතක වේදිකාවට බහිනවා කියන්නේ, ඒ වෙනුවෙන් අපිට මහන්සි වෙන්න වෙනවා. මම වේදිකා නළුවෙක් විදිහට මාර ටැලන්ට් එකක් පෙන්නලා නෑ. හැබැයි වැඩ කරල තියෙනවා. ඉතිං මම ඊට වැඩිය වැඩ කරන්නේ කැමරාවට. තියටර් එකටත් වැඩ කරන්න ආසාවෙන් ඉන්නවා, බලමු.


කැමරාවේදී ඔබ දක්වන දස්කම් ගැන ලැබෙන ඇගයීම් ගැන මොකද හිතෙන්නේ?


අපිට තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් හම්බවෙන දේවල් ටික සහ පාරට බැස්සට පස්සෙ මනුස්සයකුගෙන් ලැබෙන ප්‍රතිචාර. ඒ ප්‍රතිචාර ඇතුළේ තමයි මම ස්පාර්ක් වෙන්නේ. මට ඉන්නේ වයස් බේදයකින් තොර රසිකයො පිරිසක්.


‘අහසින් වැටුණා’ අතීතයට ආපසු ගියොත්?


ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මම හිතන්නේ 2012 වසර, මම එතකොට එක ටෙලිනාට්‍යයයි කරලා තිබුණේ. තව එක චිත්‍රපටයක් කළා. ‘අහසින් වැටුණා’ වගේ ටෙලි නාට්‍යයක වැඩ කළහම තමයි මගේ වටිනාකම වැඩි වෙන්න පටන් ගත්තේ. මට ඒකට සම්මාන පවා හම්බවුණා. ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරපු, නාමල් අයියයි සුසිත් අයියයි ලියපු, ධම්මික අයියා කැමරා කරපු හොඳ වැඩක්.


අධ්‍යක්ෂණ කාර්යයට අතගහන්න කාලය හරි කියලා හිතෙන්නේ නැති ද?


නළුවෙක් විදිහට තව වැඩ තියෙනවා.


ඇත්තටම නළුවෙක් විදිහට තවම තෘප්තිමත් නැති ද?


නළුවෙක් වුණහම තෘප්තිමත් වෙන්න බැහැ. මම නළුවෙක් වෙලා කියල හිතුවොත්, මම හිතන්නේ වැඩේ වරදිනවා කියලයි. තවමත් අපි ඉන්නේ මේක අධ්‍යයනය කරන ගමන් සහ ලයිෆ් එක විඳින ගමන්. තවම අපි මැදි වයසෙ ඉන්නේ. මම හිතනවා, මම තවම මදි කියලා. ඒක මගේ පෞද්ගලික තීරණයක්.


ගොඩක්දෙනෙක් කියනවා දස්සා කියන්නේ අනාගත බලාපොරොත්තුවක් කියලත්?


අපි ට්‍රයි කරනවා මැරෙනකම් රඟපාන්න. ඒ වෙනුවෙන් අපි හුඟක් මහන්සි වෙනවා, කැප වෙනවා. මොකද අපේ ජීවිතයම වගේ දීල තියෙන්නේ ඇක්ටින් වෙනුවෙන්. මම විතරක් නෙමෙයි, අප වටා ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකම ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් අපි ඉස්සරහට වැඩ කරගෙන යනවා. නමුත් මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයි ද කියලා. තව ඉස්සරහටත් මගෙන් වෙනත් දෙයක් වෙන එකක් නැහැ. මොකද මම දන්න දේ මෙච්චරයි. ඒ වෙනුවෙන් වැඩ කරනවා.


දස්සා දන්නේ රඟපාන්න විතරයි?


ඇත්තටම ඔව්. මේක ඇතුළේ වැඩ කරන්න පුළුවන්. නැතිනම් මට වෙන වැඩ තේරෙන්නේ නෑ. මම එහෙම කිසිම වැඩක වෘත්තීය මට්ටමේ නැහැ. ඉතිං මේක අස්සේ මම ඕන වැඩක් කරලා තියෙනවා. අනික මට ඒක තේරෙනවා.


දස්සා කියන්නේ ඇඳගන්නේ නැති නළුවෙක් කියලත් සමහරු කියනවා?


නැහැ. ඉතිං මම සෙලිබි්‍රටි ටයිප් එකේ නළුවෙක් නෙමෙයි. ඒක හැමෝම දන්නවා. මම පාරෙ ගියත් ප්ලේන්ටියක් ගහන්නවත්, සිගරැට් එකක් බොන්නවත් බයවෙන්නේ නැහැ. මම නළුකම මේන්ටේන් කරන්නේ නැහැ. හැබැයි මම බය නැතිව කියනවා, මම ඇක්ටර් කෙනෙක් කියලා. නළුවා මේන්ටේන් කරන්නේ නැතිව දසුන්ගේ ලයිෆ් එකේ ජීවත් වෙනවා. ඒ ජීවත්වෙන දේවල්වලින් තමයි වැඩ කරන්න හම්බ වෙන්නේ. ලයිෆ් එකේ ෆීලින්ස් විඳින්න විඳින්න තමයි අපිට වැඩ තියෙන්නේ. මම මේ මොහොතේ ජීවත්වෙනවා. ඒක විඳිනවා.


දිනේෂ් විතාන




Previous Post Next Post