පොලිසියෙන් නවත්තලා ඇහුවා 120ට නේද ආවෙ කියල - තුෂිනි මරියා ප්‍රනාන්දු



තුෂිනි මරියා ප්‍රනාන්දු ඒ නම ඔබට නුහුරු ඇති. කෝටිපතියෝ ටෙලි නිර්මාණයේ අංජලී තාමත් ඔබට අමතක නැතිව ඇති. මේ ඇයයි. පාසල් කාලය නිම වූ සැණින් ඉතාලිය බලා ගිය ඇය විටින් විට මෙහි පැමිණියේ කලා නිර්මාණවල රූගත කිරිම් සඳහා පමණි. මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඇය ටෙලි නිර්මාණයක රූගත කිරීමක් සඳහා. එක් විරාමයකදී ඇය අප හා කතාබහට එක්වූවාය.


තුෂිනි ලංකාවට ආපු ගමන්ම කාර්යබහුල වෙලා නේද?


ඇත්තටම මං ලංකාවට ආවේ ටෙලි නිර්මාණයක රූගත කිරීමකට. මේ දවස්වල ඒකෙ වැඩ. තවත් නිර්මාණ කිහිපයක් සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඒවත් ඉදිරියේදී රූගත කිරීම් පටන් ගන්න නියමිතයි. ඒ නිසා මට ටික දවසක් ලංකාවෙ ඉන්න වේවි.


ඔබ ඉතාලියේ පදිංචියට ගිහින් කාලයක් වෙනවා?


ඔව්, මං උසස් පෙළ ඉවර වුණ ගමන්මයි ඉතාලියට ගියේ. ඒ වෙද්දි අම්මල හිටියෙත් එහේ. මට ඉන්නෙ නංගිල තුන්දෙනෙක්. ලොකු නංගියි මායි A/L කළේ ලංකාවෙ. චූටි නංගිල දෙන්න එහේ පාසල්වලට දැම්මා. මට ඕන වුණේ කොහේ හිටියත් අපි පවුලම එකට ඉන්න.


එතකොට තුෂිනි කලාවට සම්බන්ධ වෙන්නෙ?


ඉතාලියෙදි කරපු ෆොටෝ ෂූට් එකක් දැකලා චාමර සමරවික්‍රම මහත්මයා කෝටිපතියෝ ටෙලි නිර්මාණයට මට ආරාධනා කළා. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඔඩිෂන් එකට එන්න බැරි වුණත් ඔන්ලයින් හරහා මං ඔඩිෂන් එකට ෆේස් කළා. ඒ වෙද්දි රංගනය ගැන මට කිසිම අත්දැකීමක් තිබුණෙ නෑ. ඒත් ඔවුන් මා ගැන ලොකු විශ්වාසයක් තියලා ප්‍රධාන චරිතයක් මට භාර දුන්නා. ඒක මට ලොකු රිස්ක් එකක් වුණේ කෝටිපතියෝ ඒ වෙද්දි අතිශයින් ජනප්‍රිය වෙලා ජනගත වෙලා තිබුණු හාරකෝටිය ටෙලි නිර්මාණයේ දෙවනි කොටස වීම නිසා. අංජලී කියන චරිතයට සාධාරණයක් කරන්න මට ලොකු වගකීමක් තිබුණා. ප්‍රේක්ෂකයන් අතරට යන්නෙ කොහොමද කියන එක තමයි මට අභියෝගයක් වුණේ. අනෙක් අතට අංජලී කියන්නෙ සාමාන්‍ය ගෑනු ළමයෙක් නෙවෙයි. ඒ චරිතය තුළ මට ගොඩක් දේවල් කරන්න තිබුණා. මගේ උත්සාහය හා කැපවීම නිසා මට ඒක ජයගන්න පුළුවන් වුණා කියලා හිතෙනවා.


රංගනය ගැන කිසිම දෙයක් නොදැන ආපු තුෂිනිගෙ කුලුඳුල් රංගන අත්දැකීම ගැන කතා කළොත්?


මං උසස් පෙළට කළේ ජීව විද්‍යාව. මට ඕන වුණේ වෛද්‍ය විද්‍යාව හදාරලා කාඩියොලොජිස්ට් කෙනෙක් වෙන්න. ඒත් කෝටිපතියෝ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණාට පස්සේ මේක තමයි මං ආස කරන දේ කියලා මට දැනෙන්න ගත්තා. ඇත්තටම මං රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒ අවස්ථාව මට ලැබුණෙ වාසනාවට කියලයි මට හිතුණේ. මේ වෙද්දි නම් ඒ අදහස වෙනස් වෙලා. රංගනය කියන්නෙ ආසාවට කරන දෙයක්වත්, විනෝදාංශයක්වත් නෙවෙයි’ ඒක වෘත්තියක් කියන එක දැන් මං අවබෝධ කරගෙන ඉන්නේ. ඒකට යම්කිසි අධ්‍යයනයක් තියෙන්න ඕන වගේම අපි කරන දේට සාධාරණයක් කරන්න එනර්ජි එක දෙන්න ඕන. අපි ඒකට මහන්සි වෙන තරමට තමයි ඒ නිර්මාණයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. සිවගුරුනාදන් සර් වගේම සද්ධා සර් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එයාලා තමයි මගේ මුල්ම ගුරුවරු. එතන හිටිය ආධුනිකම කෙනා මං වෙන්න ඇති. ප්‍රවීණයන්ගෙනුත් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. අදටත් ඒ චරිතයේ නමින් මාව හඳුන්වන අය ඉන්නවා. ඒ ගැන නම් හරිම සතුටුයි.


ඔබ චතුර ලෙස ඉතාලි භාෂාව හසුරුවනවා. ඉගෙන ගන්න අපහසු වුණේ නැද්ද?


මුලදි මට ඉතාලි භාෂාව පොඩ්ඩක්වත් බැහැ. ඒක ඉංග්‍රීසිවලට වඩා වෙනස්. නාම පදයකටත් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදය තියෙනවා. මං ගොඩක්ම ඉගෙන ගත්තෙ ස්වයං අධ්‍යයනයෙන්. ඊට අමතරව පල්ලියේ උගන්වන සර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා. පාසල් ගමන අවසන් වුණු ගමන්ම නිසා හරි ඉක්මනින් මට ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. සර්ටත් ඒක තේරිලා සර් ලංකාවට එද්දි ඒ කරපු පාඩම් ටික ඉදිරියට උගන්වන්න පුළුවන් ද කියලා මගෙන් ඇහුවා. මාත් කැමති වුණා. ඒත් එක්ක මගෙ හැකියාව තවත් වැඩිදියුණු වුණා. දැන් මට හොඳටම පුළුවන්.


ගිය වතාවෙ ලංකාවට ආපු වෙලාවෙ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගිහින් අහුවෙලා කලබගෑනියක් වුණා කියන කතාව මොකක්ද?


ඇත්තම කතාව කිව්වොත් මං එදා ඉතාලි යන ප්ලයිට් එක බුක් කරලා තිබුණේ තුන්වැනි වතාවට. ආයෙම දික්කරන්නත් බෑ. ඒ වෙද්දි ෂූට් කළ ටෙලි නාට්‍යය කියපු දිනේට ඉවර කරගන්න බැරි වෙලා දින තුනක් විතර ඇදුණා. එදත් ෂූටින් ඉවර වෙලා මං වේගෙන් ගියේ ප්ලයිට් එකට පරක්කු වෙන නිසා. මං නිකං දැක්කා 140ට ගියේ කියලා. ඒ වෙලාවෙ මට ඒක එච්චර ඔළුවට ආවෙ නෑ ප්ලයිට් එකේ සිහියෙන් හිටිය නිසා. එකපාරටම එක්සිට් එකේදි පොලිසියෙන් නවත්තල ඇහුවා මිස් 120ට නේද ආවෙ කියලා. මං එක පාරටම කිව්වා නෑ මං ආවෙ 140ට කියලා. ඒ වෙලාවෙ මට හිතුණෙ කවුරුහරි 120ට ආපු කෙනෙක් හොයනවා වෙන්න ඇති කියලා. මං ඉතින් ඇත්තම කිව්වා. ඒ ඔෆිසර්ටත් හිනා ගියා. දඩ කොළයක් ලිව්වා. ලයිසන් එක තියෙද්දි ගිහින් පස්සෙ තමා ගෙන්න ගත්තේ. ඔන්න ඕකයි වුණේ. සමහරු මට දොස් කියලා තිබුණා ඒකවත් දන්නෙ නැද්ද කියලා. දැන්නම් මං ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.


තුෂිනිට ආදරය ගැන තියෙන්නෙ මොන වගේ අත්දැකීමක්ද?


මේ වෙද්දි නම් මං ආදරවන්තියක් නෙවෙයි. වසර හතක ප්‍රේමයක් මටත් තිබුණා. ඒක මගේ ජීවිතේ සුන්දර අත්දැකීමක් වුණා. ඒක එච්චරයි. ඒ ගැන කිසිම පසුතැවීමක් නෑ. ආදරය කරන කෙනා මෙහෙම වෙන්න ඕන කියලා රාමුවක් හදාගෙනවත් කන්ඩිෂන් දාගෙනවත් නෑ මං. කෙනෙකුගේ මොනයම් හෝ දේකට අපිට ආදරේ කියන එක හිතෙන්න පුළුවන්.


නාමලී ගමගේ




Previous Post Next Post