අද වෙද්දී ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට දිමංක වෙල්ලාලගේ පත් වෙලා අවසන්. ඔහු ගයන විරහා ගීතවලට අද පරම්පරාව තුළ තියෙන්නේ හොඳ ඉල්ලුමක්. හැබැයි ඔහු අද මේ ඉන්න තැනට එන්න ආව ගමන නම් සුන්දර නැහැ. බොහෝ දුෂ්කරතා මැද ජීවිතේ දිනපු දිමංක නිරතුරුවම තමන්ට සහය දුන් ආදරණිය හිත් සිහිපත් කරන්නේ ගෞරවාන්විතව.
දිමංක මොකද වෙන්නේ මේ කාලේ?
මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ වැඩවල නිරත වෙනවා. පහුගිය ටිකේ නම් කාර්යබහුල කාලයක් ගත කළේ. ඊට අමතරව මගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගයට සූදානම් වෙනවා. අගෝස්තු 2 රත්නපුරේදී තමයි මම මගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය පවත්වන්නේ. මේක මගේම වැඩක්. මෙච්චර කල් එළිමහන් ප්‍රසංගවල පමණයි ගීත ගායනා කළේ. මේක මටත් අලුත් අත්දැකීමක් වෙනවා. කාලයක් තිස්සේ ලොකු ආසාවක් තිබුණා මගේම ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන්න. ඒ නිසා “අහිංසකාවි ලයිව් ඉන් කොන්සර්ට්“ නමින් මම රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පළමු ප්‍රසංගය පවත්වනවා. ඒ එක්කම මගේ ටී ෂර්ට් ව්‍යාපාරයත් කරගෙන යනවා “ඩී වෙල්ලා“ කියලා. අලුත් ගීත කිහිපයක්ම කරලා තියෙනවා.
ප්‍රසංගය පවත්වන්න රත්නපුරම තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවද?
මගේ ගම හික්කඩුව වුණාට මට ලොකු ආසාවක් තිබුණා මගේම වැඩක් කරනවා නම් ඒ වැඩේ පටන් ගන්නේ රත්නපුරෙන් කියලා. මට ප්‍රසංග වුණත් වැඩිපුරම ලැබෙන්නේ රත්නපුරය පැත්තෙන්. අප්‍රේල් මාසේ එහෙම ගත්තම මම රත්නපුර විතරක් ප්‍රසංග 25කට වගේ සහභාගී වෙනවා. ඒ අත්දැකීම විඳලා තියෙන නිසයි පළමු ප්‍රසංගය පවත්වන්න රත්නපුරය තෝරා ගත්තේ.
“අහිංසකාවි ලයිව් ඉන් කොන්සර්ට්“ නමින් ප්‍රසංගය නම් කරන්නත් විශේෂ හේතුවක් තියෙනවද?
අහිංසකාවි කියන ගීතය මගේ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාව ගීතයක්. නිදුකින් ඉනු මැන ගීතයෙන් මම ෆීල්ඩ් එකට ආවට පස්සේ මම ගයපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. ඒ වගේම අහිංසකාවි කියන ගීතයත් එක්ක නැවත මම ඉපදීමක් වගේ සිද්ධ වුණා. ඒ ගීතය අදටත් ජනප්‍රියයි. ඒ එක්කම අහිංසකාවි කියන වචනයත් මම ගොඩක් ප්‍රිය කරන වචනයක්. ඒ නිසා තමයි ඒ නමින් යන්න තීරණය කළේ.
දිමංක එහෙම අහිංසක ද?
අනිවාර්යෙන්ම
අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මම මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 11ක් වගේ. ඒ කාලය තුළ කිසිම අඩුපාඩුවක් නැතුව ප්‍රසංග ලැබෙනවා. රසික ආදරේ නොඅඩුව ලැබෙනවා. ඒ ගැන හිතලා බලද්දී හරි සතුටුයි. නමුත් අපි ගමනක් යද්දී ඒ ගමන තුළ අපිට එන බාධක කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ හැමදේම උපේක්ෂාවෙන් දරාගෙන ගත්ත අත්දැකීම් හොඳ පන්නරයක් කරගෙන හොඳ නොමැකෙන නමක් තියාගන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. මගේ හදවතටම දැනුණු රසික පිරිසක් ඉන්නවා. මම දන්නවා ඒ අය කවදාවත් මාව අතහරින්නේ නැහැ කියලා. ඒ විශ්වාසය එක්ක ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.
දිමංක වැටෙන හැම තැනකම ශක්තියක් වුණු අය ඇති?
අනිවාර්යෙන්ම මගේ මිතුරන් සහ මගේ බිරිඳ ඒ එක්කම මගේ ආදරණීය දියණිය මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. එයාලා තමයි මගේ මේ ගමනට ලොකුම හයිය වුණේ. බිරිඳ නැත්නම් මේ ගමන මෙතනට එන්න තව කල් යන්න තිබ්බා. අදටත් මාව දරාගෙන ඉන්නවා. මගේ ප්‍රසංගයට අනුග්‍රාහකත්වය දක්වලා උදව් කරන්නේ මගේ මිත්‍රයන්. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.
දිමංකගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක් ද?
මම මුලින්ම රැකියාව කළේ නාවික හමුදා ක්ෂේත්රයේ. මගේ ඉන්ටෙක් එකේ දී විශිෂ්ටතම ආධුනික නැවියා විදියට විසිර යන්නේ. ඒ ආපු ගමනේදී එක තැනකදී මට හිතුණා මගේ ගමන මේක නෙවෙයි, මීට වඩා වෙනස් ගමනක් තියෙනවා කියලා. ඒ ගත්ත තීරණය තමයි අද මල් පල ගැන්වෙලා තියෙන්නේ.
ඒ හැරවුම් ලක්ෂ්‍යයේ සාක්ෂිකරුවා රාජ් අයියා, අපි ඒ ගැනත් මතක් කරමු
ඔව්. රාජ් කුමාර් තිරෙයියම්පලම් අයියා නැත්නම් දිමංක කෙනෙක් නැහැ. විශේෂයෙන් බිරිඳගෙන් ලැබුණු සහයෝගය මට මේ ගමනට බලපෑවා වගේම මම කිසිවක් නැතුව එනකොට රාජ් අයියා තමයි මාව එක තැනකදී අල්ලගන්නේ. එයා තමයි මට නිර්මාණ කරලා දෙන්නේ. නිදුකින් ඉනු මැන, අහිංසකාවි කියන ගීතවල මෙලඩි එයාගේ. මේ දවස්වල එයා ඇෙමරිකාවේ ඉන්නේ. නැවතත් රාජ් අයියා එක්ක බ්ලාස්ට් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අදටත් නාවික හමුදා නිලධාරියෙක් දැක්කම හැරිලා බැලෙනවද?
අනිවාර්යෙන්ම. ඒ අතීතයට මම හරි ආදරෙයි. එතැනින් තමයි ජීවිතේට ලොකුම පන්නරයක් ලබා ගත්තේ. ඒක මම හිතන්නේ නැහැ ඒ දේ කවදාවත් මට අමතක කරන්න පුළුවන් වෙයි කියලා. එතැනින් ලැබුණු ශක්තිය සහ විනය ජීවිත කාලයටම තියෙනවා. ඒ නිසා අදටත් මම ගෞරවනීයයි නාවිකා හමුදාවට. අදටත් මා එක්ක එදා පුහුණුව ලබපු සාමාජිකයන් මිතුරුයි. මම දිගටම සේවයේ හිටියා නම් අවුරුදු 17ක් වගේ වෙනවා. අපි කොතැනට ගියත් අපි අපේ අතීතය අමතක කරන්න බැහැ. එහෙම වුණොත් අපිට ලොකු දුරක් යන්නත් බැහැ. මුල ඉඳන් හිටිය හැමෝම එක්කම අදටත් ඒ තිබ්බ බැඳීම තියෙනවා.
අවුරුදු 11ට මේ වෙද්දී ගීත කීයක් ගායනා කරලා තියෙනවද?
ඔක්කොම ගීත ගත්තම ගීත 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
දිමංකගෙන් වෙනස් ආරක අලුත් නිර්මාණයක් අහන්න ලැබෙයිද?
මම කොහොමත් එකම රේන්ජ් එකේ ගීත ගායනා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. අලුත් ගීත කිහිපයක්ම කරලා තියෙනවා. ළඟදිම අහන්න ලැබේවි.
අනුෂා රණසිංහ