නළුවෙක් පෙම්වතා කර ගන්න බලාපොරොත්තුවක් නෑ- කවී ගමගේ



මේ දිනවල නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙන කවී ගමගේ පුංචි තිරයට අලුත් මුහුණක්. කෙටි කාලයක් තුළදී රංගනය ස්පර්ශ කළත් සිනමාවටත් ඈ දැන් සම්බන්ධ නිළියක් මේ. කවී ගැන තොරතුරුයි


රූපවාහිනී තිරය දෙස බලාගෙන නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද කවී කියන්නේ , එහෙම ද..?


මමත් නිළියක් වුණා නම් කියලා පුංචි කාලේ ටීවී එක බලද්දී හිතිලා තියෙනවා. නමුත් ඒකට ලොකු උනන්දුවක් දැක්වුයේ නැහැ. මොකද අධ්‍යාපන කටයුතු හරියට කර ගන්න ඕන නිසා, පස්සේ මම අයි. ටී. එන් අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වුණා. එහි අවසන් කුමරියන් 12 අතරට ආවා. ඒ ස්ටේජ් එකට නැග්ගට පස්සේ හිතුවා මම කොහොම හරි නිළියක් වෙනවා කියලා , මම නර්තන ගුරුවරියක් විදිහට දැන් කටයුතු කරනවා, ඉස්සර පාසලේදි පන්තිවල ගුරුවරු එන්නේ නැති පීරියඩ්වල ඩාන්ස් උගන්වන්න මට තමයි කියන්නේ. මම ඩ්‍රාමාවල හිටියා. ඒ නිසාම නිළියක් වෙන්න හීන දැක්ක කෙනෙක් කියන්න පුළුවන්.


ගැහැනු ළමයින්ට නිළිකම සුදුසු නැහැ කියලා දෙමාපියන් කිව්වේ නැද්ද ..?


මගේ ගම මාතර, මගේ අම්මා රියැදුරු පුහුණුකාරිනියක්. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මට නංගි හා මල්ලියෙක් ඉන්නවා. තාත්තා කැමති වුණේ නැහැ මේ ෆීල්ඩ් එකට එනවට. ෆීල්ඩ් එකේ තියෙන එක එක කතා එක්ක එයාලා බය වුණා මගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා. මම මේ ගමන ආවේ අම්මගේ උදව්වෙන් විතරයි. ඒත් දැන් තාත්තා තරම් සතුටු වෙන තව කෙනෙක් නැහැ. පොඩි ඇඩ් එකක මම හිටියත් තාත්තා බලනවා.


රංගනයට එන්නේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ද සල්ලි හොයන්නද..?


ජනප්‍රියත්වය හෝ සල්ලි හොයන්න නෙමෙයි මම මේ ගමන ආවේ. මට මගේ හැකියාව රූපවාහිනී තිරයෙන් දකින්න ඕන වුණා. ඒ ආසාව නිසා තමයි මම රඟපාන්න එන්නේ.


මේ දවස්වල ඔබව වැඩිපුර දන්නේ කවුරු විදිහට ද..?


නිකිණි කුසුම් නාට්‍යය තමයි මුලින්ම නාට්‍ය. ඊට පස්සේ අකුරට යන වෙලාවේ නාට්‍යයේ චූටී මිස් තමයි මම. සිදාදියේ නාට්‍යයේ සබන් කෙල්ල කියලා හැමෝම කතා කළේ. දැන් චිත්‍රපට දෙකකටත් සම්බන්ධ වුණා. සමාජ මාධ්‍ය මාව දන්නේ කවී ගමගේ කියලා. ලොකුවට චරිත නම්වලින් කතා කරන්නේ නැහැ. තවම මම රංගනයට ඇවිත් අවුරුද්දයි. ඒ පොඩි කාලේ මම ලොකු කට්ටක් කෑවා. ඒ නිසා තමයි මට මේ ගමන මේ විදිහට යන්න පුළුවන් වුණේ. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.


ඕනෑම දෙයක් කරන්න ගිහිං කටකතා හැදෙයි කියලා බයක් නැද්ද ..?


මම කලාකාරිනියක් නිසා කොහොම හිටියත් කතා හදනවා. ඒක මම කොටට ඇන්දත් දිගට ඇන්දත්, හොදින් ජීවත් වුණත් හැදෙන කතා හැදෙනවා. ඒ නිසා මම ඒවා ලොකුවට ගන්නේ නැහැ. මම හරියට ජීවත් වෙන එක ගැන විතරයි මම හිතන්නේ. කවුරු මොනවා කිව්වත් මම අදාළ කර ගන්නේ නැහැ. අනිත් එක කටකතා හැදුණත් මම මානසිකව වැටෙන්නේ නැහැ.


ක්ෂේත්‍රයට අලුත් මුහුණක් ඔබ, හොඳ නිර්මාණවලට සම්බන්ධ කර ගන්න ඇතැමුන්ගෙන් අයුතු යෝජනා ඇවිත් නැද්ද ..?


මට එක්තරා අධ්‍යක්ෂකවරයෙක් අනිසි යෝජනාවක් කළා. මම මේ ෆීල්ඩ් එකට අලුත්. නමුත් මගේ තැන හදා ගන්න මම ඒ වගේ යෝජනා භාර ගන්නෙ නැහැ. ඒ නිසා ඔහුව තරහා කර ගන්නෙ නැතුව මම ඔහුගේ යෝජනා ප්‍රතික්ෂේප කළා. ඔහුත් මාත් එක්ක අමනාපයක් නැහැ. මටත් ඔහු එක්ක තරහක් නැහැ. ෆීල්ඩ් එකේ මිනිස්සු තරහා කරගෙන මේ ගමන යන්න බැහැ. අපි මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕන. ඒ විදිහට එන අයුතු යෝජනා හෝ නරක යෝජනා මම ප්‍රතික්ෂේප කරනවා. මගේ ශරීරය විකුණගෙන ගමනක් යන්න හෝ මුදල් උපයන්න මට කැමැත්තක් නැහැ.


නළුවෙක් ඔබව පෙම්වතිය කර ගන්න අවශ්‍ය බව කිව්වොත්, ?


මේ ෆීල්ඩ් එකේ රංගන ශිල්පීන් ආදරේට යෝජනා කරලා තියෙනවා. ඒත් මම නළුවෙක් පෙම්වතෙක් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ , මේ ගමන යන්න නම් දැන්මම බැදිම් ඇති කරගෙන ගමනක් යන්න බැහැ. ඒ නිසා මම පෙම්වතෙක් නළුවෙක් කර ගන්නෙ නැහැ


ඔබට වැඩිහිටියන් ට පමණයි ලේබල් යටතේ කලාත්මක සිනමා කෘතියක් සඳහා රංගනයෙන් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණොත් භාර ගන්නවද..?


මගේ වයස අවුරුදු 21යි. මම මට දාගත් සීමාවන් තියෙනවා. මම කවදාවත් ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. මුහුණ භාවිතා නොකර මගේ ශරීරය පමණක් භාවිතා කරන්නවත් මම එකඟ වෙන්නේ නැහැ.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post