අපි දෙන්න විවාහ වුණු වෙලාවෙ වෙඩින් එකක් ගත්තෙ නැහැ- අංජලී ලියනගේ



වසර ගණනක් පුරා දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ අනූෂාගේ භූමිකාව හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබූ ඇය හර්ෂ උඩකන්දගේ ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයේ රේණුකා ලෙසින් මේ දිනවල ප්‍රේක්ෂක හදවත් තව තවත් ස්පර්ශ කරමින් සිටින්නීය. ප්‍රවීණයන් ඇසුරේ ලද අත්දැකීම් නවකයන් හා බෙදා ගනිමින් ඇය ඔවුන්ගේ ගමනට ද ශක්තියක් වන්නීය. අංජලී ලියනගේ නමින් කලාව තුළ සෙමින් වුව ද ස්ථාවර ගමනක් යන ඇය දක්ෂ වාදන ශිල්පියකු මෙන්ම ගායන ශිල්පියකු ද වන තරිඳු පෙරේරාගේ ආදරණීය කැදැල්ල සෙනෙහසින් පුරවන්නීය. කෝ දැන් දෙවනි ඉනිමෙ අංජලී නැද්ද? බොහෝදෙනාගේ සිතට නැඟෙන මේ පැනයට පිළිතුරු ද සමඟින් ඇය පළමුව අප හා කතාබහට එක්වූවාය.


හැමෝම අහන ප්‍රශ්නයට මුලින්ම පිළිතුර දීල ඉමුකො. අංජලී ඇත්තටම ඇයි දෙවනි ඉනිමෙන් අයින් වුණේ?


මං හිතනවා මේක තමයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න හොඳම අවස්ථාව කියලා. ඕක ගොඩක් දෙනා පහුගිය කාලෙ මගෙන් අහපු ප්‍රශ්නයක්. දෙවනි ඉනිම කියන්නෙ අවුරුදු ගාණක් තිස්සෙම මං ප්‍රේක්ෂකයන් එක්ක හිටිය නිර්මාණයක්. කොටින්ම කියනව නම් මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තෙ දෙවනි ඉනිමෙ අනූෂා එහෙම නැත්නම් දෙව්මිගෙ අම්මා විදිහට. පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු චරිතයක්. මාත් පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන චරිතයක්. අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, සන්ධ්‍යා මෙන්ඩිස් වගේම තිර පිටපත ලිව්ව සමන් එදිරිමුණි අයියවත් ආදරෙන් සිහිපත් කරනවා. ඇත්තටම මං දෙවනි ඉනිමෙන් අයින් වුණා නෙවෙයි. මං සම්බන්ධ වුණු පළමු අදියර ඉතාම ලස්සනට සාර්ථක අවසානයක් සමඟින් නිමාවට පත් වුණා. ඒ වෙනුවෙන් මං උපරිම සහාය දුන්නා. දෙවනි කොටසට සම්බන්ධ වුණේ නෑ. දීර්ඝ කාලයක් එකම නිර්මාණයකට සම්බන්ධ වෙලා හිටිය ඇති කියල හිතුණා. මට හිතෙනවා මං සමුගත්තෙ හොඳම කාලෙ කියලා. දැන් යන්නෙ ඒකෙ දෙවනි කොටස. අංජලී නැත්තෙ දෙවනි කොටසෙ. එහෙම නැතුව ගැටලුවක් නිසා අයින් වුණා නෙවෙයි. දෙරණ නාළිකාවේ දෙවනි ඉනිම හරහා එදා ලැබුණු ප්‍රේක්ෂක ආදරය ප්‍රාර්ථනා හරහා තව තවත් වැඩි වෙලා කියල හිතෙන්නෙ මේ දවස්වල ලැබෙන ප්‍රතිචාරත් එක්ක. හර්ෂ උඩකන්ද කියන්නෙත් ගොඩක් දක්ෂ වැඩ කරන්න හරිම පහසු අධ්‍යක්ෂවරයෙක්.


හිත ළඟ හිනැහුණා කියන්නෙත් ගොඩක් ප්‍රේක්ෂක ආදරය දිනූ නිර්මාණයක්?


ඔව්. හිත ළඟ හිනැහුණා නිර්මාණයේ ලලාගෙ චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මං ගොඩක්ම ආදරේ කරන චරිත දෙකෙන් එකක්. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ යෙනුකිගෙ අම්මටත් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා.


අංජලී දැන් අම්මගෙ චරිතයටම කොටු වෙලාද?


මාත් ආදරණීය අම්මා කෙනෙක්. මටත් ඉන්නව පණ වගේ ආදරේ කරන දුවෙක්. ඒ නිසා අම්මා කියන චරිතයට මං හරිම කැමතියි. ඒත් ලස්සනට ඇඳ පැලඳ ගෙන ජුවලරි එල්ලගෙන දෙබස් විතරක් කියන්න තියෙන පොෂ් අම්මට නෙවෙයි. යමක් කරන්න පුළුවන් චරිතයකට. තාමත් මට ඒ වගේ චරිතයක් ලැබිල නෑ. මට ලැබෙන දේට මං උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. ඒත් යමක් කරන්න පුළුවන් චරිත මට තාමත් ලැබුණෙ නෑ කියල තමයි මට දැනෙන්නෙ. සරලවම කිව්වොත් මගේ ඇඟ ඇතුළෙ ඉන්න රංගන ශිල්පිනිය තෘප්තිමත් කරන්න පුළුවන් චරිතයක් මට තාමත් ලැබිල නෑ කියල තමයි කියන්න තියෙන්නෙ.


අංජලී නැවතත් වේදිකාවට එනවා කියන කතාව ඇත්තද?


පාසල් වේදිකාව කියන්නෙ මට හුරුපුරුදු තැනක්. ප්‍රියන්ත සමරකෝන්ගේ නෝනාවරු සමඟ මහත්වරු එක්ක ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණා. ඊට පස්සෙ ටෙලි නාට්‍යත් එක්කම කාර්‍යබහුල වුණ නිසා වේදිකාවෙන් ඈත් වෙන්න වුණා. මේ දවස්වල පොඩි නිදහසක් ලැබිල තියෙන නිසා නැවතත් වේදිකාව එක්ක සම්බන්ධ වෙන්න ඕන කියල හිතුණා. මං කොහොමත් වේදිකාවට ගොඩක් ආදරෙයි. මේ දවස්වල තිර පිටපතක් එක්ක සාකච්ජා කරමින් ඉන්නෙ. බොහෝදුරට ඉදිරියේදී නැවතත් වේදිකාවේ දකින්න ලැබේවි.


මේ දවස්වල ෂෙයාර් වෙන අංජලීගෙයි තරිඳුගෙයි වෙඩින් ෂූට් එකේ කතාව ගැනත් කියමු?


ඇත්තම කතාව කිව්වොත් අපි දෙන්න විවාහ වුණු වෙලාවෙ අපි වෙඩින් එකක් ගත්තෙ නැහැ. ඕනෙම ගැහැනියකගේ හීනයක් තමයි ලස්සනට ඇඳල ෆොටෝ අරන් ඒ මොහොත සමරන එක. ඒක ජීවිතේට සුන්දර සිහිවටනයක්. මගේ හිතෙත් ලොකු ආසාවක් තිබුණ ලස්සනට ඇඳල ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒක හරිම අහිංසක ආසාවක්. මං ජීවිතේ කවදාවත් උත්සවයක් ගනිපු කෙනෙක් නෙවෙයි. පහුගිය දවසක අපේ විවාහ සංවත්සරය තිබුණා. ඒත් එක්කම මං මගේ අදහස තරිඳුට කිව්වා. එයා හිනාවෙලා කිව්වෙ ඔයාට කැමති දෙයක් කරමු කියලා. එයා හැමදාම ඉතින් එහෙම තමයි. එයා දන්නවා මං දෙයක් ඉල්ලන්නෙ ඇත්තටම ආසා වුණොත් විතරයි. කරන්නෙ කොහොමද කියන අයිඩියා එකක් එයාට තිබුණෙ නෑ. එතනදි මං මගේ අදහස විකුම් ජයරත්න මල්ලිට කිවුවා. එයා ඒක ලස්සනට ප්ලෑන් කළා. පිළියන්දල සැලෝන් ඩැන්ඩි එකේ සන්ධ්‍යා හඳුන්වල දුන්නෙත් එයා. මං ආස කළේ ටැමිල් විදිහට මනාලියක් වෙන්න. ඇය මගේ අදහසට තවත් දේ එකතු කරල තුන් විදිහකට ඇන්දුවා. මගේ ඇඳුම් ලබාදුන්නේ නුවන් කහපලආරච්චි. තරිඳුට පිළියන්දල ලිහිණි පැෂන් අනුග්‍රාහකත්වය ලබා දුන්නා. ක්‍රිෂාන් ක්‍රිෂ් ලස්සන ෆොටෝ ෂූට් තුනක්ම කරල දුන්නා. විජිත් කුමාර ලස්සන කේක් එකක් නිර්මාණය කළා. පොඩියට සමරන්න හිටිය අපේ මංගල සැමරුමට හරි ලස්සන පුංචි උත්සවශ්‍රීයක් ගෙනත් දුන්නේ වින්රිච් අධිපති නිමල් මහතා. ආසාවට පොඩියට වෙඩින් ෂූට් එකක් කරන්න හිතුව අපිට අන්තිමට හරිම ලස්සන වෙඩින් ෆොටෝ ෂූට් තුනක්ම කරන්න ලැබුණා. ඉතින් සතුට තුන් ගුණයක් වුණා. ජීවිතේට අමතක නොවන සිහිවටනයක් එක් කරල දුන්න හැමදෙනාටම ගොඩක්ම ස්තුතියි.


තරිඳු කියන්නෙ ඔබ කියන ඕනම දේකට එකඟ වෙන කෙනෙක්ද?


අපි දෙන්න හොඳ අවබෝධයකින් තමයි මේ තරම් දුරක් ආවේ. ඔහු හැමදේකදිම මගේ සහායට හිටියා. අපි දෙන්න දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලයි අපි හිතන්නෙ. අපි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීල තියෙනවා. අපේ ජීවිතේ කඩා වැටීම් වෙලා තියෙනවා. ඒ හැමදේකටම මුහුණ දෙද්දි අපි දෙන්න ශක්තිමත්ව හරි හයියෙන් අල්ලගෙන හිටියා. ළඟින්ම ඉඳන් අපි රවටපු අය හිටියා. වැටුණු හැම තැනකදිම අපිව නැඟිට්ටවල මිනිස්සුන්ට හැමදාම නරක කාලෙම තියෙන්නෙ නෑ හොඳ කාලෙකුත් එනවා කියල අපිව මෝටිවේට් කරන යාළුවො කීප දෙනෙකුත් හිටියා. ඔවුන් අදටත් අපේ ළඟ ඉන්නවා. ඒ වගේම අපි දෙන්න අපි දෙන්නවම මෝටිවේට් කරගන්න වෙලාවල් තියෙනවා. මේ කාලෙ අමාරුවෙන් හරි අල්ලගෙන යමු. ඉදිරියට හොඳ වෙයි කියල අපි ඒ අමාරුම කාලෙ පහු කළා. දැන් අපි සතුටින් ඉන්නවා. අපි ලෝකෙට පේන්න දේවල් කරන්නෑ. පුංචි දේකුත් ඇති අපිට අපේ සතුට හොයාගන්න. වෙන කෙනෙකුට උදව්වක් කරලා ඒ කෙනා ඉහළට යනවා බලාගෙන ඉන්න එකත් අපිට සතුටක්. ඒක අපි දෙන්නම අත්විඳින දෙයක්. අපි විශ්වාසයෙන් හොඳ දෙයක් විශ්වයට දුන්නොත් ඒක විශ්වයේ තිබිල අපිට අමාරුම වෙලාවෙදි ආයිම අපිට ලැබෙනවා.


තරිඳුගෙන් ගෙදර වැඩවලට සහායක් ලැබෙන්නෙ නැද්ද?


ඇත්තම කතාව කිවුවොත් මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ලෙඩක් දුකක් හැදිල නැඟිටගන්න බැරි වෙලාවකට වතුර උගුරක් දුන්න නම් ඒ හොඳටම ඇති. එයාගෙ මියුසික් වැඩවලට කාලය අවශ්‍යයි. මං එයාට ඒ නිදහස දීල තියෙන්නෙ. එයා හැමවෙලාවෙම මාව ආරක්ෂා කරනවා. ආදරය රැකවරණය දෙනවා. ගැහැනියකට වෙන මොනවද අවශ්‍ය.


අංජලී තරිඳු ගැන එහෙම කියද්දි තරිඳුත් අපේ කතාබහට එක්වුණේ අංජලී නොදන්න පුංචි රහසකුත් එක්කයි.


තරිඳු පෙරේරා අපිට හමුවෙන්නෙ දැනට බොහෝ කාලෙකට ඉහත වාදන ශිල්පියෙක් විදිහට. මේ වෙද්දි ඔබ ගායකයකු විදිහටත් ජනප්‍රියයි. ඒ ආපු ගමන් මඟ සිහිපත් කළොත්?


ඔව්. මුලින්ම මං ස්ටාර් ප්ලවර්ස් කියල මගේම බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදකයා විදිහට කටයුතු කළා. ඊට පස්සෙ සමන් ද සිල්වාගේ සියැක් බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සේ ඔහුගේම සමන් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායමේ ඔක්ටර්පෑඩ් වාදන ශිල්පියා විදිහට සම්බන්ධ කර ගත්තා. ඒ අතරේ ඩුබායි යන්න චාන්ස් එකක් ලැබුණා. එහේදි ප්‍රේම් ජයසිංහගේ ආරාධනයෙන් සිටි ක්‍රික් කණ්ඩායමට සම්බන්ධ වෙලා විදෙස් සංචාර රැසකට සහභාගි වුණා. ලංකාවට ඇවිත් ගිහින් නැවත සිටි ක්‍රික් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒක නතර වීමත් එක්ක නිදහස් වාද්‍ය ශිල්පියෙක් විදිහට කටයුතු කළා. මං ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරල තියෙනවා. ඊට පස්සෙ මං තිතාල් කියල මගේම බෑන්ඩ් එකක් පටන් ගත්තෙ. මේ වෙද්දි ඒක පර්ල් ජෑම් කියල වෙනස් වෙලා අලුත් මුහුණුවරකින් හඳුන්වා දී තියෙනවා. අංජලී තමයි මැනේජර්. සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විතයි. ඉතාම ඉක්මනින් අපේ බෑන්ඩ් එකේ විඩියෝව එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටමත් අපි ගෘහස්ථ ප්‍රසංග, වෙඩින්, ඉවෙන්ට්ස්වල ප්ලේ කරනවා. ඩ්‍රම්ස් වාදනය, තාල වාද්‍ය භාණ්ඩ වාදනයෙන් වගේම ගායනයෙනුත් මං එකතුවෙනවා. මේ වෙද්දි මගේ කලා දිවියට අවුරුදු 25ක්.


විවාහ සංවත්සරය දවසෙ අංජලීව සප්‍රයිස් කරන්න හිතන් හිටියත් ඒක කරගන්න බැරි වුණා කියලයි ආරංචිය?


ඔව්. මං මගේ ආදරය ගීතයක් විදිහට එයාට තිළිණ කරන්න හිතන් හිටියේ. අංජලී තමයි මගේ හෙවණැල්ල. ඇය තමයි මගේ හැමදේම. මගේ හොඳම යාළුවා. මගේ ආදරණීය බිරිය. එයා වෙනුවෙන් මට ලස්සන ගීතයක් කරන්න ඕන වුණා. මං මගේ අදහස අශාන් ප්‍රනාන්දුට කිව්වා. ඔහු හරි ලස්සනට ඒ වැඩේ කරල දුන්නා. මගේ අදහස ලස්සනට පදවැලකට පෙරළලා තිබුණේ අන්සාෆ් අමීර්. සංගීතය අශාන් ප්‍රනාන්දු සහ ෂෙවොන් ප්‍රනාන්දු. හරිම ආදරණීය ගීතයක්. අධික කාර්ය බහුලත්වය නිසා එදාම මට වොයිස් කර ගන්න බැරි වුණා. ඉතාම ඉක්මනින් ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


නාමලී ගමගේ



Previous Post Next Post