මේ ජයග්‍රහණය මගේ සංගීත ජීවිතයේ විශේෂ සංධිස්ථානයක්-උදේශ් මනෝජ්




දුම්රිය සමඟ බැඳුණු, ගොඩනැඟුණු දුම්රිය ආදර කතා අපේ සමාජයේ ඕනෑ තරම්. ඇතැම් විටෙක ඒ ප්‍රේමය සම්මත විය හැකියි. තවත් විටෙක එය අසම්මත ප්‍රේමයක් විය හැකියි. කෙසේ හෝ වේවා ප්‍රේමණීය හැඟීම් වලට සීමා මායිම් නැති ප්‍රේමණීය දුම්රියේ ආදර කතාවක් පිළිබඳ ගීතයක් මේ දිනවල ජනප්‍රියයි. “දුම්රිය අසුනක” ගීතයෙන්, ආදරය ගැන පවසන රියැලිටි ගායන වේදිකාවේ තරු ලකුණක් තැබූ උදේශ් මනෝජ් සමඟයි මෙවර කතාබහ.


ඔබ කාලෙකින් අලුත් ගීතයක් එක්ක රසික ජනතාව අතරට ඇවිත්?


ඔව්, මට ටික කාලයක් ගියා අලුත් නිර්මාණයක් රසිකයින්ට තෑගි කරන්න. “දුම්රිය අසුනක” ගීතය තමයි මගේ අලුත්ම නිර්මාණය.


අලුත් ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීතය රිලීස් කරලා දැන් මාසයක පමණ කාලයක් වෙනවා. යූ ටියුබ් නැරඹුම් වාර ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. මේ නිර්මාණ කාර්යයේදී මට උදව් කරපු පිරිසක් හිටියා. ලක්නා ජේ. කාරියවසම් අක්කා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ නිර්මාණයෙන් ගයන හෙට්ටිආරච්චි, සංගීත නිර්මාණයෙන් සඳරුවන් ජයසිංහ, පද රචනයෙන් සජිත් වී. චතුරංග මට සහයෝගය ලබා දුන්නා. මගේ UdeshManoj යූ ටියුබ් නාළිකාවෙන් මේ ගීතය රසවිඳින්න පුළුවන්.


සංගීත ක්ෂේත්‍රයට ඔබ ආපු ගමන් මඟ ගැන මතක් කරමු නේද?


පාසල් කාලේ ඉඳලම ගායනයට මම දක්ෂයි. සමස්ත ලංකා පාසල් සංගීත තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. මගේ පාසල ගාල්ල පින්නදූව ජයන්ති මහා විද්‍යාලය වගේම අධ්‍යාපනය ලබපු සුමන දහම් පාසලත් ආදරයෙන් මතක් කරනවා. ඉන් පස්සේ මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 තරගාවලියෙන් දෙවන ස්ථානය ලබා ගත්තා. මගේ සංගීත ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් තමයි මේ ජයග්‍රහණය. ඒ කාලේ ඉඳලම මම ගීත නිර්මාණය කළා.


ඔබ වෘත්තියෙන් ගායකයෙක්ද ?


ඔව්, මම වෘත්තියෙන් ගායකයෙක්. ඒ වගේම මම ගායන හඬ පුහුණු පාඨමාලා පවත්වනවා. වොයිස් පැරඩයිස් තමයි මගේ ආයතනයේ නම. ඔන්ලයින් හරහා පාඨමාලා පැවැත්වෙනවා. වසර 20ක මගේ පළපුරුද්ද හා දැනුමත් එක්ක තමයි මම පුහුණු පාඨමාලා පවත්වන්නේ.


ඉදිරි බලාපොරොත්තු මොනවද?


මගේ කටහඬින් ඉදිරියේදී වික්‍රමයන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එකම රාමුවකට කොටු නොවී විවිධ රසයන් සහිත රසික ජනතාව වෙනුවෙන් විවිධ නිර්මාණ විඳින්න දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඉදිරියේදී ගීත කීපයක් එන්න තියෙනවා. පසුගිය කාලයේ මගේ පෞද්ගලික හා මූල්‍යමය කාරණා කීපයක් නිසා රසික ජනතාවට මගේ නිර්මාණ දෙන්න කාලයක් ගත වුණා. ඉදිරියේදී හොඳ වැඩපිළිවෙළක් එක්ක ගීත නිර්මාණ ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා.


පවුලේ තොරතුරු ටිකක් මතක් කරමු නේද?


මම විවාහකයි. ආදරණීය බිරිඳ සහ දුව සිනෙදි මෙලීනා තමයි මගේ ශක්තිය. පවුලේ අම්මයි, නංගිලා තුන් දෙනයි, මල්ලියි ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නෑ. මාස හයකට විතර කලින් ඔහු අපෙන් වියෝ වුණා.


සංගීත ක්ෂේත්‍රයට එන නවක පිරිසට කියන්න යමක් තියෙනවද?


ඔව්. ප්‍රේක්ෂක. ආසාව, උනන්දුව, කැපවීම එක්ක තමයි දුර ගමනක් යන්න පුළුවන් වෙන්නෙ. මගේ උපදෙස තමයි නිතරම අධ්‍යයනයන් කරන ගමන් උනන්දුවෙන්, අත්දැකීම් එකතු කර ගනිමින් තමන්ගේ පාර හදා ගන්න මහන්සි වෙන්න කියන කාරණේ.


කුමුදිකා දර්ශනී




Previous Post Next Post