ඔහු තමයි මගේ හීනය සැබෑ කළේ-කවී ගිම්හානි




ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ආයාචනා ටෙලි නිර්මාණය මේ දිනවල කාගේත් කතාබහට ලක්වන ටෙලි නිර්මාණයකි. කතා අන්තර්ගතය මෙන්ම රූපරාමුවල ආකර්ෂණීය නිමාව ප්‍රේක්ෂක නෙතට රසඳුනක් වූවා නොඅනුමානය. එහි විමාෂිගේ භූමිකාවට පණ පොවන නවක රංගන ශිල්පිනිය කවුරුන්දැයි බොහෝ දෙනාගේ විමසිල්ලට ලක්වී තිබීම ද තවත් විශේෂත්වයකි. තවමත් පාසල් වියේ පසුවන මේ හුරුබුහුටි රංගන ශිල්පිනිය අද අපේ කතාබහට එක්වූවාය. ඇය නමින් කවී ගිම්හානිය.


ආයාචනා ටෙලි නිර්මාණය සඳහා අවස්ථාව ලැබුණු ආකාරය ඇය මෙලෙස සිහිපත් කළාය.


“ආයාචනා ටෙලි නිර්මාණය පසිඳු නූපේආරච්චිගේ අධ්‍යක්ෂණක්. ඔහු මාව මුලින්ම දැකල තිබුණෙ මීට අවුරුදු දෙකකට විතර කලින් ෆේස්බුක් එකෙන්. එදා ඉඳන්ම ඔහු මට කිව්වෙ නංගි මං මෙහෙම නිර්මාණයක් කරනවා. ඔයාවත් ඒකට සම්බන්ධ කරගන්නවා කියලා. ඒත් ඒ දවස්වල මං සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. කිව්ව වගේම ඔහු මට ආරාධනා කළා. ඒ වෙද්දි නම් මගේ විභාගෙත් ඉවර වෙලා. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නෑ. එමාෂා අක්කගෙ ඒ කියන්නෙ කතාවෙ ලිහිණිගෙ හොඳම යාළුවා විමාෂි විදිහට තමයි මං මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. එයත් ඉගෙන ගන්න කෙනෙක් නිසා මට සමීප චරිතයක් වුණා. මුලින් නම් ගෙදරින් කැමැත්තක් තිබුණෙම නෑ. පසිඳු අයියා ඔඩිෂන් එකට එන්න කියලා දිනයකුත් දුන්නට පස්සේ තමයි ගෙදරින් අවසර ලැබුණේ. මේ වෙද්දි ගෙදරින් තමයි ගොඩක්ම කැමැත්තෙන් මගේ රංගනයට සහයෝගය දෙන්නේ. චරිතයේ ගුණ දොස් කියනවා. මේක මෙහෙම වුණා නම් හොඳයි, ඔයාට මෙතන මෙහෙම කරන්න තිබුණා වගේ දේවල් කියනවා. අම්මා තමයි වැඩිපුරම. ඒ ගැන මට ගොඩක් සතුටුයි.“


රංගන ශිල්පිනියක් වීමටත් පෙර රටම දන්නා රුවැත්තියක් වූ ඒ කතාව ගැනත් අප හා පැවසීමට ඇය අමතක කළේ නැහැ.


“2024 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් දොළොස් දෙනා අතරට ඇවිත් ඡවි කල්‍යාණිය විදිහට තේරුණා. ඒකත් මේ ගමනට යම්තාක් දුරකට හේතුවක් වෙන්න ඇති කියලත් හිතනවා. පුංචි කාලෙ ඉඳන්ම මගෙ හීනයක් වෙලා තිබුණෙ මොකක් හරි තරගයකට ඉදිරිපත් වෙන්න ඕන කියන එක. ජයග්‍රහණයක් ලැබීමම නෙවෙයි මට ඕන වුණේ ඉදිරිපත් වෙන්න. ගෙදරින් නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. මගේ බලකිරීමට ඉඩ දුන්නා මිසක්. ඉල්ලුම්පත දැම්මෙත් මම. ඔඩිෂන් එකට එන්න කියලා ලියුමක් ආවා. පළමුවැනි එකෙන් තේරුණා. ඊට පස්සෙ ගෙදර අය විරුද්ධ වුණේ නෑ. දෙවනි එකටත් ගියා. ඒකෙනුත් තේරුණා. ඔය විදිහට අවසන් දොළොස් දෙනා දක්වා ආවා. අන්තිමට ඡවි කල්‍යාණිය විදිහටත් තේරුණා.“


ආයාචනා හරහා ලැබුණු පළමු රංගන අත්දැකීම ගැන ඇය සඳහන් කළේ මෙවැන්නක්.


විමාෂි කියන්නේ මගේ පළමුවැනි රංගන අත්දැකීම. ලිහිණියි, විමාෂියි හොඳම යාළුවෝ. මුල්ම සීන් එක තිබුණෙ අපි දෙන්න ක්ලාස් ගිහින් එද්දි කොල්ලෙක් ඇවිත් බොරුවට ඇඟේ හැපිලා පස්සෙ සමාවෙන්න කියනවා. මීට කලින් මට රංගන අත්දැකීමක් තිබුණෙ නැති නිසා මුලදි ටිකක් බය හිතුණා. එතැනදි පසිඳු අයියා ඇවිත් බය වෙන්න එපා නංගි, මෙතන මේක මෙහෙම කරන්න කියලා හොඳින් කියල දුන්නා. ඇත්තටම ඔහු එක්ක වැඩ කරන එක හරිම පහසු වුණා. මං නවකයෙක් කියන හැඟීම මට දැනෙන්න දුන්නෙ නෑ. ඒ වගේම එමාෂා අක්කත් ලොකු සපෝට් එකක් දුන්නා. මෙහෙම කරන්න නංගි කිය කියා නිතරම මාව හැදුවා. ප්‍රවීණ අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් හරිම ආදරෙන් මට සැලකුවා. උපදෙස් දුන්නා. ආයාචනා කණ්ඩායම හරිම මිත්‍රශීලීයි. ඒ නිසා නුහුරු බවක් නැතුව මට හොඳින් වැඩකරගන්න පුළුවන් වුණා.“


කවී තවමත් පාසල් යන ළාබාල යුවතියක්. පාසලෙන් ලැබෙන සහයෝගය ගැන ඇය සිහිපත් කළේ ගෞරවපූර්වක හැඟීමකින්.


“මගේ ගම වීරකැටිය. මට ඉන්නවා අම්මා, තාත්තා සහ නංගි කෙනෙක්. මං අධ්‍යාපනය හදාරන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන්. හිරු අවුරුදු කුමරිය තරගයට ඉල්ලුම් කළෙත් පාසලේ අවසරය ඇතුව. ගුරුවරුන්ගෙන් වගේම යාළුවන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. ආයාචනා විකාශය වෙනවත් එක්කම හැමෝගෙන්ම හොඳ කමෙන්ට්ස් ලැබුණා. අපේ පාසලේ ළමයෙක් වීම සතුටක් කියල හැමෝම කිව්වා. ගෙදරින් නිතරම කියන්නෙ ඉගෙනීමට මුල් තැන දෙන්න කියලා. මාත් ඉන්නෙ ඒ තීරණේ තමයි. විශේෂයෙන්ම මං ජපන් භාෂාව තෝර ගත්තෙත් ජපන් යන්න තියෙන ආසාවට. ඉගෙන ගන්න ගමන් ඉඩ ලැබෙන විදිහට කලා නිර්මාණවලටත් දායක වෙනවා. දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා. තව නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. ඒත් මං ආයාචනා ඉවර වෙනකල් කිසිම නිර්මාණයකට දායක වෙන්නෙ නෑ. කිසිම අත්දැකීමක් නැති මාව ඔහුගේ පළමු නිර්මාණයටම සම්බන්ධ කරගෙන ඒ අභියෝගය බාර ගත්ත පසිඳු නූපේආරච්චි අධ්‍යක්ෂවරයාට ස්තුති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. ඔහු තමයි මගේ හීනය සැබෑ කළේ.“


 නාමලී ගමගේ



Previous Post Next Post