ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ගහන ලොකු දුව-ලිමංසා




මේ ගෙවෙන්නේ ලංකාවේ ක්‍රිකට් වලට එච්චර හොඳ කාලයක් නම් නෙමෙයි. ඒත් ලංකාවේ කාන්තා ක්‍රිකට් ගැන කතා කෙරුවොත් මේ තමයි එහි හොඳම කාලේ. ඔවුන්ගේ අනාගතය ඉතා පැහැදිලි ගමනක අලුත් ආරම්භයක් සමග ඉදිරියට යනවා. ඇත්තටම ඒක ලොකු සතුටක්.


අද අපි කතා කරන්නේ අනාගතයේ අන්න එහෙම දිදුලන පෙර මං සලකුණු පෙන්වන තවත් පුංචි කාන්තා ක්‍රිකට් තරුවක් ගැන. ඇය ලිමංසා තිලකරත්න. වෙනත් විදිහකින් කියනවා නම් තිලකරත්න ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ගහන ලොකු දුව.


ඇත්තටම ඒක බොහොම සොඳුරු හමුවීමක්. තාත්තයි දුවයි දෙන්නම අප සමග කතාබහට එක්වුණා.


දෙමව්පියන්ට වඩා දරුවෝ ඉස්සරහට යනවා නම්, හැම දෙමව්පියෙක්ම කැමැතියි. මම කැමැතියි මගේ දේ ලිමංසා ඉදිරියට අරන් යනවා නම්.


අපේ පළමු ප්‍රශ්නයට ඩිල්ෂාන් මෙහෙම පිළිතුරු දුන්නා. ඇත්තටම මම හිතුවේ නැහැ දුවෙක් මෙහෙම ක්‍රිකට් වලින් ඉස්සරහට එයි කියලා. මට පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි ඉන්නේ. පුතෙක් ඉදිරියට එයි කියලා තමයි ලොකුවට හිතාගෙන හිටියේ. නමුත් තාම එයාලත් පොඩියි.

තාත්තා වගේ ක්‍රිකට් ගහන්න හිතුණේ කොහොමද?


එහෙම නැහැ. මතක ඇති කාලේ ඉඳන් තාත්තා මැච් වලට යනවානේ. ඉතින් ඒ ආසාව එදා ඉඳන්ම තිබුණා. මම ගොඩක් වෙලාවට තාත්තගේ වීඩියෝස් බලනවා. එයා කොහොමද ගහන්නෙ කියලා. දැන් ‘ඩිල්ස් කූප්’ එක කොහොමද ගහන්නේ කියලත් නෙට් එකේ ට්‍රේනින් කරනවා.


මම ක්‍රිකට් පටන් ගත්තෙ ඔස්ට්‍රේලියාවේදී. එහේ 19 න් පහළ කණ්ඩායමට තේරිලා ඉන්නේ. පසුගිය දවස්වල මම ප්‍රථම වතාවට ලංකාවේ පළාත් තරග වලටත් ක්‍රීඩා කළා.


දුව ක්‍රිකට් වලට ආපු මුල් කාලෙ මොකද හිතුණේ ?


ඇත්තටම දුව තමයි ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් ගහපු ළාබාලතම ක්‍රීඩිකාව. ඒ ගැන ගොඩක් ආඩම්බරයි. මෙයා මුල් කාලේ බෝල් කරන වීඩියෝ දැක්කහම මට හිනහත් ගියා ඒ සෙල්ලම් කරන්න විදිය දැකලා. නමුත් අද එයා හොඳ තැනක ඉන්නවා. එයාගේ කැපවීම නිසාම එයා ඉක්මණින් ඉදිරියට එනවා.


තාත්තා ගැන ලිමංසාට දැනෙන්නේ කොහොමද?


අපි කොහේ හරි එළියට ගියත් හැමෝම ඇවිත් එයත් එක්ක සෙල්ෆි ගහනවා. එතකොට අපිට හරි ආඩම්බරයක් දැනෙනවා. ලෝකෙ ගොඩක් අය එයාව දන්නවා ක්‍රිකට් නිසා. එයා ඒ කාලේ ගොඩක් අපි ළඟ හිටියේ නැහැ. හරිම කාර්යබහුලයි .ඒත් අපි නිතරම එයත් එක්ක කතා කරනවා. අපි ඔක්කොම එකට ඉන්නකොට තමයි අපිට ගොඩක්ම සතුටක් දැනෙන්නේ.


ලිමංසාට තියෙන්නේ ටිකක් ”ජපන් පෙනුමක්” ඒ ගැන ඔයාට කවුරුත් කියලා නැද්ද ?


සිනාසෙමින්…


ඔව්. ගොඩක් අය කියනවා. මම ජැපනීස්, ෆ්‍රෙන්ච්, කොරියන් වගේ භාෂා ඉගෙන ගන්නවා. මම ආසයි ඒ භාෂා හොඳට ඉගෙන ගන්න. ඒ මියුසික්වලටත් කැමැතියි. තාත්තියි, අම්මියි අපි හැමෝම නිතරම සින්දු කියනවා.


”එකමුතුකම, හොඳ ගුණධර්ම, පුරුදු පුහුණු කිරීම, හොඳ සිරිත් විරිත් ඉගැන්වීම පවුලකට ගොඩක් වැදගත්. පිටරටක හිටියත් ඒ ගැන බොහොම සතුටු හිතෙන කතාවක් ලිමංසාගෙන් අපි දැනගත්තා.


“වාහනයට නැගලා උදේට ස්කූල් යනකොට වීදුරු පහත් කරලා අපි හැමෝම පිරිත් කියනවා, දෙවියන්ට වඳින ගාථා කියනවා., විශ්වයට ස්තූති කරනවා. ඒක අපි හැමදාම කරන දෙයක්”


ඔව්. දුව කියන කතාව ඇත්ත. අපි උදේට නැගිට්ට ගමන් කරන්නේ විශ්වයට ස්තූති කරන එක. නිතරම අපිට හොඳ මිනිස්සු මුණගස්සන්න කියලා ඉල්ලනවා. මේ ලැබුණු හැමදේකටම ස්තුති කරනවා. දරුවන්ට ඒ ඒදේවල් පුරුදු පුහුණු කළේ මංජුලා. එයාට තමයි ඒ ගෞරවය යන්න ඕනෑ. එයා තමයි අපි හැමදෙනාවම හොඳින් බලාගන්න මහන්සි වෙන්නේ.


මේ ළඟ එන සැප්තැම්බර් මාසේදී ඩිල්ෂාන් අලුත් වැඩකට ලෑස්ති වෙනවා කියලත් ආරංචියි ?


ඔව්. සැප්තැම්බර් මාසේ මුල හරියේදී මගේ ජීවිත කතාව එළි දක්වන්න හිතාගෙන ඉන්නවා. ඒක ගොඩක් අයට හොඳ මෝටිවේෂන් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් අලුත් පරපුරට.


ඇත්තටම මම ආවේ බොහොම දුප්පත් තැනකින්, දුප්පත් ගමකින්. බඩ පිරෙන්න කන්නවත් සල්ලි තිබුණේ නැහැ. මගේ නොදැකපු ජීවිත කතාවක් ඒකේ තියෙනවා. මගේ පළමු පාසල යාපනයේ සිංහල මහා විද්‍යාලය. දවසට රුපියලයි හම්බවෙන්නේ. සල්ලි සාක්කුවේ දාගෙන කිලෝමීටර් අටක්, දහයක් විතර පයින් යනවා. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් කූඹුරු වැඩ කරනවා. මේසන් බාස්ලට කුලියට අත් උදව් දෙනවා. පවුලේ පස්දෙනෙක් හිටියා. දන්න කාලෙක ඉඳන් මම කවදාවත් ගෙදරට කරදරයක් වුණේ නැහැ. තාත්තා කළේ සුළු රැකියාවක්, පොලිසියේ.


මම එකම ටී ෂර්ට් එක මැච්වලට අවුරුදු පහක් ඇඳලා තියෙනවා. රෑට ඇවිත් හෝදලා නැවත පහුවදාට අඳිනවා.


අද මතක් වෙද්දී ඒ හැමදේම බොහොම සුන්දරයි. මගේ කතාව අහලා එක්කෙනෙක් හරි හැදුනොත් ඒක විශාල සතුටක්. ඇත්තටම ඉන්දියාවෙනුත් ඉල්ලුව මේ බුක් ලෝන්ච් එක එහෙ කරමු කියලා. නමුත් අපි ඒකට කැමැති වුණේ නැහැ. ඒ අතින් ලිමංසලා හරිම වාසනාවන්තයි.

පුහුණුකරුවෙක් විදිහට තාත්තා සැරයිද ?


අපි ආයෙත් ලිමංසා දෙසට හැරුණා.


තාත්තිගෙන් මම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. කියාදෙන දේ හරියට නොකළොත් බැණුමක් අහන්න වෙනවා. ඒ මට ආදරේට කියලා මම දන්නවා.


මැච්වලට ගියහම වැරදි පහරක් ගහලා අවුට් වුණොත් තාත්තා ගෙදර එනකම්ම කතා කරන්නේ නැහැ. මම දන්නවා එයා ඉන්නේ දුකෙන් කියලා. ගෙදර ආපු ගමන් ඒ වරද මට කියලා දෙනවා. “මෙහෙම කරන්න, මෙහෙම කරන්න එපා කියලා.”


තාත්තා කියන්නේ සැර කෙනෙක්ද, ආදරණීය කෙනෙක්ද?


ඒ දෙකම එයා ළඟ තියෙනවා.


ගෙදර කරන අනිත් වැරදි වැඩවලට තාත්තා සැර කරනවාද ?


හැම තාත්තලම එහෙම තමයි.


අපේ කතාවේ අවසන් විනාඩි කිහිපයේදී ඩිල්ෂාන්ගේ ප්‍රිය බිරිඳ මංජුලා තිළිණි අප සමග එකතු වුණා.


කොහොමද ජීවිතේ?


ඇත්තටම කාර්යබහුලයි. වැඩ වැඩියි. හැබැයි හැමදේම බොහොම ලස්සනට ගලාගෙන යනවා. මට පුළුවන් විදියට හැමෝගෙම පිටුපසින් ඉඳන් ඕන කරන දේවල් කරල දෙනවා.


අද අපි ආවේ ලිමංසා ගැන කතා කරන්න ඇත්තටම එයා කොහොමද ?


මාව අම්මා කෙනෙක් කළේ එයා.අද එයාව දැක්කහම අපේ කැපවීම, මහන්සියේ ප්‍රතිඵල එයා අරගෙන තියෙනවා. ඇත්තටම එයා හරි සුන්දර ලස්සන ළමයෙක්. එයාගේ නංගිලා මල්ලිලත් එහෙමයි. මගේ අනිත් දුව ලෙසඳී ගොඩක් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යනවා. අපි පිටරටක ඉන්න නිසාම තව තවත් අපේ බැඳීම් ශක්තිමත් වුණා කියලා හිතෙනවා. අපි පවුලක් විදිහට බොහොම එකමුතුව, සතුටින් ඉන්නවා. තව දෙයක් කියන්න තියෙනවා. මේ සැප්තැම්බර් මාසයේදී ඩිල්ෂාන්ගේ ජීවිත කතාව පොතක් විදිහට එළිදක්වනවා.


රංග විදානේ



Previous Post Next Post